ක්‍රිකට් ක්රීඩකයොනම් එක එක වැරදි කළාම ක්‍රිකට් තරඟ තහනමට ලක් වෙනව. ඒ වුනත් බැට්? බැට් එකක් තහනම් වෙන්න නම් මොකාක් හරි ලොකු අවුලක් තියෙන්න වෙනවා නේද? මේ කියන්න යන්නේ ඒ විදිහෙ නොයෙකුත් ගැටලු නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තහනමට ලක්වෙච්ච සහ ක්‍රීඩාවෙන් ඉවත් වෙච්ච බැට් කීපයක් ගැනයි.
1. නීති වෙනස් කළ තෝමස් වයිට්ගෙ බුදු අම්මෝ බැට් එක
1771 දි මේ කියන බැට් එකත් අරන් තෝමස් වයිට් පිටියට පිවිසෙද්දි පන්දු යවන පිළේ අයට බුදු අම්මෝ කියල ඉංගිරිස් වලින් හිතෙන්න ඇති. මොකද මේ බැට් එක විකට් එකටත් වඩා පළලයි. ආයෙ ඉතින් පොලු අරිනවා බොරු. එංගලන්තයේ චෙස්ට්ලි සහ හැම්බල්ඩන් ක්‍රිකට් සමාජ අතර පැවති තරඟයකදි තමයි තෝමස් වයිට් මේ බැට් එක අරගෙන එන්නෙ. පස්සෙ හැම්බල්ඩන් පිළේ ක්‍රීඩකයන් මේකට ගේම ඉල්ලනවා. කොහොමින් කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ තමයි ක්‍රිකට් බැට් එකක තියෙන්න ඕනෙ උපරිම පළල අඟල් 4යි කාලක් හැටියට නීතියක් එන්නෙ.
2. ඩෙනිස් ලිලීගේ ඇලුමිනියම් බැට් බිස්නස් එක
1979 ඕස්ට්‍රේලියාව සහ එංගලන්තෙ අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟෙකදි පළවෙනි දවස අවසන් වෙද්දි නොදැවී විකට් එකේ ඉන්න ඩෙනිස් ලිලීට හැකි වෙනවා. මැච් එකේ ඊළඟ දවසෙදි ලිලී බැට් කරන්න එන්නෙ ඇලුමිනියම් බැට් එකක් අරගෙන. ඊට කලින් කොදෙවුවො එක්ක පවත්වපු මැච් එකකදිත් ලිලී මේ බැට් එක පාවිච්චි කරනවා. හැබැයි එංගලන්තකාරයො මේ වැඩේට ලේසියෙන් ඉඩ දෙන්නෙ නෑ. ඒ අය කියනවා මේ බැට් එක නිසා පන්දුවේ හැඩය වෙනස්වෙලා එයාලට අවාසිදායක වෙනවා කියලා. පස්සෙන් පහු ලොකු ජරමර ටිකක් වෙලා මේ බැට් එක වෙනස් කරන්න ඩෙනිස් ලිලීට බල කරනවා. මේ තියෙන්නෙ ඒ සිදුවීමේ වීඩියෝ එක.
ඩෙනිස් ලිලී මේ විදිහෙ ඇලුමිනියම් බැට් එකක් අරන් පිටියට ඇවිත් තියන හේතුවත් කවුරුත් නොහිතන විදිහෙ එකක්. කොම්බැට් (Combat) නමින් හඳුන්වපු මේ ඇලුමිනියම් බැට් හදල තියෙන්නෙ පාසැල් ළමයි සහ දියුණු වෙමින් පවතින රටවල මිල මුදල් යහමින් නැති ක්‍රීඩකයන්ට විලෝ බැට් එකක් වෙනුවට ගන්න පුළුවන් ලාභ විකල්පයක් විදිහටයි. මේ බැට් කොම්පැණියේ අයිතිකාරයා ඩෙනිස් ලිලීගෙ ගජයෙක්. අන්න ඒ නිසා මේ බැට් එකට මාකටින් පාරක් දෙන්නයි ලිලී මේක උස්සන් එන්නේ. අන්තිමේදි ඉහත සිදුවීම නිසා මේ බැට් අලෙවියත් ඉහළ නැගල සල්ලි කුට්ටියක් ලිලීගෙ සාක්කුවටත් වැටුණා කියලයි ආරංචි වෙන්නෙ.
3. පොන්ටින්ගේ කාබන් ග්‍රැෆයිට් බැට් එක
පොන්ටින් විතරක් නෙමෙයි අපේ සනත් ජයසූරියත් මේ බැට් එක අරන් තිබ්බා. කූකබුරාලා ගහපු මේ බැට් එකේ තිබ්බේ හරිම ලස්සනක්. ඒ කාලෙ ක්‍රිකට් ලෝලීන්ට මතක ඇති මේ බැට් එකේ පිටිපස්ස ආවරණය වෙන විදිහට ලස්සන ස්ටිකර් එකක් එක්කයි ආවෙ. මේ බැට් එකෙන් හොඳටම වැඩ ගත්තෙ ඕස්ට්‍රේලියාවෙ රිකී පොන්ටින් තමයි. එයා පාකිස්ථානයට මේ බැට් එකෙන් ඩබල් සෙන්චරියකුත් ගැහුවා. එක්දින තරඟ 53කුත් මේ බැට් එකෙන් ගැහුවා. හැබැයි එම්සීසී ක්‍රිකට් සමාජය මේ බැට් එකේ අවුලක් දැක්කා. ඒ තමයි මේ බැට් එකේ පිටිපස්සට එන කාබන් ග්‍රැෆයිට් තීරුව නිසා බැට් එකට අමතර බලයක් එකතු වෙලා අසාධාරණයක් වෙනවාය කියන එක. ඒ අය මේ ගැන අයිසීසීයට දැන්වීමත් සමගම 2006දි මේ බැට් එක තහනම් කරන්න අයීසීසීය පියවර ගන්නවා. කූකබුරා ආයතනය මේ වැඩෙන් හොඳටම කේන්ති ගත් බවත් සඳහන්.
4. පුංචි වුණත් හරිම සැර මොංගූස් බැට් එක
අයිපීඑල් ජනප්‍රිය වීමත් එක්ක T20 ඌෂ්ණෙ ඉහට ගහපු කාලෙ ආපු අමුතුම බැට් එකක් තමයි මේ මොංගූස් බැට් එක. අපි කලින් කිවුව බැට් වගේ මේ බැට් එක තහනම් වුණේ නම් නෑ. වඳ වෙලා ගියා කිවුවොත් නිවැරදියි. මේ බැට් එකේ විශේෂත්වෙ තමයි මේකෙ හැඩ්ල් එක එහෙමත් නැත්නම් මිට වැඩි දිගකින් යුක්තව පන්දුව වදින පෘෂ්ටය එහෙමත් නැත්නම් බ්ලේඩ් එක කුඩාවට නිර්මාණය වීම. සැර පාරවල් වලට යන්න මේක කියාපු බැට් එකක් කියලයි මාකට් වුණේ. මැතිවු හේඩ්න් 2010 අයිපීඑල් මැච් එකකට මේ බැට් එක අරගෙන ඇවිත් සැර පාරවල් ටිකක් එක්ක පන්දු 43කින් ලකුණු 98ක් ගහනවා. මේ තියෙන්නෙ හේඩන් මොංගූස් එකෙන් ගහපු පාරවල් ටිකක්.
මොංගූස් බැට් මුල් කාලෙදි විකිණෙන්නෙ උණු කැවුම් වගේ. හැබැයි හරිම කෙටි කාලෙකින් මේ බැට් එකේ ලොකුම අවුල් ටික තේරෙන්න ගන්නවා. ඒ තමයි සැර පාරවල් වලට ගියාට මොකද ආරක්ෂිත එහෙම නැත්නම් ඩිෆෙන්සිව් පාරවල් වලට මේ බැට් එක හොඳටම අවුල් වීම. හිතන්න බවුන්ස් වෙලා ඇඟට එන වේගවත් පන්දුවකට මේ හුච්චං බැට් එකෙන් ගහන්නෙ කොහොමද කියලා? අන්න ඒ අවුල් නිසාම මේ බැට් එක ටික කාලෙකින්ම මාකට් එකෙන් අතුගෑවිලා යනවා.
5. ක්‍රිස් ගේල් ගේ රත්තරන් බැට් එක
2015 බිග් බෑෂ් ලීග් විස්සයි විස්සයි ක්‍රිකට් ලීගයේ තරඟයකට ගේල් පිටියට පිවිසෙන්නෙ බැබලි බැබලි. මේකට හේතුව ගේල්ගේ ජනප්‍රියකම විතරක් නෙමෙයි, එයා ගෙනාපු රත්තරන් පාට ආලේපිත බැට් එකත් හේතුවුණා. මේ බැට් එක ස්පාර්ටන් කියන ජනප්‍රිය බැට් නිෂ්පාදකයන්ගේ එකක්. ක්‍රිකට් ඉතිහාසයේ පාවිච්චි වෙච්ච මුල්ම වර්ණ ආලේපිත බැට් එක වෙන්නෙත් මේක. මේකෙන් ගහපු ඉනිමේ ලොකුවට ලකුණු රැස් කරන්න ගේල්ට බැරි වුණත් මේ අමුතු බැට් එකට කාගෙත් අවධානය යොමු වුණා. ආපු ලොකුම ප්‍රශ්නෙ තමයි ලීයෙන් හදන බැට් එකකට ලෝහ ආලේප කරන එකෙන් අමතර වාසියක් එනවද කියන එක. පස්සෙ මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරපු ස්පාර්ටන් සමාගමේ ලොක්කෙක් කිවුවෙ මේ බැට් වලට ආලේප කරන්නේ රන් ලෝහය නෙමෙයි ඊට සමාන වර්ණයක් කියලයි. කොහොම වුණත් මේ සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සේ ක්‍රිස් ගේල්ගේ බැට් එකටත් තහනම සෙට් වුණා. ඊට හේතු වෙච්ච සිදුවීම ඊළඟ පොයින්ට් එකේදි කියන්නම්.
6. අන්ඩ්‍රේ රසල්ගේ කලු බැට් එක
ක්‍රිස් ගේල්ගේ රත්තරන් බැට් සීන් එකෙන් අවුරුද්දකට විතර පස්සේ ඊළඟ බිග් බෑෂ් ලීග් තරඟෙකදි තමයි මේ සිදුවීම වෙන්නෙ. ඒ පාර සිදුවීමට මූලික වෙන්නෙ කලුපාට ආලේපිත බැට් එකක්. මේකත් ස්පාටන් කොම්පැණියෙම එකක් තමයි. බිග් බෑෂ් ලීගයේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ක්‍රීඩා කරපු අන්ඩ්‍රේ රසල් තමයි බැට් එකේ හිමිකරුවා. අන්ඩ්‍රේ රසල්ට මේ තරඟෙදි එච්චර හොඳට බැට් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒත් රසල්ගේ බැට් එක නිසා ක්‍රිකට් නීති ගැන අලුතින් කතා කරන්න අවස්ථාවක් උදාවෙනව. ප්‍රතිවාදී පිළේ කඩුලු රකින්නා වුණ බ්‍රැඩ් හැඩින් දකිනවා රසල්ගේ මේ පිත්තේ තියෙන කලු පාට වර්ණය පන්දුවේ තැවරිලා තියන බව. මේ ගැන ඔහු අනිත් අයට දන්වනවා. අන්තිමේදි ඊට දවසක් ගිය තැනදි එක එක පාට ජාති ගාපු බැට් වලට තහනමක් පැනවෙනවා ඒවයින් පන්දුවේ වර්ණයට බලපෑමක් කරන නිසා.
7. ග්‍රේ නිකොල්ස්ගේ ජනප්‍රියම බැට් එකට වුණු වින්නැහිය
පොන්ටින් පාවිච්චි කරපු කූකබුරා කාබන් බැට් එකට සිද්ධ වෙච්ච අර්බුදයම වෙනස් ආකාරයට ග්‍රේ නිකොල්ස්ලගේ ජනප්‍රියම බැට් එකක් වෙච්ච ෆියුෂන් බැට් එකට සිද්ධ වෙනව. 2008 වකවානුවේ ජනප්‍රිය වෙච්ච මේ බැට් එකටත් කාබන් භාවිතා කරනවා. හැබැයි ඒ බ්ලේඩ් එකට නෙමෙයි මිටට. බැට් එකක මිට නිම කරන්න භාවිතා කරන රබර් වෙනුවට කාබන් ආදේශ කරලයි මේ අය මේ බැට් එක හදන්නෙ. ඒකෙන් බැට් එකේ බර සැහැල්ලු වීමත් අමතර ශක්තියක් එකතු වීමත් සිද්ධ වෙනවා. කොහොමින් හරි අයිසීසී එකට මේ වැඩෙත් අල්ලන්නෙ නැහැ. ඒ අය 2008 දි මේ බැට් එකත් තහනමට ලක් කරනව.
Leave a Reply