ලංකාවේ රූගත කරපු විදෙස් චිත්‍රපට 7ක්

ලෝක සිනමාව ජයගන්න අපිට සිනමා නිර්මාණ පැත්තෙන් ගොඩක් දුර යන්න තිබුණට මොකෝ රටක් වශයෙන් ලෝක සිනමාව ඇතුළේ ලංකාව කිරි ටොයියා ගණයේ පසුබිම් සපයාපු සම්පත් දායකයෙක්. ලෝක පූජිත සිනමා නිර්මාණ රැසක් ම නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ. මේ සමහරක් නිර්මාණ ඔබ දැනටමත් බලලා ඇති. බලලා නැත්තන් ලිස්ට් එකට දාගන්න වටිනවා.



1. Bridge on the River Kwai


තව කල්ප කාලයක් ගියත් ලංකාවේ රූගත කෙරුණු සුපිරි ම චිත්‍රපටය කියලා අවිවාදයෙන් කියන්න පුළුවන් චිත්‍රපටයයි මේ. දෙවෙනි ලෝක යුද්ධ කාලයේ සිදු වුණ සත්‍ය සිදුවීමක් පදනම් කොට ගෙන නිර්මාණය වුණ එකක් වෙච්චි Bridge on the River Kwai මස්කෙළිය සහ පේරාදෙණිය ආශ්‍රිත පසුතලවල රූගත කරලා තියනවා. චිත්‍රපටය වඩාත් ප්‍රසිද්ධ වුණේ එහි පාලමක් පුපුරවා හරින දර්ශනය නිසා. චිත්‍රපටය වෙනුවෙන් ම ඩොලර් මහ ගොඩක් වියදම් කරලා තකහනියක් ම මේ පාලම හදලා තියනවා. චිත්‍රපටයේ රේටින්ග් ගැන කතා කරොත් කුණු තක්කාලි දර්ශකයෙනුත් 95%ක් දීලා තියනවා. අධ්‍යක්ෂණය ඩේවිඩ් ලීන්.


2. Indiana Jones and the Temple of Doom


ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාව මොන තරම් පට්ට ගැහුවත් ලංකාවේ අපිට බොක්කට ම වදින්නේ ඉතින් මේක තමයි. මුලින් ම ඉන්දියාවේ රූගත කරන්න හිතාගෙන ඉඳලා අන්තිමේ ලංකාවට එන්න වුණේ අවසර ගැනීමේ ප්‍රශ්න මත. ඒක එහෙම වුණ එක චිත්‍රපටයටත් හොඳට ගියා. ඇයි ඉතින් අපේ රට එකෙන් ම ලස්සනයි නේ. හැටන්, පින්නවල වගේ පසුතල චිත්‍රපටයේ දකින්න පුළුවන්. චිත්‍රපටය හදන කාලේ තමයි වික්ටෝරියා වේල්ලත් ඉදිකරමින් තිබිලා තියෙන්නේ. ඉතින් ඒ ආශ්‍රිත පසුතලවල එක එක ඒවා අටවන්න මේ වේල්ල සම්බන්ධ ඉංජිනේරු මහත්තුරුත් ඇවිත් උදව් කරලා තියනවා. හැරිසන් ෆෝඩ් එක්ක අසල්වැසි රටේ අම්රිෂ් පූරි ‘මෝලාරාම්’ විදියට රඟපෑ Indiana Jones amd the Temple of Doom සඳහා කුණු තක්කාලි දර්ශකයේ 85%ක් දීලා තියනවා. අධ්‍යක්ෂණය ස්ටීවන් ස්පීල්බර්ග්.


3. Monkey Kingdom


සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකාවේ රූගත කළ මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ලස්සන ලෝකයට ම අරගෙන ගියපු සුපිරි නිර්මාණයක්. මේක වානරයන් ගැන කරපු වාර්තාමය චිත්‍රපටයක්. පොළොන්නරුවේ නටඹුන් ආශ්‍රය කරගෙනයි වැඩේ වෙන්නෙ. වැඩේට අත ගැහුවෙත් ඩිස්නි සමාගම. බොක්ස් ඔෆිස් එහෙමත් හොඳයි. කුණු තක්කාලියෙන් 93%ක් තියෙනවා.


4. Water


අපිට ගොඩක් සමීප නිර්මාණයක් තමයි දීපා මේතා අධ්‍යක්ෂණය කරපු Water. සරලා කාරියවයසම්වත් මේ චිත්‍රපටයෙන් අපිට දකින්න පුළුවන් වුණානේ. ඉන්දීය අධ්‍යක්ෂිකාවක් ඉන්දියාවේ සමාජ ඛේදවාචකයක් පෙන්වන්න ලංකාවට ආවේ මොකද? ඉන්දියාව නිසාම තමයි. මේ චිත්‍රපටයට ඉන්දියාවේ අන්තවාදීන් කොච්චර විරුද්ධ වුණා ද කියනවා නම් අන්තිමේ දර්ශන තලයකට ඇවිල්ලා අතට අහු වෙන ඒවා අරගෙන ගංගා නදියට විසි කරලා තියනවා. මේ විකාර ඉවසන් ඉන්න බැරි තැනයි දීපා ලංකාවට එන්නේ. ඔය සද්දවලට බයේ හිටියා නම් චිත්‍රපටය සම්මාන පිට සම්මාන ගහන්නේ නෑ. කුණු තක්කාලියත් ලෝබ නැතුව 90%ක් දීලා තියනවා.



5. Tarzan the Ape Man


මේ නමෙන් නිර්මාණ කීපයක් එළි බැස්සත් ලංකාවට අදාළ වෙන්නේ 1981 හදපු එක. රේටින්ග්ස් නම් හෙන අවුල් ඉතින්. කුණු තක්කාලිය දීලා තියෙන්නෙත් 10%යි. හැබැයි බොක්ස් ඔෆිස් නම් තියා තියනවා. අපි හැමදාම දන්න ටාර්සන් කතාව තමයි මේකෙත් තියෙන්නේ. අප්‍රිකාවේ කැලෑ ගතිය පෙන්වන්න ශ්‍රී ලංකාවේ වනාන්තර උපරිම සාධාරණයක් කරලා තියනවා. හැබැයි වැඩේ අවුල් වෙන්න හේතු වෙලා තියෙන්නේ ටාර්සන් සඳහා තෝරාගත් නළුවා හදිසියේ ඉවත් වීමෙන් හෝ කිරීමෙන් වුණ කලබැගෑනියක් ලු. අධ්‍යක්ෂණය ජෝන් ඩෙරක්.



6. Jism 2


බොලිවුඩයත් ලංකාවේ පසුතලවලින් උපරිම ප්‍රයෝජන ගත්තු අවස්ථාවක් තමයි මේ. රන්දීප් හූඩා සහ සනී ලියෝන් Jism 2 එකේ ප්‍රධාන චරිත කාර්‍යය ඉටු කරනවා. චිත්‍රපටයේ මුල් ම විනාඩි 10 වගේ ඉන්දියාවේ තියනවා. අනික් ඔක්කෝ ම ඉතින් ගාල්ල, උණවටුන සහ කොග්ගල ආශ්‍රිත ප්‍රදේශවල තමයි රූගත කරලා තියෙන්නේ. සනී ලියොන්ගේ ඒ අවුරුද්දේ උපන්දිනය සමරලා තියෙන්නෙත් ලංකාවෙ දී. ඒ විතරක් නෙවේ ඈ ලංකාවට බොහෝ ආදරය කරන බවත් රූගත කිරීමෙන් පස්සේ කියලා තියනවා. චිත්‍රපටය බලපු බොහෝ දෙනෙක් මේ ලංකාව කියලා දන්නේ නැහැ.



7. Bombay Velvet

අනුරාග් කාශ්‍යප් කියන ඉන්දීය සිනමාවේ දැවැන්තයාට තමන්ගේ සිනමා නිර්මාණය සඳහා ගැලපෙන පසුතල තිබුණේ අර තරම් විශාල ඉන්දියාවේ නෙවෙයි ලංකාවේ. හම්බන්තොට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ ආයෙත් බොම්බාය නිර්මාණය කරනවා චිත්‍රපටය වෙනුවෙන් ම. රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මා, කේ. කේ මෙනොන් වගේ ප්‍රසිද්ධ නළුනිළි කැළක් චිත්‍රපටයේ ඉන්නවා. හැබැයි බොක්ස් ඔෆිස් වගේ ම රේටින්ග්වලිනුත් අවුල්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *