දේශපාලනය ගැන කතා කරන්න කලින් හිතන්න දේවල් ටිකක්

ළඟ ළඟ එන ජනාධිපතිවරණ උණුසුමත් එක්ක මේ දවස්වල ඉතින් දේශපාලනය කියන්නේ උණු උණු ටොපික් එකක්නේ. ඡන්ද දායකයො තරුණ මහලු වෙනසක් නැතුව කොයි කවුරුත් දේශපාලනය ගැන උනන්දු වෙන එකනම් බොහොම හොඳ කාරණාවක්. මොකද ඔය පාලකයෝ ඔය තැනට පත් කරලා අනාගත පරම්පරාවට වගකියන්න ඕන අපි, “දේශපාලනය නම් එපා” කියනවනම් ඒක ඉතින් විහිළුවක්. හැබැයි ඉතින් එහෙම උනයි කියලා කියවන්නන් වාලේ කියවන්නයි, යන්නන් වාලේ ඡන්ද පොලට යන්නයි, ගහන්නන් වාලේ කතිරේ ගහන්නයි කලින් මෙන්න මේ කාරණා ගැන ටිකක් හිතල බලන්න ඕන.

 

1. යන්නන් වාලේ රැල්ලට යන්න එපා

ලංකාව කියන්නේ අමුතුම දේශපාලන පද්ධතියක් තියෙන රටක්නේ. ඉතින් කවුරුත්ම කියන්න දන්නේ නැතුව ඇති කව්ද සම්පූර්ණයෙන්ම හරි කව්ද වැරදි කියලා. ඇත්තටම බැලුවොත් එහෙම සම්පූර්ණ කළු හෝ සුදු චරිත මේ ජරා දේශපාලනය ඇතුලේ ඇත්තෙත් නැහැ. ඒ නිසා කාගෙ කාගෙත් දේශපාලන නැඹුරුතාවය කියන්නේ තනිකරම පෞද්ගලික දැක්මක්. හැබැයි ඒ තෝරාගැනීම මුළුමනින්ම පවතින තත්ත්වය සලකා බලල තර්ක කරලා කරන්න ඕන දෙයක්. ඒ කිව්වේ තමන්ගේ මුළු පරම්පරාවම ඒ කාලෙ ඉඳන්ම ඡන්දේ දුන්න පලියට, රස්සාවක් ලැබුණ පලියට, ගමේ පාර හදපු පලියට වගේ පටු දේශපාලන වාසි හෝ තත්වයන් මත ඡන්දේ දෙන පක්ෂය හෝ පුද්ගලයා තීරණය කරන්න එපා කියන එකයි.

 

2. Update වෙන්න

මේ කියන්නේ රටේ සමස්ථ දේශපාලනය වගේම තමන් සහයෝගය දක්වන්න තීරණය කරපු දේශපාලන පක්ෂය කියන දෙකම ගැන හොඳටම හොයල බලලා දැනුවත් වෙන්න කියන එක. ඒ කිව්වේ TV එකේ නිව්ස් එකක් දැකලා, FB එකේ පොස්ට් එකක් දැකලා නම් නෙමෙයි. දේශපාලන ඉතිහාසය ගැන විවිධ කෝණ වලින් ලියවුන පොත්, ජනරජ ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තා එහෙම පරිශීලනය කරලා, දේශපාලන සංවාද, පාර්ලිමේන්තු සැසිවාර බලලා මොකක්ද වෙන්නේ කියල හොඳ අවබෝධයක් ලබාගන්න එකයි. ඒ මත පිහිටලා දේශපාලන තීරණ ගන්න එකයි.

 

3. බැලන්ස් ප්‍රතිපත්ති ප්‍රකාශයක්

තමන් කැමති ​ඡන්ද අපේක්ෂකයා ස්ටේජ් එකක් උඩට නැගල හයියෙන් කෑගහල පොරොන්දු කීපයක් දුන්නම “ආ… මෙයා තමයි කෙනා” කියල තීරණය කරන එක තමයි අනිත් කැතම පුරුද්ද. ලංකාවෙනම් මේක සෑහෙන්න සාමාන්‍ය දෙයක් වෙලා කාලයක් තිස්සේ. හැබැයි පිටරටවල නම් ඡන්දෙ ඉල්ලන ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් අතරේ ප්‍රසිද්ධ විවාද තියලා එයාලගේ අනාගත සැලසුම් ගැන ජනතාව දැනුවත් කරනවා. ලංකාවෙත් තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශ කියල දෙයක් හුඟ දෙනෙක් නොදන්නවා උනාට. එක්කෝ දැනගෙන ඕනෙ නෑ වගේ හිටියට. ඉතින් හොඳින් හොයල බලන්න ඕන ප්‍රධාන අපේක්ෂකයින් කීපදෙනා අතරෙන් ආර්ථික, සමාජීය, පාරිසරික කියන ඔය හැම පැත්තෙන්ම සමබර ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ කව්ද කියල.

 

4. අඩුවෙන් නරක මෙව්ව එක

රටකට අවශ්‍ය හොඳම දේශපාලකයෝ පත් කරනවා කියන එක ඇත්තෙන්ම ඡන්ද දායකයෝ වෙච්ච අපේ පිට පැවරු​ණ ලොකු වගකීමක්. හැබැයි ඒ කියන්නේ වැඩියෙන් නරක අඩු කෙනා තෝරාගන්න කියන එකනම් නෙමෙයි. ඒක නිකන් අඩුවෙන් ගඳ ගහන කුණුගොඩ තෝරලා ගේ ඇතුලේ ගෙනත් දාගන්නවා වගේ වැඩක්නේ. සමහරු නිතරම කියන කතාවක් තමයි වැරදි කළාට, හොරකම් කළාට වැඩකුත් කළානේ කියන එක. අපි ඔන්න ඔහොම හිතන බව දන්නා තාක්කල් දේශපාලඥයො නම් හැදෙන එකක් නැහැ. අර කතාවටත් කියනවනේ “පීඩකයාගේ බලය හැමවෙලාවෙම රඳාපවතින්නේ පීඩිතයා තමන්ගේ බලය වටහාගන්නකන් විතරයි” කියලා.

 

5. හරි නම් හරි, වැරදිනම් වැරදී

කලිනුත් කිව්ව වගේම හැමෝටම තියෙනවා දේශපාලනය ගැන තමන්ටම ආවේණික මතයක්. තමන් වැඩිපුර කැමති පක්ෂයක්, පුද්ගලයෙක්. හැබැයි එහෙම උනා කියලා ඒ පුද්ගලයා කරන වැරදි වැරදි විදිහට දැකල විවේචනය කරන්නත් හොඳ අගය කරන්නත් කිසිම වෙලාවක දෙපාරක් හිතන්න එපා. ඒ වගේම තමයි තමන් සහයෝගය නොදක්වන දේශපාලඥයෙකුගෙ උනත් හොඳ වැඩ අගය කරන්නත් පසුබට වෙන්න එපා. එහෙම නැතුව තමන්ගේ එකා මොන වරද ක​ළත් හරී කිය කියා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන එකෙන් වෙන්නෙ රටට, සමාජෙට විහිළුවක් වෙන එක. අනිත් එක තමයි අපි එහෙම නොකරන තාක්කල් දේශපාලඥයෝ වැරදි වැඩ කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද තමන් මොනදේ ක​ළත් එකට ආවඩන පිරිසක් ඉන්න බව දන්නවනේ.

 

6. දේශපාලන ලේබල්

මෙන්න මේකනම් අද කාලෙ දේශපාලනය ගැන සෑහෙන්න දන්නවා කියල හිතාගෙන ඉන්න අයියලට තියෙන නරකම පුරුද්දක්. දැන් අපි කිව්වනේ දේශපාලනය කියන්නේ තනිකරම තමන්ගේ පෞද්ගලික අයිතියක් බව. ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවද නැද්ද කියන එකත් ඔයාගෙම කැමැත්ත. හැබැයි එහෙම ප්‍රසිද්ධියේ තමන්ගේ දේශපාලන මතය ප්‍රකාශ කරන්න අකමැති පිරිසකුත් ඉන්න බව අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙම තමන්ගේ දේශපාලන මතය සෘජුව ප්‍රකාශ නොකර දේශපාලනය ගැන කතා කරන මිනිස්සුන්ට පාට පාට ලේබල් අලවන එකත් හරියට අනුන්ගේ ඇඳුම් අස්සට එබිලා යට ඇඳුම් වල පාට හොයනව වගේ කැත වැඩක්. ඒ පුද්ගලයා ඔබට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කළා කියලා එයා අහවල් පක්ෂයේ බව තීරණය කරන්න ඔබට කිසිම අයිතියක් නැති බව මතක තියාගන්න.

 

7. පාවෙන ඡන්ද දායකයෝ

මෙන්න මෙහෙම කොටසකුත් ඕනෑම රටක ඉන්නවා. ඒ වගේම ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. ඒ කිව්වේ එයාලට ස්ථිර දේශපාලන පක්ෂයක් නැහැ. රටේ කාලීන අවශ්‍යතාවය මත ඔවුන් කාලෙන් කාලෙට තීරණය කරනවා තමන් සහයෝගය දක්වන්න ඕන මොන පිරිසටද කියලා. දැන් ඔන්න ඔය විදිහේ පාවෙන ​ඡන්ද දායකයොන්ට තියෙන ලොකුම හිරිහැරය තමයි ස්‌ථාවර, ඒ කිව්වේ ආයේ ඉතින් කැපුවත් මෙයා තමයි අපේ දෙයියාහ් වගේ ඉන්න සෙට් එකෙන් එන කරදර. ඔවුන් හිතන්නේ එහෙම වෙනස් මතයකට මාරු උන ගමන් ඒ පිරිස කලින් හිටපු පාලකයෝ කරපු නරක විතරක් නෙමෙයි හොඳ පවා සේරම අමතක කරපු නිකං අර ගුණමකු බුවාලා සෙට් එකක් වගේ කියලා. මොකක් හෝ හේතුවකට ඔවුන් තීරණය කරලා තියෙනවනම් පවතින ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා අඩුගානෙ ඔවුන් කියන දේකට සවන් දෙන්න බැරිනම් ඔවුන්ට වටකරන් ගහන්නේ නැතුවවත් ඉන්න. ඒ වෙනුවට ඔයාට අදා​ළ දේශපාලන පක්ෂයේ ප්‍රචාරණය යහපත් විදිහට කරලා අර සෙට් එක හරි විදිහට පරද්දන්න උත්සහ කරන්න.

ඉතින් ඔන්න ඔච්චරයි. එළ​ඹෙන මැතිවරණ සමය හැමෝටම සතුටුදායක, රටටත් සතුටුදායක, යහපත් හා සාමකාමී එකක් වේවා කියල ඔන්න අපිත් බොක්කෙන්ම සුභ පැතුම් එක්කළා එහෙනම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *