සමහර චිත්‍රපටවල නියම කතන්දර තියෙන්නේ චිත්‍රපටයේ නෙවේ ඒකේ පසුබිම් කතන්දරවල. එහෙම ආසික් කතන්දර කීපයක් බොලිවුඩයෙන් වගේ ම හොලිවුඩයෙන් හමුවුණා. මේ ඒ ගැන කතාවක්.
1. Darr
ඉන්දීය සිනමා වංශකතාවේ වීරයාට වඩා ප්‍රතිවීර චරිතය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තු, ඒ සිනමාව අංශක බර ගාණකට කරකවල දාපු, Darr චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණේ සනී ඩියෝල්. ඒ වුණාට ප්‍රතිවීර චරිතය වුණ ෂාරුක් ඛාන්ගේ රංගනය තමයි කැපී පෙනුණේ. ඒ වෙනකොට නවක නළුවෙක් වුණ ෂාරුක්ට මේක තමන්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණාට මොකෝ සනී ඩියෝල්ගේ සිනමා ජීවිතයේ කඩා වැටීම වුණේ මේ චිත්‍රපටය එක්කයි කියලා කියනවා. මේක නිසාම සිනමා නිර්මාණකරුවා වුණ යෂ් චොප්රා එක්ක සහ ෂාරුක් එක්ක සනී ඩියෝල් විරසක වෙලත් තියනවා.
2. Ice Age
Ice Age කියන්නේ අපේ ළමා කාලය සම්පූර්ණ කරපු තවත් චිත්‍රපට මාලාවක්. ඒක බලපු කාටවත් අමතක වෙන්නැති චරිතයක් තමයි ඒකොන් එකක් පස්සේ දුවපු ලේනෙක් වගේ සතා. නම ස්ක්‍රැට්. එයාව දන්නවා වුණාට නොදන්න කතාව තමයි එයාට හඬකවන කෙනාගේ විස්තරය. ඒ තමයි මේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වන ක්‍රිස් වෙජ්. ඇත්තටම මේ සතා වචනයක්වත් කතා කරන්නෑනේ. ඒ වුණාට එහෙන් මෙහෙන් සද්ද දාලා ෆිලුම රහට අරගෙන යනවනේ. ඉතින් හිතන්න මේ අධ්‍යක්ෂගේ දක්ෂතාව ගැන. තව එකක්. එයාගෙ නම ස්ක්‍රැට් (scrat) වෙලා තියෙන්නේ squirrel සහ rat කියන දෙක එක්කහු වෙලා. මොකද ඇත්තටම මේ සතාගේ ඒ ලක්ෂණ දෙක ම තියන නිසා.
3. The Pursuit of Happyness
විල් ස්මිත් සහ පුතණ්ඩියා වෙච්චි ජේඩන් ස්මිත් රඟපාපු මේ ෆිලුම සත්‍ය කතාවක් කියලා දන්නවා ඇතිනේ. ඒකේ ඉතින් පුදුම වෙන්න තියෙන්නේ ෆිල්ම් එකේ තියන පිළිගන්න අමාරු ඇත්ත සිදුවීම් තමයි. කතාව ගැන සරලව කිව්වොත් අද වෙනකොට මිලියනපතියෙක් වෙන ක්‍රිස් ගාඩ්නර්ගේ ජීවිත කතාවයි මේකේ තියෙන්නේ. අන්ත දුගී බවේ ඉඳන් පටන් ගන්න මේ කතාවේ එක් තැනක ඇත්ත ම ක්‍රිස් ගාඩ්නර්ව පෙන්වනවා. ඒක අපිට නෝට් වෙන්නේ නැහැ. ආහ් තව එකක්. තමන්ගේ ජීවිතේ විල් ස්මිත් කරනවට ක්‍රිස්ගේ කැමැත්තක් තිබිලා නැහැ. ක්‍රිස්ගේ දෝණියන්දෑ තමයි කැමති කරවන් තියෙන්නේ. එහෙම කරන් තියෙන්නේ විල්ට මොහොමඩ් අලිගේ චරිතේ කරන්න පුළුවන් නම් ඔයාගේ චරිතේ මොක්ක ද වගේ ලල් එකකින්.
4. Zindagi Na Milegi Dobara
ස්පාඤ්ඤය පුරාවට මාර්ග චාරිකාවක යන අරුම යහළුවන් තිදෙනෙක්ගේ කතාවේ පසුබිම් කතා දෙකක් තියනවා. එකක් හොඳයි. අනෙක හෙන අවුල්. හොඳ එක කියනවා නම් මේ ෆිලුමෙන් පස්සේ ස්පාඤ්ඤයට ඉන්දියානුවන්ගේ පැමිණීම 32%කින් වැඩි වෙලා තියනවා. ඉතින් ඒ නිසා ම කළමනාකරණය සම්බන්ධ සිද්ධි අධ්‍යයන සඳහාත් ස්පාඤ්ඤයේ අධ්‍යාපන ආයතන මේ චිත්‍රපටය නිර්දේශ කරලා තියනවා. අවුල් එක තමයි චිත්‍රපටයෙන් පස්සේ ඒකේ රඟපාපු හැම ප්‍රධාන නළුවෙක්ගේ ම නිළියකගේ ම පෞද්ගලික ජීවිතයට ෂොට් එක වැදීම. ඒ කිව්වේ හැමෝගේ ම ආදර සම්බන්ධතා නැති වෙලා තියනවා. මේක ගොඩක් අය දැකලා තියෙන්නේ එක්තරා අන්දමක ශාපයක් විදියට.
5. Titanic
මේ චිත්‍රපටයේ කොටසක් තියෙනවනේ රෝස්ගේ චිත්‍රයක් අඳින. ඇගේ නග්න ඡායාරූපයක් අඳින මේ දර්ශනයේ අත් දෙක චිත්‍රපට අධ්යක්ෂ ජේම්ස් කැමරන්ගේ. අත් දෙක විතරක් නෙවේ චිත්‍රයත් කැමරන්ගේ. තව ජැක් ගාව තියෙනවනේ එක එක ඒවා ඇඳපු එකතුවක්. ඒ සියල්ල ම ඇඳලා තියෙන්නේ පළපුරුදු චිත්‍රකාරයෝ නෙවේ ජේම්ස් කැමරන් විසින් ම තමයි.
6. Ta Ra Rum Pum
ඒ දවස්වල පට්ට විදියට ආසා කරපු චිත්රපටයක්නේ. සායිෆ් එක්ක රාණි හරි හරියට රඟපාපු කාලේ. මේ චිත්‍රපටයේ තියෙන Hey Shona ගීතය එක්ක තමයි දැන් කියන්න යන කතාව සෙට් වෙන්නේ. මේ සින්දුව රූපගත කරලා තියෙන්නේ නිව්යෝක් චතුරස්රයේ. ඒක පටිගත කරන්න කියලා චතුරස්‍රය සම්පූර්ණයෙන් ම වහලා දාලා තියෙනවා. හැබැයි ඉතින් අවුලකුත් නෑ. සින්දුව සෑහෙන ජනප්‍රිය වුණානේ.
7. Oblivion
ටොම් කෲස් තමන්ගේ 50 වන උපන්දිනය සමරලා තියෙන්නේ Oblivion රූගත කරන අතරතුර දී. මේ ෆිල්ම් එකේ තැනක තියෙන්නේ සුපිරි බයික් එකක්. ඒක මේ ෆිල්ම් එකට ම හදපු එකක් වගේ ම ඩිරෙක්ටර් මහත්තයාගෙන් ටොම්ට ලැබුණ උපන්දින තෑග්ග කියලයි කියන්නේ.
Leave a Reply