සංවේදී මනුස්සයෙක් කියන එක ගොඩක් දෙනෙක් වරද්දලා තේරුම් ගන්න දෙයක්. සංවේදී කෙනෙක් කියන්නේ පොඩ්ඩ බැරිවුනහම අඬන කෙනෙක්වත්, ජීවිතේම එකම ඩ්‍රාමා එකක් කරගත්තු කෙනෙක්වත් නෙවෙයි. සංවේදී මනුස්සයෙක් කියන්නේ අනික් අයට වඩා සංවේදනාවන් තදින් දැනෙන කෙනෙක්. ඒ කියන්නේ සංවේදී මනුස්සයෙක්ට දුක වෙනත් කෙනෙක්ට වඩා තදින් දැනෙන්න පුළුවන්. ඒක වෙන කෙනෙක්ගේ දුකක් වගේම තමන්ගේ දුකක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක්ගේ දුකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම එහෙම සංවේදී කෙනෙක්ට සතුටක් වුනත් හොඳට දැනෙනවා. තරහ යන කාරණේකදී වුනත් සුපිරියටම තරහා යනවා. හැබැයි එහෙම තරහා ගියාට තරහා ගොඩක් වෙලාවට මෙහෙම කෙනෙක්ගේ හිතේ රැඳෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සංවේදී කෙනෙක් එක්ක ඉන්නකොට ගොඩක්ම පරිස්සම් වෙන්න ඕන දේ තමයි පොඩි, අපි නොහිතන දේකට වුනත් හිත රිදෙන එක. හැබැයි ඉතින් දෙන්නෙක් එකට ජීවත් වෙනකොට එහෙම බිත්තර කටු උඩ ඇවිදිනවා වගේ ජීවත් වෙන එකේ වැඩක් නැහැනේ. අන්තිමට ආදරේ පස්ස දොරෙන් පැනලා යන එකයි වෙන්නේ. ආන්න ඒ නිසා අපි මේ කියන්න හදන්නේ, තමන්ගේ ජීවිතේට අනවශ්‍ය සීමා මායිම් දාගන්නෙත් නැතුව කොහොමද සංවේදී හිතක් තියෙන සහකරුවෙක්/සහකාරියක්, පෙම්වතෙක්/පෙම්වතියක් එක්ක ජීවත් වෙන්නේ කියන එක තමයි.
1. සැර පරුෂ කම් එපා
සංවේදී මනුස්සයෙක්ගේ හිත ලේසියෙන් රිදෙන්න පුළුවන් ඔය සමහර වෙලාවට අපේ අතින් නොහිතා විසි වෙන සැර පරුෂ වචන වලින්. ඒ වගේම අපි බණින කරන දේකදී වුනත් කියවෙන වචන, බැණිල්ලට වඩා සැරට සංවේදී මනුස්සයෙක්ගේ හිතට වදින්න පුළුවන්. අන්න ඒ නිසා සංවේදී මනුස්සයෙක් එකට ඉන්නවා නම්, අපිට ඔය සැර පරුෂ වචන භාවිතය, සැර පරුෂ හැසිරීම් රටා හදාගන්න සිද්ධ වෙනවා. මුදු මොළොක් විදියට තමයි සෙන්සිටිව් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ. හැබැයි මේ කියන්නේ ඕනම දේකට සොෆ්ට් වෙලා ඉන්න කියන එක නෙවෙයි. සංවේදී මනුස්සයෙක් එක්ක වුනත් එකට ජීවත් වෙනකොට රණ්ඩු සරුවල් ඇතිවෙන්න පුළුවන්. අපි මේ කියන්නේ එහෙම රණ්ඩු සරුවල් වුනත් හරි විදියට, අනවශ්‍ය සැරපරුෂ කම් නැතුව බේරගන්න කියන එක.
2. කෙලින් කතා
සංවේදී මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්නෙත් තවත් මනුස්සයෙක්නේ. මනුස්සයෝ වුනහම දුක හිතෙනවා, තරහ යනවා, වැරදි වෙනවා තමයි. ආන්න ඒ නිසා සංවේදී මනුස්සයෙක් එක්ක ඉන්නකොට එයා අතින් වැරැද්දක් වුනත් දැක්කෙ නැති ගාණට, බිත්තර කටු උඩ ඇවිදිනවා වගේ ජීවත් වෙන්න ඕන නෑ. වැරැද්දක් වුනොත් පෙන්නලා දෙන්න පුළුවන්, තරහ ගියොත් කෑ ගහන්න පුළුවන්. හැබැයි හැම මොහොතකම තමන් වැරැද්දට විතරක් කතා කරන, වැරැද්දක් කතා කරනකොට පවුල් කුලගොත් වල ඉඳලා ඇදලා නොගන්න කෙලින් මනුස්සයෙක් වෙන එක වටිනවා. අන්න එතකොට අපේ සංවේදී මනුස්සයත් දන්නවා මේ හාදයා දෙයක් කිවුවොත් කියන්නේ වැරැද්දක් දැක්ක තැනකදී විතරයි කියන එක.
3. පොඩ්ඩක් ඉවසීමත් වටිනවා
දැන් ඔය සංවේදී මනුස්සයෙක් සමහර වෙලාවට හිත රිද්දගන්න දෙයක් අපිට දැනෙන්නේවත් නැති දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මොන මගුලකටද මේ යෝදයා/මේ යෝදි හිත රිද්දගෙන ඉන්නෙ කියලා. හැබැයි ආන්න ඒ වෙලාවට අපි පොඩ්ඩක් ඉවසීම ප්‍රගුණ කරලා තියෙන එක වටිනවා. ඒ වගේම සංවේදී මනුස්සයෙක්ට පොඩ්ඩ ඇත්නම් තරහ යන්නත් පුළුවන් කියලා අපි කිවුවනේ. හැබැයි ඒත් ඒ තරහ සෝඩා බෝතලේ වගේ තමයි ගොඩක් වෙලාවට. තරහ යන වේගෙන්ම තරහ නිවෙනවා. ආන්න ඒ නිසා අපිට පොඩ්ඩක් විතර ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒක වටිනවා. අනික එහෙම ඉවසන මනුස්සයෙක් එක්ක සංවේදී මනුස්සයෙක් ලේසියෙන් ගැටෙන්නෙත් නෑ. තරහා ගියත් අනික් පැත්තට එයාම සමාව ඉල්ලයි බොරුවට තරහ ගත්තා කියලා.
4. එයාට කියන්න, හැම දෙයක්ම
සාමාන්‍යයෙන් අපි අප්සට් එකක ඉන්නකොට වුනත් කවුරුහරි ඇහුවොත් “ඔයාට කොහොමද” කියලා අපි පුරුද්දටම කියන්නේ අපිට හොඳයි කියලනේ. එතකොට ගොඩක් වෙලාවට කෙනෙක් අපෙන් ඊට වඩා ප්‍රශ්න අහන්න යන්නෙත් නෑ. හැබැයි අපි සංවේදී මනුස්සයෙක් එක්ක ජීවත් වෙනකොට මතක තියාගන්න ඕන දේ තමයි, එයාලට අපිව හොඳට දැනෙනවා කියන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපේ මූඩ් එක දශමෙකින් වෙනස් වුනත් එයාලට පටස් ගාලා තේරෙනවා. ඉතින් එතකොට එයාලා අපෙන් අහනවා “මොකද්ද අවුල?” කියලා. අපිට ඕන නම් කිසිදෙයක් නොකියා “මුකුත් නෑ”කියලා ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් සම්බන්ධතාවයට කිසිම හොඳක් වෙන්නෙ නෑ. එහෙම නැතිනම් අපිට පුළුවන් හැමදෙයක්ම කියලා හිත සැහැල්ලු කරගන්න. ගොඩක් වෙලාවට සංවේදී මනුස්සයෙක් කියන්නේ හොඳ සවන් දෙන්නෙක් කියන එක අමතක කරන්න එපා.
