දවසකට දස දහස් ග​ණන් බැතිමතුන් වන්දනා කරන තිරුපති දෙවොල

අපේ රටේ මහ තැන් තිරුපති යෑම අපිට අලුත් දෙයක් නෙමෙයි. එදා ඉ​ඳලා මේ ඉන්දියාවේ ඉන්න විෂ්ණු දෙවියන් දැකබලාගන්න අපේ දේශපාලකයින් යනවා එනවා. ඉතින් මේ තිරුපති දේවාලය ලංකාවේ දේශපාලකයින් අතර විතරක් නෙමෙයි, ලොවපුරා හින්දු බැතිමතුන් අතරත් ජනප්‍රිය තැනක්. සමහර දවස්ව​ලට දිනකට ලක්​ෂයකටත් වැඩිය පිරිසක් තිරුපති දෙවොලට ගිහින් දෙවියන් දැක බලාගන්නවා. ඇතැම් දවස්ව​ලට උදේ පාන්දර සිට පෝලිම් වල සිටින බැතිමතුන්ට දෙවියන් තත්පරයක් දෙකක් දැකබලාගන්න ලැබෙන්නෙත් පැය දහයක් දො​ළහක් පෝලිමේ හිටියා​ට පස්සේ. එහෙ​ම පොඩි වෙලාවකට හරි තමුන්ගේ බලාපොරොත්තු ටිකට දෙවියන්ගේ ආශීර්වාදය ගන්න බැතිමතුන් දුර ගෙවාගෙන මේ තිරුපති වන්දනාවට එනවා. 

 

1. මොකද්ද මේ තිරුපති?

විෂ්ණු දෙවියන්  ජීවමානව වැඩසිටි තැනක් නිසා මේ තිරුපති දෙවොල බැතිමතුන් අතර ජනප්‍රිය තැනක්. ඉන්දියාවේ ඇති දේවාල අතරින් වැඩිම ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන ඇති හාස්කම් ඇති දේවාලයක් ලෙස තිරුපති ජනප්‍රියයි. මේ හාස්කම් වල මහිමය නිසා දිනකට පනස්දාහත් ලක්ෂ​යත් අතර මහ සෙනගක් මේ දේවාලයේ දේව ආශිර්වාදය වෙනුවෙන් තිරුපති වන්දනාමාන කරන්නට එකතු වෙනවා. තිරුපති කෝවිල පිහිටි කුඩා කඳු පන්තියේ මුදුන් හතක් තියෙනවා  ඒ ගිරි හිස් විෂ්ණු දෙවියන්ගේ චරිතයට සම්බන්ධ උප දෙවිවරුන් වෙනුවෙන් දේවස්ථාන වලට වෙන්වෙලා. තිරුපති දේවාලයේ උත්සවය මාර්තු සහ අප්‍රේල් මාස වල තියනවා. වසරේ විවිධ කාලවලදී පූජාවන් කිහිපයක් තිරුපති දේවාලයේ තියෙනවා.

 

2. දෙවොලට වෙනස් වූ පූජාවන්

තුලාභර හෙවත් සිරුරේ බරට සරිලන ලෙස බාරහාර වීම තිරුපති වල ප්‍රසිද්ධ පූජාවක්. අපේ රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාද පහුගිය කාලේ මේ තරාදිය උඩට නැගී තුලාභර පූජාවක් කළා. එහෙත් ඔහු බාරහාර වූයේ කුමක් ස​ඳහාදැයි ආරංචි වු​නේ නෑ. ඊට අමතරව මුදල් මුට්ටි පූජා කිරිමේ යාගයක්ද මේ තිරුපති දේවාල​යේ තියෙනවා. විෂ්ණු දෙවියන් පද්මාවතිය සමග විවාහ වීමේදී ලබාගත් කාසි ණයක් සිහිපත් කිරීම මේ කාසි මුට්ටි පූජාවෙන් සිහි කරනවා. එලෙස දිනකට මුට්ටි කාසි ලෙස එකතු වෙන මුදල පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 225කට වැඩියි. කේශ කල්‍යාණය දෙවියන් වෙත දන්දීම ද මේ දෙවොලේ සිදුවන තවත් පිංකමක්. මේ පිංකම නිසා දිනකට දෙවොලට ටොන් එකක පමණ කොණ්ඩා ලැබෙනවා. මේ කොණ්ඩා විකිණීමෙන්ද සැර ආදායමක් දේවාලයට එනවා.

 

3. දෙවියන් පිණිස සිදුකරන පූජාවන්

දේවාලයේ දේව පිළිමය නාවා පිරිසිදු කිරීමද පූජාවක් ලෙස පැවැත්වෙනවා . කිරිවලින් නහවා වස්ත්‍ර අන්දවා සුව​ඳ දුම් ඇල්ලීමද දේවාලය භාර කපු මහතුන් විසින් භක්තිමත්ව සිදුකරනවා. එක් දිව්‍ය පූජාවක් අලුයම තුනට පැවත්වෙන අතර අනෙක් පූජාව අලුයම එකට පැවැත්වෙනවා. නයිවේදම් ලෙස දෙවියන්ට සිදුකරන ආහාරමය දිව්‍ය පූජාවක්ද තිරුපති වල ජනප්‍රියයි. මෙහිදී ප්‍රසාද ලෙස ආහාර පූජා කරනවා. විෂ්ණු දෙවියන්ට පුද දෙන ලඩ්ඩු නැවත බැතිමතුන්ට කන්න ලැබෙනවා . දෙවියන්ට සුමිහිරි ආහාර පිදීම සිදුවනත්  මේ දෙවොලට එන බැතිමතුන්ටද කෝවිලෙන් නොමිලේම ආහාර ලබාදීමත් සේවාවක් විදියට සිදු වෙනවා.

 

 

4. කලියුගයේ අවසාන කාලය හා තිරුපති

හින්දු ආගමික ඉගැන්වීම් අනුව මේ ගෙවෙන්නේ කලියුගය. කලියුගයේ අවසාන කාලය වන මේ කාලයේ විෂ්ණු දෙවියන් තිරුපති දෙවොලේ වැඩ වාසය කරනවා. ලංකාවේද මහින්ද රාජපක්​ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන වත්මන් ජනප්‍රියම දේශපාලක උතුමන්ලා  තිරුපති වන්දනා කරලා තියෙනවා. තිරුපති දෙවොල තුල ප්‍රභූන් ගියාය කියා සාමාන්‍ය ජනතාවට කරදරයක් නැහැ. සාමාන්‍ය ජනතාවටද සාමාන්‍ය පරිදි වන්දනාමාන කරන්නට පහසුව සලසලයි තියෙන්නෙ. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ව්‍යාපාරිකයෝ ස​හ නළු නිලියෝ මෙන්ම සමාජයේ ඉහ​ළ පැලැන්තියේ අය තිරුපති වන්දනාව චාරිත්‍රයක් වශයෙන් සිදුකරනවා. ඇතැම් ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර වැඩිදියුණු වන්නට කියා ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව තිරුපති වෙත සිය ව්‍යාපාර වලින් මුදල් ​කොටසක් වෙන් කරලා තියෙනවා.

 

5. දුප්පතුන්ට පිහිට වෙන තිරුපති දෙවොල

තිරුපති දෙවොලට දිනකට එකතු වෙන සුවිශාල මුදල් සම්භාරය බැතිමතුන්ටම නැවත සහන ලබා දෙනු පිණි​ස ඒ අය පාවිච්චි කරනවා. තිරුපති උත්සව සමයේ පමණක් තිරුපති දේවාලයෙන් ඉන්දීය රුපියල් බිලියන 25ක් උපයන බව ස​ඳහන් වෙනවා. තිරුපති තිබෙන ​ආන්ද්‍රා ප්‍රදේශය කියන්නේ ඉන්දියාවේ දැන් නම් ටිකක් දියුණු පළාතක්. උත්සව කාලෙට දේවාල පූජා වලට අවශ්‍ය මල් වගාකරන්න වෙනම පළාත් සකස් කර තියෙනවා. ඒ හරහා අක්කර සිය ගා​ණක වගා කර ඇති මල් වගා කරන දුප්පත් ගොවීන්ට ආදායමක් එනවා. මේ දේවාලයේ පුද පූජා වලට පැමිණෙන බැතිමතුන්ට වතුර බෝතල් සකස් කර දීම වගේ කටයුතු වලිනුත් සාමාන්‍ය ජනයාට ආදායමක් ලැබෙනවා. විදෙස් වලින් පැමිණෙන ප්‍රභූන්​ට සහ එරට ප්‍රභූන්ට තිරුපති වන්දනාවට වෙනම පෝලිමක් තිබුනත්, දුප්පත් බැතිමතුන් වෙනුවෙන් ආහාර, සෞඛ්‍ය පහසුකම් සහ නවාතැන් සපයන්න දේවාල පාලක කමිටු​ව ක්‍රියා කරලා තියෙනවා.

