හොල්මන් ෆිල්ම් වල දකින්න ලැබෙන ගොන්ම ආතල් 7ක්

හොල්මන් ෆිල්ම් කියන්නෙ ඉස්සර කාලෙ සෑහෙන රසිකයො පිරිසක් ආසාවෙන් බලපු ෆිල්ම් වර්ගයක්. ඒත් දැන් නම් හොල්මන් ෆිල්ම් රසිකයෙක් හොයාගන්නව කියන්නෙ යහපාලන රසිකයෙක් හොයාගන්නව වගේ අමාරු වැඩක්. ඒකට බොහොම විට හේතු වෙන්න ඇත්තේ එකම වට්ටෝරුවේ හොල්මන් කතන්දර දිගින් දිගටම හොල්මන් ෆිල්ම්වලින් දකින්න ලැබුණ එකත් වෙන්න ඇති. අපිව බය කරන්න කියලා හොල්මන් ෆිල්ම් වලින් කරන මේ සමහර දේවල් දැන් දැකල දැකලම බය හිතෙනව වෙනුවට හිනා යන එකයි වෙන්නෙ.

ඉතින් මේ කියන්නෙ ඒ විදිහට හොලිවුඩ්, ​බොලිවුඩ් හොල්මන් ෆිල්ම්වල බහුලව දකින්න ලැබෙන ගොන් ආතල් කීපයක් ගැන.

 

1. මුස්පේන්තු ගෙදර

හොල්මන් ෆිල්ම් වල කොයි ලොක්කටත් තියනව අමුතු ආසාවක්. ඒ තමයි හෙන ඩොටේ පිහිටපු ගරා වැටිච්ච මුස්පේන්තු ගෙයක් සල්ලි දීල ගන්න එක. මේ ගෙවල් හැම එකක්​ම එකම වගේ ගෙවල් තමයි. අඳුරු පාට තීන්ත ගාලා, හරිහැටි ලයිට් සෙට් කරලත් නැති, තරප්පු පේළි සහ කාමර ගොඩක් තියන ගෙවල් මෙව්වා. ඉතින් මේක ගන්න මිනිස්සු මේක හදලා ගන්නවාය අරව මේව කියල අර අන්ධකාර ගුහාවෙම වැටිල ඉන්නව. ඉතිං ඊට පස්සෙ හොල්මන් එන්න පටන් ගන්නව. මෙහෙම කතා අවුරුද්දකට කීයක් හැදෙනවද?

 

2. බෙදිල යං

හොල්මන් ෆිල්ම්වල පෙන්නන්නම බැරි සිද්ධියක් මේක. ඔන්න යාලුවො සෙට් එකක් කොහේ හරි ආතල් එකකට සෙට් වෙනව. ඒ අතරෙ දරුණු හොල්මනක් හරි මිනීමරුවෙක් හරි ඇවිත් මෙයාලට ඇටෑක් කරන්න ගන්නවා. මිනීමරුවා හැංගිලා ඉඳන් තමයි මතු වෙන්නෙ. දැන් මේ පහර දීම් වලින් අන්දුන් කුන්දුන් වෙලා ඉන්න යාලු​වො සෙට් එක හොල්මන් ෆිල්ම් එකක් ඇතුළෙ අනිවාර්යෙන් ගන්න එක මසුරං තීරණයක් තියනව. ඒ තමයි ‘බෙදිල යං, ගිහින් මිනීමරුවව අල්ලගමු’ කියන එක. අනේ ඉතිං මුං එකා දෙන්නා අත්වැල් අල්ලං බෙදිල ගිහිං නිරපරාදේ අර ගලේ ගහලවත් මරන්න බැරි හොල්මනෙන් හරි මිනීමරුවගෙන් හරි මැරුං කනව.

 

3. ඉස්ටාට් වෙයං

මේක ගැනනං ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ. හැමෝම දන්න ගොං සීන් එකක්නෙ. මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ චිත්තරපටියෙ අන්තිම හරියෙ. බොහෝවිට අන්තිම සීන් එක වෙන්නෙත් මේක. ඔන්න මිනීමරුවා ඉලෙක්ට්‍රික් කියතක් වගේ භයානක ආයුදයක් අරන් කාගෙ හරි පස්සෙන් පන්නන් එනවා. ඒ පුද්ගලයා මර බයේ ගිහින් නගිනවා වාහනේකට. යතුරත් තියනවා. හැබැයි ඉස්ටාට් වෙනවද මිත්‍රවරුණි? නෑ නේද? ගොඩක් වෙලාවට මේ ඉස්ටාට් ​නොවෙන සීන් එකට ඉන්නෙ කෙල්ලෙක් තමයි.

 

4. සෙස් කරන කපල් එක

මේ තවත් හොල්මන් ෆිල්ම් ඇතුළෙ පට්ට ගහපු සීන් එකක්. ඔන්න යාලුවො ටිකක් සෙට් වෙලා අඩි පුඩි ගහලා ආතල් එකේ ඉන්නවා. ඒ අතරතුර හොල්මන් බුවෙකුත් ඇවිත් මුන්ට එහෙන් මෙහෙන් ආතල් දෙනවා. ඒ අවුඅස්සේ මේ සෙට් එකේ ඉන්න කපල් එකකට එක පාරට මදන විසේ ඉහට ගහනව. ඉතින් දෙන්න යනව කොහේ හරි අඳුරු, ගුප්ත ලෙනක් වගේ පොට් එකකට. ටික වෙලාවකින් කිස් කර කර ඉන්දැද්දි ඔන්න දන්නෙම නැතිව හොල්මනා ඇවිත් කොල්ලගෙ බෙල්ලත් කපල ගිහින්.

 

5. සිග්නල් අවුල්

ඇමරිකාවෙ මොබයිල් නෙට්වර්ක් එක්ක ගත්තහම අපේ ඩේටා ගිලින කොම්පැණි වුණත් දාහෙන් සම්පතයි කියල හිතෙන්නෙ ඇමරිකාවෙ උන් හොල්මන් ෆිල්ම්වල ට්‍රිප් ගියහම තමයි. ගඟක මූදක නාන්න ගියත්, බාප්පොච්චිගෙ කොටේජ් එකේ සති අන්තෙ ගත කරන්න ගියත් මුන්ට සිග්නල් නෑ. ඉමර්ජන්සි කෝල් එකක්වත් ගන්න හැකියාවක් නෑ. ඉතින් පැනල යන්න මහා මාර්ග හොයන් වැටි වැටි දුවලා අන්තිමට එකෙක් ඉතුරු වෙනකන් මුන් මැරෙනවා.

 

6. පොලිස් මෝඩයා

මේං ඉන්නව නියම ඩයල්ස් එක. මේකා හුඟක් වෙලාවට එන්නෙ ඔය සයිකොලොජිකල් ත්‍රිලර් ටයිප් හොල්මන් ෆිල්ම් වල තමයි. මොකක් හරි ගේක හොල්මන් සීන් එකක් හරි අපරාධයක් හරි වෙනවා. මේක ගැන ඒ පැත්තෙ කරක් ගහන පොලිස් ​පොරකට ආරංචි වෙනවා. එහෙම නැත්නම් කරුමෙට හරි ෆෝන් සිග්නල් වැඩ කරලා පොලෝසියට කෝල් එකක් ගිහින් මේ අහිංසක පොලිස් මාමා එනවා ඒ හොල්මන් ගෙදරට. ආවට වඩා හොඳයි ඉතින් නාවා නං මොකද මෙයා ට්‍රේනිං එකෙන් කට්ටි පැනපු කෙනෙක් වගෙයි වැඩ. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හොල්මන එක්කත් ලවු කරන්න යනවා. එහෙම නැත්තං පස්සෙන් ඇවිත් බෙල්ල කපනකං මෙයා දන්නෙත් නෑ. අපරාදෙ ජීවිත හානී ​වේ.

 

7. සන්සුන් ගමනින් වඩිනා

සමහර හොල්මන් ෆිල්ම් ඇත්තටම පැය බාගෙන් විතර ඉවර කරන්න තිබ්බා හොල්මන් ගෝතයා ටිකක් විතර කඩිසර ඩයල්ස් එකක් වුණානම්. ඔන්න ඉතින් හොල්මනට බය වෙච්ච එවුන් හැප්පෙන්න පුළුවන් හැම ටිං කබලෙම හැප්පි හැප්පි වැටි වැටී, හැම කාණුවකටම වැටි වැටී, හැම පල්ලමකින්ම ලිස්ස ලිස්සා දුවනව. හොල්මන් පොර කලබල වෙනවද ආයුබොවංඩ? අපොයි නෑ. පොර අර කවදත් පුරුදු පුහුණු කරපු සංසුන් ගමනින්ම තමයි ගොදුර පස්සෙ යන්​නෙ. ඉතින් මේ දුර්වල පොරවල්ව කම්බස් කරන්න පැය එකහමාරක් දෙකක් යන එක අහන්නත් දෙයක්යැ?

 

එහෙනම් ඉතින් ඔයාලටත් හොල්මන් ෆිල්ම්ස්වලින් සෙට් වෙලා තියන හොඳම ආතල් ගැන අපිට කමෙන්ට්ස් හරහා කියන්න අමතක කරන්න එපා!

Leave a Reply

Your email address will not be published.