හිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ කියලා කිවුවට ඇත්තටම හිනා වුනා කියලා මහත් වෙන්නෙ නෑ. හිනා වුනා කියලා ඇඟෙන් කෑල්ලක් ගැලවෙන්නෙත් නෑ. ආන්න ඒ නිසා ලස්සනට හිනා වෙන එක හොඳ දෙයක්. හැබැයි ඔය අනෙක් අයගේත් හිත් සතුටින් පිරෙන විදියට, අනෙක් අයත් ආකර්ෂණය වෙන විදියට හිනා වෙන එක හැමෝටම පිහිටලා තියෙන දෙයක් නෙවෙයි. සමහරුන්ට නම් ඒක සහජයෙන් එනවා. එහෙම ආකර්ෂණීය හිනාවක් සහජයෙන් එන්නෙ නැති අය මොකද කරන්නේ? ඒ අයට පුළුවන් අපි මේ කියලා දෙන උපදෙස් අනුගමනය කරලා ආකර්ෂණීය හිනාවක් නිර්මාණය කරගන්න!
1. දත් මැදලා එන්න ඕන!
මේක ඉතින් සාමාන්‍ය දැනීම කාරණාවනේ. දත් මැදලා තිබ්බෙ නැත්තං ඉතින් “සිනා නොමසෙන් දසන් දක්වා” තමයි. ඒ හිනාවත් නරක නෑ, හැබැයි අර අව්‍යාජ ආකර්ෂණීය හිනාවකට ඒක මදි. අන්න ඒ නිසා හොඳට දත් මදින්න ඕන දවසකට දෙපාරක්වත්. එතකොට කාලෙන් කාලෙට දන්ත වෛද්‍යවරයෙක් මුණගැහිලා තමන්ගේ දත් ටිප් ටොප් එකට තියාගන්න ඕන. දත් මුතු ඇට වගේ කිරි සුදු පාටින් බබලන්න ඕන නෑ. සමහරුන්ගේ දත් ටිකක් කහ පැහැයට හුරුයි. ඒක ප්‍රශ්නයක් නෑ. තියෙන්න ඕන දත්වල පිරිසිදු පාට සහ හොඳ දන්ත සෞඛ්‍යයක්.
ඒ වගේම තමයි මුඛයේ හොඳ සුවඳක් තියෙන එකත් වටිනවා. ඒකට කරන්න පුළුවන් කෑවහම බීවහම හොඳට කට හෝදලා, දත් මැදලා ඉන්න එක. එතකොට ඔය මවුත්වොෂ් එකක් එහෙම පාවිච්චි කළත් කාරියක් නෑ.
2. ශරීර සහ මානසික සුවතාවයත් හිනාවට වැදගත්!
යකෝ කටින් හිනාවෙන එකට ජිම් යන්නත් ඕනෙද? මෙහෙමයි. දැන් අපි හිනාවෙනවා කියන්නේ සතුටින්, හොඳින් ඉන්නවා කියන එකනේ. අන්න ඒකට අපේ ශරීර සුවතාවයත් වැදගත්. ඒකට ජිම් යන්නම ඕන නෑ. හැබැයි තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය හොඳින් තියාගෙන, පුළුවන් තරම් ලෙඩදුක් වලින් වැලකිලා ඉන්න එක තමයි කරන්න ඕන. ඒ වගේම තමයි තමන්ගේ මානසික සෞඛ්‍යය. දැන් සෑහෙන්න දුකෙන් ඉන්න කෙනෙක්ට, එහෙම නැතිනම් බරපතල මානසික ආතතියකින් ඉන්න කෙනෙක්ට අව්‍යාජව තියා ව්‍යාජව වත් හිනාවෙන්න බැහැනේ. ඒ නිසා ශාරීරික සෞඛ්‍යය පවත්වා ගන්න අතරේම මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමත් අති වැදගත්. ආන්න එහෙම ශාරීරිකව, මානසිකව සෞඛ්‍ය සම්පන්නව ඉන්නකොට හිනාවේ වුනත් නැවුම් වෙනසක් තියෙනවා. නැතුව ඇඟට පතට කිසිම ව්‍යායාමයක් නැතුව, කිසිම කිසි නෑ කිසි ගතියකින්, කැඳත් නැති ගාණට වැනි වැනි ඉන්න කෙනෙක්ට ආකර්ෂණීය විදියට හිනාවෙන්න පුළුවන්ද? බැහැනේ!
3. දත් විතරක් නෙවෙයි, තොල්පෙතිත්!
තොල් පෙති තියෙන්නේ කාන්තාවන්ටනේ කියලා දැන් කොල්ලෝ කියන්න ලැහැස්ති වෙන්න එපා. හැමෝටම තියෙන්නේ තොල් පෙති තමයි. කොහොමහරි අපි කියන්න යන්නේ සුන්දර හිනාවකට තොල් පෙති වල තියෙන වැදගත්කම ගැන. දැන් හිනාවෙන කොට කැපිලා පේන්නේ දත් කියලා හිතුවට, ඇත්තටම තොල් දෙකත් හොඳට පේනවා. අන්න ඒ නිසා තොල් සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ඕන. තොල් පැලිලා, වේලිලා එහෙම තියෙනවා නම් ලිප් බාම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක අර ලිප්ස්ටික් එකක් වගේ තමයි, හැබැයි කිසිම පාටක් නැහැ. විශේෂයෙන්ම ඔය එලිපහලියේ නිතර ඉන්න කෙනෙක්ට එහෙම ලිප් බාම් එකක් අතේ තියෙන එක වටිනවා. ඒ අය හිනාවෙනකොටත් ලිප් බාම් එක නිසා තොල් ලස්සනට තියෙන එක තවත් වටිනවා!
4. හොඳම හිනාව හොයාගන්න
මෙන්න මේක ටිකක් මහන්සි වෙලා කරන්න සිද්ධ වෙන දෙයක්. අපි ඕනම කෙනෙක්ට එක එක විදියේ හිනාවල් තියෙනවා. සමහර හිනාවල් අපිට නොතේරුණාට හෙනම ගොං. ඉතින් ආකර්ෂණීය හිනාවක් කියලා හිතාගෙන ගොං හිනාවක් දාලා හරියන්නෙ නැහැනේ. ආන්න ඒ නිසා අපිට සිද්ධ වෙනවා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මූණට හොඳටම ගැලපෙන, ආකර්ෂණීයම හිනාව හොයාගන්න. මේක තනියම කරන්න බැරි නම් තව විශ්වාසවන්ත කෙනෙක්ගේ උදවුව ගත්තත් කමක් නෑ. හැබැයි තමන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හිනාවෙනකොට තමන්ටම තේරෙනවා තමන්ට කොයි විදියටද හොඳටම ආකර්ෂණීය විදියට හිනාවෙන්න පුළුවන් කියලා.
5. ඇස් වලිනුත්, මුහුණෙනුත් හිනාවෙන්න
මේකත් උඩ කියපු කාරණාවට සම්බන්ධයි. අපි හිනාවෙන්නේ කටින් තමයි. හැබැයි ඒ හිනාව ආකර්ෂණීය වෙන්න ඇස් ඇතුළුව සම්පූර්ණ මුහුණම සහභාගී කරගන්න වෙනවා. විශේෂයෙන්ම හිනාවක් සුන්දර, ආකර්ෂණීය හිනාවක් වෙන්න නම් ඒ හිනාවේ තියෙන සතුට අනිවාර්‍යයෙන්ම ඇස් වලින් පිළිබිඹු වෙන්න ඕන. ඒක එහෙම නෙවෙයි කියලා හිතනවා නම්, කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඇස් වලින් හිනා නොවී තොල් සහ දත් වලින් විතරක් හිනා වෙලා බලන්න. තමන්ටම තේරෙයි ඒක කොයිතරම් ව්‍යාජයිද කියලා. අන්න ඒ නිසා කණ්ණාඩිය ඉස්සරහා හොඳම හිනාව හොයන අතරේ ඇස් වලින් සහ මුහුණෙන් හිනාවෙන්නත් පොඩ්ඩක් ඉගෙන ගන්න.
6. දිගටම දිගටම හිනාවෙන්න! අවශ්‍ය තැනදී දිගටම හිනාවෙන්න!!
දැන් හිනාවත් හොයාගත්තා, මූණෙන් සහ ඇස්වලින් හිනාවෙන්නත් ඉගෙන ගත්තා, දත් සහ තොල් ලස්සනට පවත්වා ගත්තා. එහෙමනම් හිනාවෙන්න තමයි තියෙන්නේ. මොකද හැමදේකටම වගේ මේකටත් ප්‍රැක්ටිස් එක ඕන. හැබැයි තව දෙයක්. ආකර්ෂණීය හිනාවක් හොයාගත්තා කියලා ඇස්සටයි අස්සටයි හැම තැනටම එහෙම හිනාවෙන්න යන එකෙන් ඒ හිනාවේ කොලිටිය බාල වෙනවා. අන්න ඒ නිසා හිනාවිය යුතු සහ නොවිය යුතු තැන් තෙරුම් ගන්න ඕන. ඒ වගේම වොට් තිස්තුන්දාහේ තමන්ගේ ආකර්ෂණීය හිනාව පෙන්විය යුතු තැන් සහ මඳ සිනාව ප්‍රමාණවත් තැන් ගැනත් තේරුම් ගන්න ඕන. ආන්න ඊට පස්සේ පුළුවන් අවශ්‍ය තැනදී ආකර්ෂණීය විදියට හිනාවෙන්න.
7. හිතේ පිරිසිදු අව්‍යාජ බවත් ඕන
මෙන්න මේක තමයි අනිවාර්‍ය අවසාන කාරණාව. අපි කොයි තරම් හිනාවෙන්න එක්ස්පර්ට් කෙනෙක් වුනත් වැඩක් නෑ, හිනාවෙන්නේ හිතේ එකක් තියාගෙන නම්. එතකොට ඒ හිනාව අපි හිතන තරම් ආකර්ෂණීය විදියට එළියට එන්නෙ නෑ. හිතේ හොඳක් නැතුවයි ඒ හිනාව එන්නේ කියන එක තේරෙනවා. අන්න ඒ නිසා අවංකවම, මුළු හදින්ම, අව්‍යාජව හිනාවෙන්න. එහෙම කෙනෙක් එක්ක හිනාවෙන්න බැරි අවුලක් තියෙනවා නම් කෙලින් කතාබහ කරලා ඒ අවුල ලිහාගන්න. දැන් එයත් එක්කත් මුළු හදවතින්ම හිනාවෙන්න!
එහෙමනම් හැමදෙනාටම සොඳුරු සිනා ලැබෙන සතියක් වෙන්න ඕන. නෑ, මේක දත් බෙහෙත් ඇඩ් එකක් නෙවෙයි!!
Leave a Reply