5. ඇහුම්කන් දෙන්නත් පුරුදු වෙන්න
සංවේදී මනුස්සයෙක් එක්ක ඉන්නකොට මෙන්න මේ කාරණාවත් වැදගත්. අපිත් එයාට ඇහුම්කන් දෙන එක. සාමාන්‍යයෙන් ලව් එකක් කාලයක් ගතවෙනකොට වුනත්, කසාද බැඳලා කාලයක් යනකොට වුනත් ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි එකිනෙකාට ඇහුම්කන් දෙන එක අඩු කරන එක. සමහර වෙලාවට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන්ට එයාගේ හිතේ තියෙන දේවල් පැත්තක වාඩිවෙලා කියන මොහොතකදී වුනත් අපි “හ්ම්, හ්ම්” කිය කියා ඔහේ අපේ වැඩක ඉන්නවා. හැබැයි සංවේදී මනුස්සයෙක්ට දේවල් හිතේ හිරකරගෙන ඉන්න දෙන්නෙ නැතුව එයාට ඇහුම්කන් දෙන එක වටින දෙයක්. විශේෂයෙන්ම තමන්ගේ සංවේදී පාට්නර්ගේ හිත රිදුනු මොහොතකදී ඇහුම්කන් දෙන එක අනිවාර්ය දෙයක්.
6. තනියම ඉන්නත් ඉඩ දෙන්න
සංවේදී හැම මනුස්සයෙක්ම අර තනියම ඉන්න කැමති ඇතුළු හදට නැඹුරු වුණු මිනිස්සු නෙවෙයි. බොහොම සමාජශීලී ඒත් සංවේදී මිනිස්සු ඉන්නවා. හැබැයි මේ කොයි විදිය වුනත් ඉතාම ඉහළ සංවේදීතාවයක් තියෙන මනුස්සයෙක් වුනත් සමහර වෙලාවට ඇතුළු හදට නැඹුරු වුණු මනුස්සයෙක් වගේ. ඒ නිසා සමහර වෙලාවට සංවේදී මනුස්සයෙක් තනියම ඉන්න උත්සාහ කරන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න ඕන. ඒ වෙලාවට සංවේදී මනුස්සයෙක්ට කරදර කරන්න යන්න, එයා අප්සට් එකේද කියලා අහ අහා කරදර කරන්න යන්න එපා. ඒ මොහොත එයාට තනියෙන් ඉන්න දෙන්න උත්සාහ කරන්න.
7. සංවේදී කමට ආදරේ කරන්න
සංවේදී මිනිස්සු ආදරේ කරනකොටත් බොක්කෙන්ම තමයි ඒක කරන්නේ. සංවේදී මනුස්සයෙක් තමන්ට රිදෙන තැන් ගැන වගේම අනුන්ට රිදෙන තැන් ගැනත් බොහොම පරිස්සම්. ඉතින් එහෙම මනුස්සයෙක් එක්ක ඉන්න එක හිතට බොහොම සැනසිල්ලක්. අමාරු වෙන්න පුළුවන්, ඒත් තමන්ගේ සංවේදී ආදරවන්තයාව, ආදරවන්තියව අඳුනගත්තට පස්සේ එකට ජීවත් වෙන එක ඒ තරම් අමාරු නෑ. අන්න ඒ නිසා සංවේදී පාට්නර් කෙනෙක්ගේ සංවේදී කමටත් අපිට ආදරේ කරන්න පුළුවන්. එහෙම ආදරේ කරනකොට අර දෙන්නා අතරේ එක්කෙනෙක්ගේ සංවේදීකම නිසා තියෙන්න පුළුවන් ප්‍රශ්න ගැටළු ඔක්කොම දූරීම්භූත වෙලා යනවා. ඇත්තටම ඕනම දෙන්නෙක් අතරේ ආදරයක් තියෙන්න ඕන ඒ විදියටනේ, නැද්ද?
Leave a Reply