ඔබට ඔබේ ජීවිතය හා සම්බන්ධ කාරණා ඉක්මනින් අමතක වෙන හෝ කෙරුවාදැයි කියා යම් සැකයක් ඇති වෙන අවස්ථා ඇතිනම් එය ඇතැම්විට මානසික රෝගයක් දක්වා වර්ධනය වූවක් විය හැකියි. උදාහරණයකට ඔබට එදිනෙදා වැඩකටයුතු අමතක වෙනවානම්, රැකියාවේ නිම කරන්නට ඇති දෑ අමතක වෙනවානම්, උදේට කාපු දේ දවල්ට මතක නැත්නම්, කන්න කලින් අත හේදුවාද හෝ එන්න කලින් දොර වැසුවාද කියා මතක නැත්නම් ඔබට මෙම සටහන වැදගත් වේවි. මේ සටහන තබන්නේ ඔබටත් එවැනි තත්ත්වයක් ඇති නම් ඔබට එයින් තාවකාලිකව සහනයක් ලබාගන්නට හැකි වන ලෙසිනුයි.
1. ගෙදර දොර වැහුවද කියල මතක නැද්ද?
මේක සරළවම යම් තරමක OCD තත්ත්වයක් විදියට දකින්නට පුළුවන්. මෙයට ඇති සරළම විසඳුම වන්නේ ඔබට සාමාන්‍යයෙන් කෙරුවාද කියා අමතක වන ක්‍රියාව සමග සමාන්තර තවත් ක්‍රියාවක් සිදු කිරීමයි. උදාහරණයකට ඔබ දොර වසන මොහොතේදී ඔබේම නිවසේ දොරට තට්ටුවක් දැමීම, බෙල් එක හැඬවීම මගින් ඔබට එම සිදුවීම පසුව මතක් කරගැනීම පහසුවක් වේවි. ඔබේ උදෑසන ආහාරයට ඔබ ලබාගත් දේ මතක නැතිනම් හෝ වෙනත් ක්‍රියාවක් කළ අවස්ථාවක් අමතකනම් එය සිදු කරන විටක ඔබේ ජීවිතයට සම්බන්ධ යම් සිදුවීමක් සිහිපත් කරගැනීමත් සාර්ථක ක්‍රමයක්. එය ඔබට අමතක කාරණාව සිහිපත් කරවන සබැඳියක් වේවි.
2. ඇප්ස්
එදිනෙදා වැඩ කටයුතු අමතක වන මිනිසුන්ට එලාම්, රිමයින්ඩර්, නෝට්ස් ඇප්ස් උවමනා තරම් ස්මාට්ෆෝන් තුළ ස්ථාපිතව තිබෙනවා. එනිසා ඔබේ අමතක වීම් තේරුම්ගෙන හැකි සෑම විටම එම යෙදුම් භාවිතා කරන්නට හුරු වීම වැදගත් තත්ත්වයක්. ඒවා දිනපතා භාවිතා කරද්දී ඔබට එම හුරුව ඇතිවී අමතක වීම නැති වුනු පසු ඔබට ඒවා ඉවත් කළ හැකි අතර එය එබේ මතකයේ වර්ධනයක් ලෙසින් ඔබටම සතුටු විය හැකි අවස්ථාවක් ලෙසිනුත් දක්වන්නට හැකියි.
3. සාම්ප්‍රදායික වෙන්න
තත්ත්වය තරමක් දරුණු නම් ඔබට සාම්ප්‍රදායික ක්‍රමයට ගොඩවන්නට හැකියි. එනම් කොලයක ලියා තබාගැනීමයි. මෙහි සුවිශේෂම සිද්ධිය වන්නේ ඔබ එදිනෙදා අවසන් කරන්නට ඇති වැඩ ලියා ඔබේ මුදල් පසුම්බිය අසළ තබා ඔබ එම කොලය උදෑසනට ඔබේ සාක්කුවට දාගත්තද එය ප්‍රයෝජනයක් නොවීමයි. ඒ, ඔබ එම සටහන් ලියාතැබීම නිසාම ඔබට සිහිපත් වෙමින් අනිච්ඡානුගවම ඔබ එම කාලසටහනේ වැඩකිරීමයි. ඔබටම නොදැනී ඔබ අතින් සිදුවන එම ක්‍රියාවලිය නිසා විටින් විට ඔබ කොලය එළියට ගත්තත් එය අවශ්‍ය නැති බවක් හඟවන තරම් සාර්ථක ක්රමයකි.
4. එවෙලෙම
ඔබ සාමාන්‍යයෙන් වැඩ අමතක වෙන මිනිසෙකු නම් ඔබ වැඩ කල් තැබීමෙන් වැළකිය යුතුමයි. වැඩ කල් තැබීම කිසිසේත්ම හොඳ කටයුත්තක් නොවෙන නිසා එය ඔබට වාසියක්ද වෙනු ඇති. නිතර අමතක වීම් සිදු වන පුද්ගලයෙක් අතින් කල් තැබුනු වැඩ අමතක වන්නට ඇති ඉඩ කඩ වැඩිනිසා ඒ අවදානම නොගෙන ඔබට ඒ මොහොතේ කරන්නට ඇති වැඩ ඒ මොහොතේම සිදු කිරීම අතිශය යෝග්‍ය තත්ත්වයක්.
5. පේන මානෙ තියාගන්න
මෙන්න මේ දේත් අතිශය වැදගත්. ඔබට කරන්නට ඇති වැඩකට සම්බන්ධ ලියවිල්ලක් ලාච්චු ගත නොකර ඔබේ මේසය මත තබාගන්න. ඔබේ එදිනෙදා වැඩකටයුතු රිමයින්ඩර් ඇප් එක තුළ පමණක් සිර කොට නොතබා ඒවා ඔබේ ප්‍රධාන තිරයට පෙනෙන ලෙසින් යොදාගන්න. ඔබ කාර්යාලයට එන විට නිවසින් ගෙන ආ ආහාර මුල ලාච්චුවේ හෝ බෑගයේම දමා නොතබා ඉවතට ගෙන තබාගන්න. එය ඔබට අමතක වන සම්භාවිතාවය අතිශය අඩු කරවයි.
6. සේවු
සාමාන්‍යයෙන් ෆේස්බුක් හෝ යූටියුබ් වැනි සමාජ ජාලාවල සැරිසරද්දී අප කැමති හෝ අපට ප්‍රයෝජනවත් දේ බොහෝමයක් හමුවීම සාමාන්‍යයි. එහෙත් අප හදිසි අවස්ථාවක ඒවා මගහැර දමන නිසා පසු මොහොතක අපට ඒ මගහැරුනු දේ ගැන ඇතිවිය හැකි පශ්චාත්තාපය ඉහළ විය හැකියි. මෙයට ෆේස්බුක් සේවු හෝ යූටියුබ් හී වොච් ලේටර් සේවාවන් සේම පොකට් වැනි මෘදුකාංග භාවිතා කරන්නට හැකියි. ඒවා ඔබට පසුව නරඹන්නට අවශ්‍ය සියළු දේ එක්තැන් කර තබන අතර ඔබට රිසිසේ පසු අවස්ථාවක ඒවා නැරඹීමේ ඉඩද ලැබෙනවා.
7. වයිෆ්
ඔබ කසාදයක් බැඳපු මනුස්සයෙක් නම් ඔබට අමතක වන දේ සැරින් සැරේ ගෝරනාඩු ස්වරයෙන් සිහිපත් කරන්නට බිරිඳක සිටීම ඔබේ වාසනාවක් ලෙස සිතන්න. මේ කියන්නට යන්නේ ඔබේ මේ අමතක වීමට ඇගෙන් ප්‍රයෝජනයක් ගන්නා ලෙසයි. එනම් ඔබට අමතක වෙන සියල්ල ඇයට කෙටි පණිවුඩ ලෙසින් යවන්න. ඔබ උදෑසනට ගත් ආහාර, දොර වැසූ පසු ඒ බව, කරන්නට ඇති රාජකාරි ආදී සියල්ලම ඇය හා ඔබේ කතාබහ ඇතුළේ තබාගැනීම ඔබට ඒවා අමතක වෙන්නට ඇති ඉඩ වළකාලයි.
Leave a Reply