පොත් ප්‍රදර්ශනය ළඟා වෙන්න කලින් පොත් කියවන උදවිය හැටට හැටේ පොත් ප්‍රකාශකයින්ට බනිනවා. ඒත් පොත් ප්‍රදර්ශනය ආවම BMICH එකේ ඇඟිල්ලක් ගහන්න බැරිවෙන්න සෙනග පිරෙනවා. එක්තරා විදියකට ගත්තොත් පොත් ප්‍රදර්ශනයට බැනීමත් දැන් එක කලාවක් වෙලා වගේ. පොත් ප්‍රදර්ශනය කියන්නේ මේ සැප්තැම්බර් වල BMICH එකේ තියෙන පොත් ප්‍රදර්ශනය ගැනයි. ඒක හැම අවුරුද්දකම කොළඹ තියෙන ලොකු ඉවෙන්ට් එකක්. පොත් ගහන අය දැන් පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරලා පොත් පළකරන්නත් පටන් ආරං තියෙනවා.
හරි, අපේ ලිපිය ගැන කියනවනම් අපි කියන්නේ පොත් කියවන්නෙ නැති කෙනෙක් වුණත් පොත් ප්‍රදර්ශනයට යා යුත්තේ ඇයි කියලයි.
1. ළමයි බමයි පවුල එක්ක…
අපිට ඉතින් තනියෙන් ජීවත් වෙන්න බැහැ අද කාලේ. කැලෑවකට ගියත් මොකද එතනත් “දරුව ඔබට ඡවි කල්‍යාණය ඕනිද?” කියලා අපිට මොනාහරි විකුණන්න හදන තාපසයෙක්වත් ඉන්නවා. ඉතින් අපේ යාලුවෝ, නෑයෝ නැතිනම් දරුවෝ වගේ අය එක්ක එයාල සතුටු කරන්න යන්න පුළුවන් තැනක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල. අපි පොත් කියෙව්වේ නැතත් දරුවෝ ආසයි පිංතූර පොත් කියවන්න. ගෑනු ළමයි ආසයි ආදර කතා කියවන්න, පිරිමි ළමෝ ආසයි ඩ්‍රැකියුලා, ටාසන්, ෂර්ලොක් හෝම්ස් කියවන්න. ඉතින් එයාලට ඉඩදීමක් වශයෙන් අපිටත් පොත් ප්‍රදර්ශනයට යන්න පුළුවන් කම තියෙනවා.
2. එයාව එක්කරං යන්න පුළුවන්
කෙල්ලෙක් ගෙදරින් අවසර අරගෙන එක්කරං යන්න පුළුවන් එක සුපිරි තැනක් තමයි පොත් ප්‍රදර්ශනය .මෝටර් සයිකලේ පොත, ඉස්කෝලේ අච්චු පොත්, කඩේ ණය පොත වගේ පොත් කීපයක් විතරක් අල්ලලා තියෙන උදවියට වුනත් එයා හෙවත් පෙම්වතිය හෝ පෙම්වතා එක්ක ටුවරක් දාන්න පොත් ප්‍රදර්ශනය කියාපු තැන. එතන රැඳෙන මහ සෙනගත් එක්ක පෙම් කෙළින්න බැහැ. ඒත් පැතුම් පතාගෙන හමුවෙන්න විදියක් නැතුව ඉන්න කපල් වලට පොත් ප්‍රදර්ශනය කියන්නේ තවත් හොඳ අවස්ථාවක්. පොත් බලනවා, ඇවිදිනවා, ආයේ කොහෙට හරි ගිහින් මොනාහරි බොනවා කනවා. සම්බන්දෙ නොදැකිය යුතු කෙනෙක් දැක්කොත් හැංගෙනවා. ඔය වගේ ආතල් ගොඩක් පොත් ප්‍රදර්ශනය බලන්න එයා එක්ක යෑමෙන් ලබා ගන්න පුළුවන්.
3. සෙට් එකට සෙට් වෙන්නත් පුළුවන් නේ
ඔන්ලයින් ගෘප් එකේ හිටියට යාලුවෝ ටිකට හරියට සෙට් වෙන්න තැනක් හදාගන්න තමයි අමාරු. ක්ලාස් එකේ යාලුවෝ ටිකත් කාලෙකින් ආයේ දැක්කේ නැහැ. ඒ වගේ අපේ කණ්ඩායමට එකතු වෙන්න තැනක් හොයන අයට පොත් සල්පිල හොඳ තැනක්. ඇත්තටම පොත් සල්පිල ඉඩ කඩ මදි. පැක් වෙලා. මිනිස්සු එන්නේ පොත් තෝරන්න බ්ලා බ්ලා බ්ලා තමයි. ඒ මොනවා වුනත් අපේ ජෙනරේශන් එකේ ගොඩ දෙනෙක් එකතු වෙන්නේ පොත් ප්රදර්ශනයටනම් එතන ඉතින් අපිට පොඩි පහේ සෙට් වීමකට ඉඩ තියෙනවා. ඇරත් ඕක අස්සේම යන්නම ඕනි නැහැ නේ. ඔය විදිහට BMICH එකේ බුක් ෆෙයා සෙට්වීම ඕනි නම් නිදහස් චතුරශ්‍රය පැත්තට ගෙනියන්න පුළුවන්, නැත්නම් බොරැල්ල මරදාන පැත්තේ බාර් එකක මේසෙකට වුනත් බුක්ෆෙයා සෙට් වීම හෙමිහිට ට්‍රාන්සර් කරගන්න පුළුවන්.
4. මිනිස්සුන්ව බලන්න
“ඊය යකෝ මිනිස්සුන්ගේ මොනවද බලන්න තියෙන්නේ?” කියලා කෙනෙක්ට හිතෙන්න පුළූවන්. ඒත් හරියට අවු රැස් ටිකක් වත් වැදිලා නැති මන්දිරවල ඉන්න සුදුපාට නංගිලා බුක් ෆෙයා බහිනවා. කොරියන් කතා වල ඉන්න නළුවෝ වගේ රැවුල් ගස් කිපයක් වැවුනු ගති කොල්ලොත් බුක් ෆෙයා බහිනවා. බුක් ෆෙයා ඇවිත් පොත් බලන ගමන් ලස්සන කෙල්ලෙක්, කොල්ලෙක් දිහා හොරැහින් බැලීම, කෙලින්ම කන්න වගේ බැලීමට වඩා සුන්දරකමක් තියෙනවා. විවිධාකාර මනුස්ස ජීවිත ගෙවෙන විදිය ගැන තියෙන නවකතා පොත් ප්‍රදර්ශනයේ ගොඩක් ඉක්මනට අලෙවි වෙනවා. ඒ වගේම ඒ පොත් තෝරන්න ඇදෙන ලස්සන ඇස් කන් නාසා ඉන්ද්‍රිය දෙස බලාගෙන භාවනාවක් කරගන්න කැමති කොල්ලො කෙල්ලො සෙට් එකකුත් බුක් ෆෙයා එනවා.
5. කන්න බොන්න
පොඩි කාලේ අපිව පෙරහැරවල්, පන්සල්, පල්ලිවල උත්සව ආදිය බලන්න ගෙදරින් එක්කරන් යනවා. ඉතින් ඒ තැන්වලට ගියාම පැණිබූන්දි, පුහුල් දෝසි, කළුදොදොල්, අච්චාරු වගේ දේවල් ඒ කාලේ කනවා. අපි ලොකු වුනා කියලත් මහ වෙනසක් නෑනේ. අලුත් අමුතු කෑම ජාති එහෙම දැක්කම කන්න හිතෙනවා. මීට අවුරුද්දකට, දෙකකට ඉස්සර වගේ මිහිලක මැදුර පැත්තට වෙන්න බුක් ෆෙයා එකේ හොඳ දේශීය කෑම දෙන තැනක් තිබුනා. බුක් ෆෙයා එකේ තියෙන සමහර තැන්වල නම් කෑම මිල වැඩියි. ඒත් සමහර උදවිය මැගී, ඉරිඟු පොරි, බීම වර්ග, නෙස්කැෆේ කන බොන විදිය දැක්කාම කන්නම බුක් ෆෙයා ආවාද කියලත් හිතෙනවා.
6. සෝෂල් මීඩියා දාන්න
සෝෂල් මීඩියා ගැන විචාර දාන උදවිය කියන විදියට නම් සෝෂල් මීඩියා වලින් මිනිස්සු කෘත්‍රිම සමාජයකට හුරු වෙලාලු. ඉතින්? අපි හැමෝම අපි කැමති වුනත්, නැති වුනත් සෝෂල් මීඩියාවලට පොඩ්ඩක් හරි සම්බන්ධයක් තියෙනවා. අපේ සීයා සෝෂල් මීඩියා වලට කැමති නැතත් අපිට පුළුවන් සීයා එක්ක සෙල්ෆියක් ගහලා ෆේස්බුක් එකට දාලා සීයාව ජාත්‍යන්තරයට යවන්න. ආන්න ඒ වගේ අපි පොත් වලට කැමති නැති වුනත් පොතක් එක්ක සෙල්ෆියක් ගහලා, ආපු හොඳ ලේඛකයෙක් ළඟින් ඉඳන් පොටෝවක් අරගෙන අපිට ඒවා ෆේස්බුක් දාන්න පුළුවන්. පොත් ගන්න ආපු යාලුවෝ, නෑයෝ එහෙම ඉන්නවා නම් එයාලවත් ටැග් කරලා එහෙම සෝෂල් මීඩියා පෝස්ට් දාන්න පුළුවන්. ඉරිසියාකාර යාලුවො නම් කියාවි ඕකා ඉස්කෝල කාලෙවත් පොත් ඇල්ලුවේ නැහැ කියල. ඒත් ඌට ඒක අදාළද? නෑනේ… අපි බුක් ෆෙයා ගියා, ඒකට පෝස්ට් එකක් දැම්මා එච්චරයි.
7. වැරදිලාවත් පොතක් කියවන්න හිතුනොත්?
ගංජා පාවිච්චි කරන තැනකට, කට්ටිය එතනෝල් බොන බාර් එකකට නිතර යනව එනවාට අපේ ගෙවල් වල අය කැමති නැහැ. මොකද ඒ නරක දේවල්වලට ඇබ්බැහි වුනොත් ගැලවෙන්න ලේසි නැහැ. ඒ වගේම නරක දේවල්වලට ඇබ්බැහි වීමෙන් කාලය, මිල මුදල් වගේම අපේ ජීවිතෙත් ටිකෙන් ටික විනාස වෙනවා. ඒත් පොත් ප්‍රදර්ශන බලන්න ගිහින් පොත් වලට ඇබ්බැහි වුනොත්? ඇත්ත. පොත්වලට මිල මුදල් නම් ටිකක් වියදම් වෙනවා. ඒත් පොත් කියන්නේ ජීවිතේට අලුත් අත්දැකීම් ගන්න හොඳ මාවතක්. අපි හැමෝම අවුරුදු එකසිය විස්සකට අඩු කාලෙකදි මැරෙනවා. ඒත් අපිට ඕනාකම තියේනම් අවුරුදු දාස් ගාණක් තිස්සේ ලියවුණු විවිධාකාර පරාසයක දේවල් පොත් හරහා කියවලා අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් පොත් ප්‍රදර්ශනයට ගිහින් පොතක් දෙකක් කියවලා, කියවන්න ඇබ්බැහි වුනා කියන්නේ කොහොමටවත් ලැජ්ජා වෙන්න කාරණාවක් නෙමෙයි.
පොත් නෙත් වගේ රැකගමු, පොත් මිනිසා එහෙක් කරයි, මෙහෙක් කරයි කියලා විවිධ ආදර්ශ පාඨ තියෙනවා. ඒවයෙන් දිරිගැන්වුන මිනිස්සු එකතුවෙන, අවුරුද්දකට වතාවක් තියෙන සැප්තැම්බර් පොත් පොරය දැන් එක්තරා සමාජීය අවස්ථාවක් වෙලා. පොත් කියවන්නේ නැති උදවියත් ඒකට ඇවිල්ලා තෙරපෙනවාය කියල සමහර තලේබාන් පොත් කියවන්නෝ අනෙක් අයට චෝදනා කරනවා. ඒත් පොත් සල්පිල සැණකෙළියක් වීමත්, එහි සිරිය බලන්න BMICH යෑමත් කියන්නෙත් වටිනා කියන පුරුද්දක්. කවුරුහරි දේශපාලකයෙක් සිය දහස් වතාවක් දෙසපු ගල්කෙප්ප ටික ආයේම වතාවක් අහන්න කොළඹ වීදි ගාණේ, පිට්ටනි ගාණේ මිනිස්සු පිරෙනවාට වඩා පොත් සල්පිලක මිනිස්සු ලක්ෂ ගණනින් පිරෙන එක ගැන අපි ඇත්තටම සතුටු වෙන්න ඕනි.
Leave a Reply