වීඩියෝ ගේම් පිස්සන්ව තවත් පිස්සු වට්ටන්න 2019 අවුරුද්දේ ආපු සුපිරි කම්පියුටර් ගේම්ස් කීපයක්!

කම්පියුටර් ගේම්ස් ගැන එක එක මිනිස්සුන්ගේ තියෙන අදහස් මතිමතාන්තර විවිධාකාරයිනේ. සමහරු කිසිම විදියකට කම්පියුටර් ගේම්ස් වලට කැමතිත් නෑ, කම්පියුටර් ගේම්ස් ගහන එව්වොන්ට කැමතිත් නෑ. ඒ අය හිතන්නේ මේක ඇබ්බැහි වෙලා, කාලේ නාස්තිකරන දෙයක් කියලා. ඔය අතරේ ඇත්තටම වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වුණු අයත් ඉන්නවා තමයි. හැබැයි තමන්ගේ මුළු කාලයම නාස්ති කරගන්නේ නැතුව, ඇබ්බැහියක් කරගන්නේ නැතුව වීඩියෝ ගේම් එකක් එක්ක ඔට්ටු වෙලා වින්දනයක් ලබන්න පුළුවන් නම්, ඒක තමන්ගේ එදිනෙදා ජීවිතේ හොඳ විනෝදාස්වාදයක්. අපිට ජීවිතේ විනෝදෙත් ඕනනේ. ආන්න ඒ නිසා ඒ විදියට පමණ දැනගෙන වීඩියෝ ගේම්ස් ගහන, ඒකත් කම්පියුටර් එකේ වීඩියෝ ගේම්ස් ගහන සෙට් එක වෙනුවෙන්ම තමයි, මේ අවුරුද්දේ රිලීස් වුණු, කම්පියුටර් එකක ගහන්න පුළුවන් මේ වීඩියෝ ගේම්ස් කීපය අපි අරගෙන එන්නේ!

 

1. Control

අර ස්ලෝ මෝෂන් ටයිම් සීන් එකත් එක්කත්, අඳුරු ඒත් අපූරු තේමාව එක්කත් කාලයක් අතිශයින්ම ජනප්‍රිය වුණු Max Payne ගේම් එක සහ Alan Wake ගේම් එක හදපු කට්ටියගේම තවත් වැඩක් තමයි මේ.  උඩින් කියපු ගේම් වල තියෙන අර ඇත්ත වගේම පේන්න තියෙන ග්‍රැෆික් කොලිටිය සහ අන්ධකාර, බිය දනවනසුළු තේමාව මේ Control ගේම් එකෙත් තියෙනවා. එතකොට මේ Control ගේම් එකේ ඔය අධිස්වාභාවික, බය හිතෙන දේවලුත් ඕන තරම් තියෙනවා. ඒ වගේම ඇක්ෂන් ඕන අයට ඇක්ෂන් එහෙමත් ඇති වෙන්න තියෙනවා. ඇත්තටම අර හීනයක් ඇතුළේ ඉන්නවා වගේ දැනෙන එක තමයි අර උඩින් කියපු ගේම් වල වගේම Control ගේම් එකේත් විශේෂත්වය. හරියට සයිකොලොජිකල් ත්‍රිලර් හීනෙක ඇතුලේ අපි ඉන්නවා වගේ!

 

2. Snooker 19

ස්නූකර් කිව්වාහම ගොඩක් දෙනෙක් දන්නෙ නැතත්, බිලියඩ් හරි පූල් හරි කිව්වහම නං දන්නවා. ඔව්, අර මේසයක් උඩ බෝල ටිකක් තියලා, කෝට්ටකින් එක බෝලෙකට ගහනවා අනික් බෝල වල වැදිලා ඒ වැදුණු බෝල වලට වැටෙන්න! හැබැයි ඔය බිලියඩ් සහ පූල් දෙකට වඩා ස්නූකර් වෙනස් වෙනවා මේසේ උඩ තියෙන බෝල වල විදිය සහ බෝල ප්‍රමාණය එක්ක. කොහොම හරි ඔය විදියේ ගේම් වලට පොඩි පොඩි ගේම්ස් නං අපි කොතෙකුත් දැකලා තියෙනවනේ. හැබැයි මේ අවුරුද්දේ ආපු Snooker19 කියන මේ සීරීස් එකේ නවතම ගේම් එක වඩා සීරියස් පිට ගහන්න පුළුවන් ස්නූකර් ගේම් එකක්. හරියටම කිවුවොත් ස්නූකර් සිමියුලේටර් එකක්. ඇත්ත වගේම ස්නූකර් ගහලා කුසලාන දිනන්න තමයි තියෙන්නේ!

 

 

3. Age of Wonders: Planetfall

මේක නම දැක්ක ගමන් කෙනෙක්ට හිතාගන්න පුළුවන් අර ප්‍රසිද්ධ ජාතියේ ස්ට්‍රැටජි ගේම් එකක් කියලා. ඒ කියන්නේ ලොකු මැප් එකක තියෙන සම්පත් උකහාගෙන, හමුදා නිර්මාණය කරලා, ඒ හමුදා මෙහෙයවලා බලය අල්ලගන්න ජාතියේ ගේම්ස්. කොහොම වුනත් මේක අතිවිශිෂ්ට ග්‍රැෆික් කොලිටියක් එහෙම තියෙන ගේම් එකක් නෙවෙයි. ඒ වුනත් මේකේ තියෙන අර අමුතු සත්තු, අමුතු ආයුධ වගේ සයන්ස් ෆික්ෂන් තාලේ දේවලුත් එක්ක කම්මැලිකමක් නැතුව ගහන්න පුළුවන් ස්ට්‍රැටජි ගේම් එකක්. විශේෂයෙන්ම මේකේ අති විශාල සිතියම්, දීර්ඝව ගලාගෙන යන සිංගල් ප්ලේයර් කැම්පේන් එක එහෙමත් විශේෂයි. ඒ වගේම සෑහෙන්න මල්ටිප්ලේයර් මෝඩ්ස් ප්‍රමාණයකුත් මේකේ තියෙනවා.

 

4. Last Oasis

මේක නියමම රෙට්‍රෝ ෆියුචරිස්ටික් ගේම් එකක්. ඒ කියන්නේ හිතන්න වාෂ්ප එන්ජිම හොයාගන්නත් කලින් තිබුණු විදියේ ලෝකයක්. මේ ලෝකේ ආයුධ වෙන්නේ ප්‍රාථමික තුවක්කු, කඩු, දුනු තමයි. එතකොට යන්ත්‍ර වුනත් ක්‍රියාත්මක වෙන්නේ මිනිස් බලයෙන් හරි සත්තුන්ගේ බලයෙන් හරි සුළං බලයෙන් හරි වෙන්න පුළුවන්. හැබැයි, එහෙම සීමාසහිත බලශක්තියකින් ක්‍රියාත්මක වෙන යන්ත්‍ර වුනත් එක විදියකට අති නවීනයි. උදාහරණයක් විදියට ගත්තොත්, එක පිට එක ඊතල විදින්න පුළුවන් කැරකෙන විදියේ දැවැන්ත දුනු යන්ත්‍ර මේ ලෝකේ දකින්න පුළුවන්. මකුළුවෝ වගේ ඇවිදගෙන යන්න පුළුවන් වාහන මේ ලෝකේ දකින්න පුළුවන්. ආන්න ඒ විදියේ ලෝකයක් පසුතල කරගත්තු ගේම් එකක් තමයි මේ.

 

5. Doom Eternal

අනූව දශකයේ මුලින්ම කම්පියුටර් ගේම් අත්පොත් තියපු අයට නම් ඩූම් 2 කියන ගේම් එක අමතක වෙන්න කොහෙත්ම විදියක් නැහැ. විශේෂයෙන්ම ඩූම් ගේම් එකේ අපි ආස කරපු දේ තමයි ඒකේ තියෙන තුවක්කු තොගේ. එක එක විදියේ පිස්සු හැදෙන තුවක්කු විස්සක් විතර තියනකොට අපි කාටද බය? ඊට පස්සේ 2016 දී මේ ගේම් එකේ රීබූට් එකකුත් ආවා. හැබැයි මේ අලුත්ම Doom Eternal ගේම් එක කිසිසේත්ම ලේසි නෑ. එක එක විදියේ ප්‍රබලත්වයන්ගෙන් යුක්ත, බුලට් විදින, ගිනි විදින, බෝම්බ විදින, ලේසර් විදින, ප්ලාස්මා විදින නොයෙක් ආකාරයේ පිස්සු කොර තුවක්කු සෙට් එකක් මේ ගේම් එක ඇතුළේ තිබුණත්, මේක ඕනම ගේමර් කෙනෙක්ට හොඳ අභියෝගයක් එල්ල කරන ගේම් එකක්. මේකේ අපාය කෙලින්ම පෘථිවියට එනවා. දැන් අපායේ නොයෙක් ආකාරයේ යක්ෂයෝ, භූතයෝ, රාක්ෂයෝ සහ අද්භූත සත්තු එක්ක සටන් කරන්නයි තියෙන්නේ!

 

6. Night Call

ඔබ ටැක්සි රියදුරෙක්! එක් අන්ධකාර රාත්‍රියකදී ඔබට මුණගැහෙන්නේ දාම මිනීමරුවෙක්. ඒ මිනීමරුවා ඔබවත් මර​ණවා. ඒත් වාසනාවකට ඔබ මිනීමරුවාගේ මුහුණ දකින්නේවත්, මිනීමරුවා ඔබේ මුහුණ දකින්නේ වත් නැහැ. කොහොම වුනත් මේක වාසනාවක්ද කියලා හරියටම කියන්න බැරි ප්‍රශ්නෙකුත් තියෙනවා. මොකද ඔබ මියයන්නේ නැහැ. ජීවිතය බේරගන්න ඔබ රෝහලේ ඉඳලා නැවතත් සුපුරුදු ටැක්සි රියදුරු රැකියාවටම එනවා. එහෙම වුනත් ඔබව මුණගැහෙන දූෂිත රහස් පරීක්ෂකවරියක් ඔබට බොහොම දරුණු තෝරාගැනීමක් කරන්න කියනවා. එක්කෝ ඔබ දවස් හතක් ඇතුළත නගරයම බියෙන් ඇලලවූ මේ දාම මිනීමරුවාව අල්වා දිය යුතුයි. එහෙමත් නැතිනම් පොලිසිය මේ මිනීමැරුම් වලට අල්ලා ගන්නේ ඔබවයි! දැන් ඔබ ටැක්සියට නගින මගීන් සමගින් කථාබහ කරමින්, මිනීමරුවා අල්වා ගන්නට හැකි කුඩා හෝඩුවාවන්, සාක්ෂි එකතුකරගත යුතුයි. ඒ සඳහා ඔබට කථාබහේදී විවිධ විකල්පයන් තෝරාගන්නත් පුළුවන්. කොහොම වුනත් මිනීමරුවා ඔබේ ටැක්සියට නැගිලා, ඔබගේ කථාවෙන් ඔබව හඳුනාගෙන, මෙවර ඔබව සදහටම නිහඬ කරන්නත් පුළුවන්. ඒ අවදානමත් ඔබ ගත යුතුයි. ඒ එක්කම ඔබ ටැක්සි ධාවනයෙන් ජීවත් වෙන්නට ප්‍රමාණවත් මුදලකුත් උපයාගත යුතුයි. එහෙමනම්, මේ ඔබේ කථාවයි!

 

7. Mortal Kombat 11

ලෝකයන් අතර සමබරතාවය පවත්වා ගන්නට කරන මාරාන්තික සටන් තරගාවලිය නැතිනම් මෝර්ටල් කොම්බැට් ගැන නොදන්න ගේමර් කෙනෙක් ඉන්න විදියක් නැහැ. කොහොම වුනත් අපි සෑහෙන කාලෙකට කලින් දැකපු Mortal Kombat 4 ක්‍රීඩාවට වඩා මේ වෙනකොට මෝර්ටල් කොම්බැට් විශ්වය සෑහෙන්න දියුණු වෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට කියනවා නම්, අපි මෑත කාලයේදී දැකපු Mortal Kombat 10 ක්‍රීඩාවේ ඉතාම ඉහළ මට්ටමේ ග්‍රැෆික් වගේම, බොහොම ඉහළ මට්ටමක සටන් හැකියාවන් සහ හොඳ කථා රේඛාවකුත් තිබුණා. හැබැයි Mortal Kombat නිර්මාණකරුවෝ කියන්නේ, එතෙක් මෙතෙක් දකින්න ලැබුණු අති දැවැන්තම Mortal Kombat ක්‍රීඩාව වෙන්නේ Mortal Kombat 11 කියලා තමයි!