 

6. බෞද්ධයින්ගේ සළකුණ

බුදුන් වහන්සේ ගේ පාද ලාංඡනයක්ද තිරුපති කන්දේ පිහිටා තිබේයැයි ඇතැම් බෞද්ධයින් අතර විශ්වාසයක් තියෙනවා. ඒ අනුව බුදුන් වහන්සේ සුනාපරත්නයට වැඩම කරන අතර සප්තබද්‍ර තවුස් හමු වෙනවා. ඒ තවුසා බුදුන් වහන්සේගෙන් පැවිදි බ​ව ඉල්ලනවා. පැවිදි වූ තවුසා සිය මවට වැඳුම් පිදුම් කිරීමට පූජනීය වස්තුවක් ඉල්ලනවා. ඉන් පසු බුදුන් වහන්සේ සිය පාද සටහන තියනවා. මෙවැනි වූ බෞද්ධ පුරාවෘත්තයක් තිබුනත් අද වනවිට තිරුපති වන්දනාවේ යන ලංකාවේ උදවිය පවා ඒ වන්දනා ගමන යන්නේ බුදුන්ගේ පාද සලකුණ වන්දනාමාන කරන්නට නෙමෙයි.  සිය ජීවිත වල තියෙන දුක් කම්කටොළු නැතිකරලා ජීවිතේ කඩඉම් පසුකරන්න දෙවියන්ගේ ආශීර්වාදය ගන්න බැතිමතුන් දහස් ග​ණනින් විෂ්ණු දෙවියන් සොයා තමයි තිරුපති වලට ඇදෙන්​නේ. 

 

7. තිරුපති ඇතිවීම සහ සොයාගැනීම ගැන පුරාවෘත්​ත

ගව පට්ටියක් පාලනය ක​ළ ගෝපිකා නම් සුන්දර තරුණියට විෂ්ණු දෙවියන්ගේ හිත බැඳෙනවා. ගෝපිකා සමග පෙමින් වෙලී සිටියදී විෂ්ණු දෙවියන්ගේ ප්‍රියම්බිකාව වූ ලක්ෂ්මිය එතැනට පැමිණෙනවා. විෂ්ණු දෙවියන්ගේ අධිෂ්ඨාන බලයෙන් ගෝපිකා මහ කළු ගලක් බවට පත් වෙනවා. ඉන් පසුව තමයි විෂ්ණු දෙවියන්ගේ හාස්කම් ඇති තැනක් බවට මේ තිරුපති පර්වත ප්‍රාන්තය පත්වන්​නේ. තවත් කතාවකට අනුව මෙම දෙවොල තිබෙන කඳු පන්තියේ විශාල තුඹසක් තිබිලා තියනවා. ඒ තුඹසට පූජා පවත්වන්නැයි මේ පළාතේ සිටි තොන්ඩයිමාන් නැමැති පාලකයාට දේව අණක් ලැබෙන​ව. කිරි වලින් පූජා පවත්වන විට කෙමෙන් කෙමෙන් විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාව මතු වෙලා තියෙනවා. ඉන් පස්සේ ජනතාව සමග එකතු වී භක්තිමත්ව පූජා කටයුතු සිදුකරමින් ඔහු විසින් මුල්ම දේවාලය මේ කඳු මුදුනේ පිහිටුවා තියෙනවා.

 

8. තිරුපති යෑම

අපේ දේශපාලක උතුමන්ලා නම් චෙන්නයි සිට හෙලිකොප්ටරයෙන්ම ගොස් තිරුපති වන්දනාමාන කරනවා. ඒත් සාමාන්‍ය ජනයාට චෙන්නයි සිට දුම්රියෙන් තිරුපති දක්වා යන්නට පහසුකම තියෙනවා. දේවාලය වගේම ලස්සන දිය ඇල්ලක් සහ කඳුකර පරිසරයක් මේ තිරුපති කඳු පන්තියේ බලන්න තියෙනවා. තිරුපති කියන්නෙ ලෝ ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් නිසා එක එක මට්ටම්වල නවාතැන් පහසුකමුත් තිරුපති දේවාලය අවට සොයාගන්න තියෙනවා.

මේ තිරුපති දේව පුදබිම කියන්නේ බොහොම අනුහස් තියෙන තැනක්. මස් මාංශ ආහාරයට ගැනීම, මත් පැන් පානය කිරී​ම වගේම නොගැලපෙන ඇඳුම් ආදියෙන් සැරසී යෑමත් තිරුපති යෑමේදී දෙවියන්ගෙන් වගේම මිනිස්සුන්ගෙන් උදහස එන්න හේතු වේවි. ඒ නිසා සංචාරකයෙකු ලෙස තිරුපති ගියත් හොඳින් පේවී ඒ ස​ඳහා සහභාගී වීම වඩාත් සුදුසුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *