කොල්ලෙක් අතින් තමන්ගේ ලව් එකට නොදැනුවත්වම සිද්ධ වෙන අඩුපාඩුකම් මේවා තමයි!

වැරදි සිද්ධ නොවෙන්නේ කාගේ අතින්ද? දැන් ඔය කියන්නේ වැරදි සිදුවීම මිනිස් ගතියකි, සමාව දීම දේව ගතියකි කියලා. හැබැයි ඔය ආදර්ශ පාඨේ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. “වැරදි සිදුවීම මිනිස් ගතියකි, සමාව දීම දේව ගතියකි, ලව් කරනකොට මේ දෙකටම ඉඩක් නැත” කියලා! ඇත්තටම ලව් කරනකොට කෂිලි  බිෂිලි ඇදෙන්න ඔය පුංචි වැරැද්දක් වුනත් ඇති. ඒ වගේම ඉතින් අනික් පැත්තට ලව් එකේ නාමෙන් සමාදාන වෙනවා තමයි. හැබැයි සමහර වෙලාවට ඔය නොහිතා සිද්ධ වෙන වැරදි, අතපසුවීම්, අකටයුතුකම්, අඩුපාඩු නිසා අනික් කෙනාගේ හිත සෑහෙන රිදෙන්න එහෙම තියෙන ඉඩත් වැඩියි. ඒ වගේ දේවල් පහුකාලීනව වුනත් ආදර සම්බන්ධෙට බොහොම නරක විදියට බලපාන්න පුළුවන්. ආන්න ඒ නිසා ඔය වගේ වැරදි, අඩුපාඩු කම් නොදැනුවත්වම වුනත් සිද්ධ නොවෙන්න වග බලා ගන්න එක ඉතාම හොඳයි. මේ කියන්න යන්නේ විශේෂයෙන්ම කොල්ලෙක් අතින් තමන්ගේ කෙල්ලට නොදැනුවත්වම සිද්ධ වෙන්න පුළුවන් ඒ විදියේ වැරදි, අතපසුවීම්, අකටයුතුකම්, අඩුපාඩු කීපයක් ගැන. මෙව්වා ගැන දැනගෙන ඉන්නවා කියන්නේ දෙයියනේ කියලා එහෙම එව්වා නොවෙන්න වග බලා ගන්න පුළුවන්. ඒකයි අපි මේවා දැන්මම කියලා තියන්නේ!

 

1. වෙන කෙල්ලොන්ගෙ වග!

ඔන්න ඔෆිස් එකට එනවා හරිම ශෝක් සූටි නංගියෙක්. පෙනුමෙනුත් අහිංසකයි, වැඩටත් හරි දක්ෂයි, හිතෛශීකමත් එහෙමයි. ඉතින් අපි වුනත් මිනිස්සුනේ. ලව් කරන්න නොගියට ඔන්න ඉතින් අපේ හිත හරියට මේ දැරිවි ගැන පැහැදෙනවා. ඉතින් ඔන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බවුණු වෙලාවට, කෝල් කරපු වෙලාවට එහෙම අපි දවසේ සිද්ධ වෙච්ච දේවල්, ඔෆිස් එකේ දේවල් එහෙම කියෝනවනේ. අපි ඔන්න එයාටත් කියනවා ඔෆිස් එකට ආපු සූටි නංගියා ගැන. සාමාන්‍යයෙන් අනවශ්‍ය විදියට ඉරිසියාකාරකං, කලබලවීම් නැති ගෑණු ​ළමයෙක් නං එහෙම කෙල්ලෙක් ගැන හොඳක් කිව්වා කියලා කලබල වෙන්නෙ නෑ. හැබැයි ඉතින් කොල්ලා එතන ඉඳන් උදේ හවා කතා කරන්නේ ඔෆිස් එකේ සූටි නංගියාගේ හොඳ නම්, ආන්න ඒක ප්‍රශ්නයක් වෙන එක ෂුවර්. එතනින් එහාට ගිහිල්ලා කොල්ලා ඔෆිස් එකේ සූටි නංගියාගේ ශෝක් ගතිගුණයි, තමන්ගේ කෙල්ලවයි සංසන්දනය කරන්න තරමට මෝඩ වුනොත්, ගිනි අවි සහ ගිනි කෙළි තමයි බලාගන්න වෙන්නේ!

 

2. වෙන කෙල්ලෝ එක්ක උකුළු මුකුළු!

උඩින් කියපු කේස් එකේ පාට් ටූ තමයි මේක. ඔන්න කෙල්ලෙක්ට කොල්ලෝ යාලුවෝ ඉන්නවා කියන එකවත්, කොල්ලෙක්ට කෙල්ලෝ යාලුවෝ ඉන්නවා කියන එකවත් ලෝක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම එව්වා ලෝක ප්‍රශ්න කරගන්න ඕනැත් නෑ. හැබැයි ඉතින් ඔය පැණි කම උපතින්ම ගෙනාපු කොල්ලෝ ඉන්නවනේ. උන් ඔය කෙල්ලෙක් දැක්කහම තමන්ගේ කෙල්ල පැත්තක ඉන්නකොට යනවා පැණි පෙරන්න. ඒක හිතලා කරන දේකුත් නෙවෙයි. හැබැයි ඉතින් තමන් පැත්තක තියලා වෙන කෙල්ලෝ එක්ක තමන්ගේ කොල්ලා උකුළු මුකුළු කරනවා දකින එකම ඇති කෙල්ලෙක්ට මූව මරන්න හිතෙන්න. සමහර වෙලාවට අහිංසක කෙල්ලෙක් නං ඕකට වලි දාගන්න එකකුත් නෑ. හැබැයි අනිවාර්‍යයෙන්ම ඔය වගේ දේකින් ලොකුවට හිත රිදෙනවා කෙල්ලෙක්ගේ!

 

3. යාලුවෝ ඉස්සරහා හෑල්ලුවට!

මේකත් සමහර කොල්ලෝ හිතන්නේ මතන්නේ නැතුව කරන වැරැද්දක්. අර නිතර දකින කුකුලගේ කරමලෙත් සුදුයි කියන්නැහේ, මොන ජිම්නාස්ටික් පෙන්නලා කෙල්ලව යාලු කරගත්තත් යාලු කරගත්තට පස්සේ ඉතින් සත පහකට ගණන් ගන්නෙ නෑ සමහර කොල්ලෝ. එතකොට ඔය තමන්ගේ යාලු මිත්‍රයෝ ඉන්න තැනක කෙල්ලව සමහර වෙලාවකට බල්ලට දාලා තමයි කථා කරන්නෙත්. එක්කෝ කෙල්ලගේ රස්සාව පල්ලෙහාට දායි යාලුවෝ ඉස්සරහා. එක්කෝ කෙල්ලගේ යාලුවෝ ගැන කට කැඩිච්ච කථා කියයි තමන්ගේ යාලුවෝ ඉස්සරහා. එක්කෝ කෙල්ලගේ මොකක් හරි දුර්වලතාවයක් ගැන කියලා විහිළු කරයි යාලුවෝ ඉස්සරහා. මේ කොහොම වුනත් තමන්ගේ කොල්ලගේ යාලුවෝ ඉස්සරහා පාච්චල් වෙන්න මොනම කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නෑ. තමුන් එහෙම කරන කොල්ලෙක් නම් ඒකෙන් කියන්නේ, තමන්ගේ කෙල්ල ගැන තමුන් තුළ කිසිම ගෞරවයක් නැහැයි කියන එක තමයි.

 

4. පාරේ රස්තියාදු!

මෙන්න මේකත් ගොඩක් වෙලාවට කොල්ලෙක් අතින් නොදැනුවත්වම සිද්ධ වෙන, කොල්ලෙක් වැඩිය දුර දිග හිතන්නේ නැති කාරණයක්. දැන් අපි ඔන්න කෙල්ලට හම්බුවෙන්න එන්න කියනවා. හැබැයි ඉතින් දන්නවනේ කොල්ලන්ගේ වෙලාවට වැඩ කිරිල්ල ගැන. ඉතින් ඔන්න කෙල්ල ඇවිල්ලා බලාගෙන ඉන්නවා, කොල්ලා පරක්කුයි. මෙතනදී කෙල්ලට බලාගෙන ඉන්න වෙන්නේ මහපාරේ බස් හෝල්ට් එකක, මොකක් හරි ෂොප් එකක් ඉස්සරහා නම් තත්ත්වය බරපතලයි. මොකද කොල්ලෙක්ට තේරෙන්නේ නැති දේ තමයි, කෙල්ලෙක්ට පාරට බැස්සහම කොයි තරම් හිරිහැර අත්විඳින්න වෙනවද කියන එක. තනියෙන් පාරේ ඉන්න කෙල්ලෙක්ව දැක්කහම සූවක් දාගෙන යන, කතා කරන්න එන, වෙන වෙන දේවල් කියාගෙන එන අසහනකාරයෝ තාමත් රටේ වැහිවැහැලා. එහෙම තියෙනකොටත් තමන්ගේ කෙල්ලව පාරේ රස්තියාදු කරන එක හොඳ වැඩක් නෙවෙයි.  

 

5. අපෝ ඕක මොකද්ද, ඕවත් ප්‍රශ්නද!

අපි හැමෝටම ප්‍රශ්න තියෙනවනේ. ඉතින් කෙල්ලෙක්ට වුනත් ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට කොල්ලෝ තමන්ගේ ප්‍රශ්න නොකියා ඉන්න පුළුවන්. ඒත් බොහෝමයක් කෙල්ලෝ තමන්ට තියෙන ප්‍රශ්න ගැන තමන්ගේ ආදරවන්තයාට කියන්න කැමතියි. ඒක හරියට විරේචකයක් වගේ. ඇත්තටම කොල්ලා මේ වෙලාවට කරන්න ඕන මහප්‍රාණ විසඳුම් හොයලා දෙන එක නෙවෙයි. කෙල්ලට හැඟීමෙන් සවන් දෙන එක. කෙල්ල බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි. ඉතින් ඔය හැමදාමත් තමන්ගේ ප්‍රශ්න කියවිල්ල වාතයක් වෙන වෙලාවල් එහෙමත් කොල්ලන්ට තියෙනවා. හැබැයි සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල මෙහෙම ප්‍රශ්න කියන එක වාතයක් වුනත්, නැතත් කෙල්ලට තියෙන ප්‍රශ්න සතපහකට ගණන් ගන්නෙ නෑ. කෙලින්ම “ඔයාලා බබාලා වගේ හැදුණු නිසා තමයි මේ ඔක්කොම, ඕවාද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න” කියලා අහලා ඒක එතනින්ම කපලා දානවා. අන්න ඒක හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම කෙල්ලට තමන්ගේ ප්‍රශ්නයක් කියන්න කියලා ඉන්න එකම සමීපතමයා තමන්ගේ කොල්ලා නං, එහෙම දෙයක් කිවුවහම කෙල්ලට කොහොම දැනෙයිද?

 

6. ඔයාව මට බුදු ෂුවර්!

කොල්ලෙක්ට තමන්ගේ කෙල්ලව වුනත්, කෙල්ලෙක්ට තමන්ගේ කොල්ලව වුනත් බුදු ෂුවර් වෙන එක නරක දෙයක් නෙවෙයි. ඇත්තටම ඔය ලව් කරන කපල් වල දාර වලි ඇදෙන්නෙත් ඔය ෂුවර් එක නැති නිසාමනේ. හැබැයි ඉතින් සමහර කොල්ලෝ ඉන්නවා මේ කෙල්ලව තමන්ට බුදු ෂුවර් කියන එක තමන්ගේ වාසියටම තමයි පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට කෙල්ලත් එක්ක එහේ මෙහේ යන්න කම්මැලි නම්, “මට ඔයාව බුදු ෂුවර් රත්තරං, ඔයා යන්න ඔයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කොල්ලත් එක්ක” කියලා කියයි. ඕක හැමදාමත් කරනකොට කෙල්ලට තේරෙනවා මේ මිනිහා තමන්ගේ ෂුවර් එක පාවිච්චි කරනවා කියලා. කොල්ලා ඕක ඕනකමින් නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි කෙල්ලෙක් කැමතියි තමන්ගේ මිනිහා තමන් ගැන චුට්ටක් වද වෙනවට, හොයලා බලනවට. තමන් මොන මිනිහා එක්ක ගියත් විශ්වාසයි කියලා අනික් පැත්ත හැරිලා නිදාගන්න මිනිහෙක්ට වඩා කෙල්ලෙක් කැමතියි තමන් ගැන ඊට වැඩියෙන් හොයලා බලන මිනිහෙක්ට! 

 

7. ඔයාට ඒකවත් බැහැනේ!

ඔය සමහර වැඩ තියෙනවා පිරිමින්ට ටොයිස් වුනාට කෙල්ලොන්ට බෑ. හැබැයි මේක හැම කෙල්ලෙක්ටම අදාළ වෙන්නෙත් නෑ. උදාහරණයක් විදියට කිවුවොත්, ගූග්ල් මැප් බලාගෙන තැනක් හොයාගෙන එන්න සමහර කෙල්ලෙක්ට බැරි වෙන්න පුළුවන්. ආන්න එතකොට එහෙම සරල දෙයක් කොහොමද කෙල්ලෙක්ට බැරි වෙන්නේ කියලා හිතන කොල්ලෙක් තේරුම් ගත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා. ගැහැණු, පිරිමි වෙනස්. මිනිස්සු වෙනස්. කොල්ලෙක්ට ඉතා සරල දෙයක් කෙල්ලෙක්ට බැරි වුනත්, ඒ කෙල්ලට තියෙන්න පුළුවන් කොල්ලට බැරි දේවල් දාහක් කරන්න පුළුවන් හැකියාව. ආන්න ඒ නිසා තමන්ගේ කෙල්ලට මොකක් හරි දෙයක් බැරි නම්, “ඔයාට ඒකවත් බැහැනේ!” කියලා සමච්චල් කරන එක, පාතට දාන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක කියන්නේ නොහිතා වෙන්න පුළුවන්. හැබැයි ඒවලින් හිත් වල තුවාල කැලැල් ඉතුරු වෙනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *