හවස තේ මේසෙට ආච්චි අම්මා හදලා දුන්න රස කෑම 7ක්

හවස තේ වෙලාවට කන කෑම කිවුවම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නෙ කේක්, සැන්ඩ්විචස්, කට්ලට්ස් වගේ කෑමනෙ. අපි හදන්නෙ ඒකට වෙනසක් ගේන්න. මේ කියන්න යන්නේ තේ වෙලාවට ගැලපෙන්න අපේ ආච්චි අම්මලා හදන රසවත්ම කෑම වර්ග 7ක් ගැන. තේ වෙලාවට මෙයින් එකක් දෙකක් හදලා බලලා රස විඳලා බලන්නකො එහෙනම්.

 

1. කොස් ඇට අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කබලේ බැද පොතු ඉවත් කරගත් කොස් ඇට කප් දෙකක්
  2. සීනි අවශ්‍ය පමණ
  3. ලුණු
  4. ගම්මිරිස් කුඩු ටිකක්

 

සාදාගන්නා ආකාරය

 

  • කොස් ඇට ටික වංගෙඩියක දමා කොටාගන්න. හොඳින් කෙටුණු පසු එයටම පොල් එකතු කර කොටාගන්න.
  • වංගෙඩියෙන් ඉවත් කර සීනි, ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කර තෙත ගතියක් එනතුරු හොඳින් අනාගෙන ගුලි සාදාගන්න.

 

2. හබල පෙති


අවශ්‍ය ද්‍රව්‍ය



1. හබල පෙති කෝප්​ප 2
2. ගාගත් පොල් කෝප්ප 1
3. සීනි කෝප්ප 3/4
4. සිහින්ව ගාගත් හකුරු කෝප්ප 1/2
5. ලුණු තේ හැඳි 1/4

සාදාගන්නා ආකාරය:

  • පළමුව හබලපෙති සෝදා වතුර පෙරාගන්න. ඉන්පසු එයට අනෙක් සියල්ල එක් කොට අනාගන්න.



3. සීනි දැවටූ දෙල්


අවශ්‍ය ද්‍රව්‍ය

1. දෙල් ගෙඩියක්
2. සීනි කෝප්ප 1 1/2
3. බැදීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල්
4. වතුර කෝප්ප 1


සාදාගන්නා ආකාරය:

  • දෙල් ගෙඩිය කැමති හැඩයකට කපා ගන්න. ඉන්පසු ඒවා සෝදා වේලෙන්නට ඉඩ හරින්න. කපු රෙද්දකින් තෙතමාත්තු කිරීම යෝග්‍ය වේ. 
  • ඉන්පසු දෙල් ටික හොඳින් බැදගන්න. සීනි කෝප්පයට වතුර එක් කොට අඩු ගින්දරේ උතුරවා පැණි සකසා ගන්න. බැදගත් දෙල් එක් කර කලවම් කරන්න. නිවෙන්නට ඉඩ හැර ආහාරයට ගන්න.

 

4. සව්බොර රොටී


අවශ්‍ය ද්‍රව්‍ය

  1. සව් ග්‍රෑම් 100
  2. ගාගත් පොල් ග්‍රෑම් 100
  3. බිස්කට් කුඩු ග්‍රෑම් 100
  4. සීනි ග්‍රෑම් 100
  5. ලුණු ස්වල්පයක්
  6. වතුර



සාදාගන්නා ආකාරය:

 

  • ප්‍රථමයෙන් ම රොටී මිශ්‍රණයක් සේ සියල්ල අනාගන්න. කැමති හැඩවලට රොටි සකසා කපා ගන්න. බටර් තැවරූ තැටියකට දමා දෙපැත්ත පුළුස්සා ගන්න.



5. හැලප

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සීනි ග්‍රෑම් 100
  2. වතුර මිලිලීටර 100
  3. කුරක්කන් පිටි ග්‍රෑම් 100
  4. හාල් පිටි ග්‍රෑම් 100
  5. ගාගත් පොල් ග්‍රෑම් 100
  6. උණු වතුර ස්වල්පයක්



සාදාගන්නා ආකාරය:

  • ප්‍රථමයෙන් ම සීනි සහ ජලය එක් කරන්න. එය මදක් උණු වන විට පොල් දමා හොඳින් කලවම් කරන්න. එලෙස පැණි පොල් මිශ්‍රණය සාදා පසෙකින් තබන්න. 
  • එයට කුරක්කන් පිටි සහ හාල් පිටි දමා හොඳින් කලවම් කර ගන්න. උණු වතුර ස්වල්පයක් එක් කොට යළිත් හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු අතින් බෝල සාදා කැන්ද කොළ මැද තබා තුනී කර ගන්න. 
  • වණ්ඩුවේ තම්බාගන්න. එක හැලපයක් විනාඩි 15ක්වත් තැම්බිය යුතු ය.



6. සීනි පතුරු


අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි ග්‍රෑම් 200
  2. බටර් මේස හැඳි 2
  3. ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  4. බේකින් පවුඩර් තේ හැඳි 1/4
  5. සීනි ග්‍රෑම් 150
  6. වතුර කෝප්ප 1/2



සාදාගන්නා ආකාරය:

  • රොටි මිශ්‍රණයක පදම එන තෙක් සියල්ල හොඳින් අනාගන්න. පැය භාගයක් තබන්න. ඉන්පසු පිටි මෝලිය තුනී කරගන්න. පින්සලකින් තෙල් ආලේප කරන්න. උඩින් පිටි ස්වල්පයක් හලන්න. ඉන්පසු තුනී පිටි තට්ටුව දෙකට නවන්න. යළිත් තෙල් ආලේප කොට පිටි ස්වල්පයක් උඩින් දමන්න. යළිත් දෙකට නවන්න. රවුම් කරන්න. 
  • ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට කුඩා කුඩා කොටස් කපාගන්න. තුනී කරගන්න. අඩු ගින්දරේ ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න. 
  • සීනි, වතුර සහ ලුණු එක් කර පැණි මිශ්‍රණය සාදාගන්න. ලිපේ ගින්දර අඩු කොට එයට පතුරු එක් කරන්න. හොඳින් පැණි දැවටුණු විට නිවෙන්නට හරින්න.



7. බත් අග්ගලා


අවශ්‍ය ද්‍රව්‍ය

  1. වේලාගත් බත් කෝප්ප 1
  2. පොල් බෑයක ගාගත් පොල්
  3. සීනි අවශ්‍ය පමණට
  4. ලුණු අවශ්‍ය පමණට



සාදාගන්නා ආකාරය:

  • බත් කබලේ බැදගන්න. ඉන්පසු යන්තම් බ්ලෙන්ඩර් කරගන්න (ඒ දවස්වල නම් ගලේ ඇඹරුවා නැත්තම් කොටාගත්තා). එයට අනෙක් සියල්ල එක් කොට ගුලි සාදාගන්න. ගුලි සෑදීම අපහසු නම් පමණක් මදක් වතුර එකතු කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *