දැන් කාලේ ෆේස්බුක් එකවුන්ට් එකක් නැති කෙනෙක් හොයනවට වඩා ලේසියි, අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යලෝකේ ගියපු එකෙක්ව හොයාගන්න එක. හැබැයි ඔහොම ඉස්කෝලේ යන සිරිමත් පැංචගෙ ඉඳලා උඩහ ගෙදර බණ්ඩෙ සීයා දක්වා හැමෝටම තියෙන ෆේස්බුක් එකවුන්ට් වලට මේ දවස් වල සෑහෙන ප්‍රශ්න. ඒ කිව්වේ ඔය හැකර්ලගෙ ප්‍රශ්න. හැකර් හැකර් කිව්වට ඉතින් සමහරු නං ඔය ෆේස්බුක් එකවුන්ට් වලට පනින්නේ හැකින්ග් ඉගෙනගෙන නෙවෙයි. තමන්ගේ එකවුන්ට් එකට පාස්වර්ඩ් එක විදියටත් තමන්ගේ නම දාන ජාතියේ මොට්ටරාළලාගේ එකවුන්ට් වලට රිංගන්න හැකින් දැනගෙන තියෙන්න ඕන නෑ! හරි, කොහොම වුනත් දැන් ෆේස්බුක් එකවුන්ට් එකක් පරිස්සං කරන එක ගේමක් වෙලානේ තියෙන්නේ. ආන්න ඒ නිසා අපි කියලා දෙන්න හදන්නේ, තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක පරිස්සං කරගන්න කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන.
1. නොදන්න ලින්ක් ඔබන්න යෑමෙන් වළකින්න
මෙන්න මේ කාලේ ෆේස්බුක් එකවුන්ට් වලට බඩු බනිස් කරගන්න ප්‍රධානතම විදිය. ඔන්න කවුරුහරි ඩයල් එකක් අපිට ඉන්බොක්ස් මැසේජ් එකක් එවනවා, “අයියේ අක්කේ ඔයාගෙ ෆොටෝ දාලා කැත එකවුන්ට් එකක් හදලා, මෙන්න ලින්ක් එක ගිහින් බලන්න” කියලා. ඒක අහපු ගමන් ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඔන්න ලින්ක් එක ඔබලා ගිහින් තමන්ගේ ලොගින් විස්තරත් දෙනවා. ඊට පස්සේ අනික් පැත්ත බලනකොට තමන්ගේ එකවුන්ට් එක හැක් වෙලා. ආන්න ඒ නිසා ඉන්බොක්ස් දෙන ලින්ක් එකක්වත්, වෙන විදියකින් ලැබෙන ලින්ක් එකක්වත් ෂුවර් නැත්තං ඔබන්න යන්න එපා.
මේකෙම තව පැත්තක් තමයි, ඔය ෆේස්බුක් ටීම් එකෙන්ය කියලා එවන ඊමේල්ස් වල තියෙන ලින්ක් එහෙමත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ක්ලික් කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඕවා ව්‍යාජ ඊමේල් වෙන්න තියෙන ඉඩ වැඩියි.
2. යන ඕන තැනකින් ෆේස්බුක් ලොග් වෙන්න එපා
අපේ සමහරු ඉන්නවා පැයකට ෆේස්බුක් එකට ගියේ නැත්තං ලේ වල ඔක්සිජන් හිඟතාවයක් ඇවිත් මැරෙන්න යනවා. ඒ විදියේ අය මළගෙදරකට ගියත් එතන කාගෙහරි කොම්පියුටරයක් තියෙනවා නං ෆේස්බුක් ලොග් වෙලා මොකද වෙලා තියෙන්නෙ කියලා බලනවා. තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක අනාරක්ෂිත කරගන්න ඕකත් එක ක්‍රමයක්. කවදාවත් නොදන්න උපාංගයකින් තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න යන්න එපා. හැම වෙලේම තමන්ගේ කම්පියුටරේ සහ/හෝ තමන්ගේ ස්මාට්ෆෝන් එක ඇරෙන්න වෙන උපාංගයක් ෆේස්බුක් යන්න පාවිච්චි නොකරනවා නම් වඩාත් හොඳයි.
3. ඩබල් එකේ ආරක්ෂාව
දැන් තියෙන හැම ආරක්ෂිත සයිබර් සේවාවකම වගේ, ෆේස්බුක් එකෙත් අර ටූ වේ ඕතන්ටිකේෂන් කියලා සිස්ටම් එකක් හදල දීලා තියෙනවා. ඒ කියන්නේ නිකම්ම පාස්වර්ඩ් එක ගහලා ෆේස්බුක් යන්න බෑ. එහෙම පාස්වර්ඩ් එක හරියට ගහලා ඇතුළට ගියත් අහනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක එක්කෝ තමන්ගේ ෆෝන් එකට එවාගන්න ඕන. එහෙම නැතිනම් ෆෝන් එකේ ෆේස්බුක් ඇප් එක හරහා කෝඩ් එක ලබාගන්න ඕන. එහෙම අරගෙන කෝඩ් එක දුන්නහමත් අහනවා ෂුවර්ද මේ ඔයාමයි ෆේස්බුක් ලොග් වෙන්න හදන්නේ කියලා. ඒක ෆෝන් එකේ ෆේස්බුක් ඇප් එකෙනුත් අහනවා. ඒ ඔක්කොමත් සහතික කළාට පස්සෙ තමයි ඔන්න ෆේස්බුක් එකවුන්ට් එකට යන්න දෙන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර දඟලන්න වෙන එක වාතයි කියලා. හැබැයි ආරක්ෂාවට මේ ක්‍රමේ ඉතාම හොඳයි.
4. ලේසි නැති පාස්වර්ඩ්
මෙන්න මේක නං ඔය කම්පියුටර් හදපු දවසේ ඉඳලම විශේෂඥයෝ මිනිස්සුන්ට කියන දෙයක්. ඒ කියන්නේ පහසුවෙන් අනුමාන කරන්න පුළුවන්, සරල පාස්වර්ඩ් කිසිම දේකට දෙන්න එපා කියන එක. ඉතින් ෆේස්බුක් එකවුන්ට් එක සම්බන්ධයෙනුත් කියන්න තියෙන්නේ ඒක තමයි. තමන්ගේ මැද නම, කෙල්ලගේ නම, කොල්ලට ආදරේට කියන නම, බලුපැටියගේ නම, තමන්ගේ උපන්දිනේ වගේ පහසුවෙන් කෙනෙක්ට අනුමාන කරන්න පුළුවන් පාස්වර්ඩ් ෆේස්බුක් එකවුන්ට් එකට දාන්න එපා. තමන්ට මතක තියාගන්න පුළුවන්, ඒත් සංකීර්ණ, කෙනෙක් නොහිතන පාස්වර්ඩ් එකක් තමයි දාන්න ඕන. ඒක අංක, අකුරු, සංකේත වල එකතුවක් වුනොත් එහෙම තවත් සුපිරි.
5. මොබයිල් එකටත් ආරක්ෂාව
දැන් ඔය ස්මාට්ෆෝන් හැම එකකම වගේ ෆේස්බුක් ඇප් එකත් ඉන්ස්ටෝල් කරලම එනවනේ. එතකොට ගොඩක් දෙනෙක් මේ වෙනකොට ස්මාට්ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වෙන්න පුරුදු වෙලා ඉන්නවා. වඩා හොඳයි ස්මාට්ෆෝන් එකට ඔය ඇන්ටි වයිරස් ඇප් එකක් එහෙම දාගෙන ඉන්න එක. හැබැයි නොමිලේ ලැබෙන එකක් වුනත්, ප්‍රසිද්ධ, ෂුවර් ඇන්ටි වයිරස් ඇප් එකක් තමයි දාගන්න ඕන. ඒ වගේම ඔය ෂුවර් නැති, තුන්වෙනි පාර්ශවයන්ගෙන් ලැබෙන ඇප් එහෙම ඉන්ස්ටෝල් නොකරන එකත් ඇඟට ගුණයි. විශේෂයෙන්ම ඔය නිල ඇප්ස් ස්ටෝර් වලින් නැතුව වෙන වෙන වෙබ්සයිට් වල දීලා තියෙන ඇප්ස් ඉන්ස්ටෝල් කරන එක නම් අන්තිම භයානකයි කියන එක හිතට ගන්න ඕන.
6. පබ්ලික් වයි-ෆයි
අපිට ෆ්‍රී වයි-ෆයි දෙනවා කියලා ආණ්ඩුවෙන් කිව්වට තාම දුන්නෙත් නැහැනේ. හැබැයි එහෙමයි කියලා යන යන තැන තියෙන පබ්ලික් වයි-ෆයි ජාල වලට කනෙක්ට් වෙලා ෆේස්බුක් එකේ සැරිසරන එක ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි. ගොඩක් දෙනෙක් මේක කරන්නේ තමන්ගේ මොබයිල් ඩේටා ඉතුරු කරගන්න. හැබැයි ඉතුරුව වගේ නෙවෙයි, පබ්ලික් වයි-ෆයි ජාලයකින් තමන් දන්නෙත් නැතුව තවත් අය තමන්ගේ ඩිවයිස් එකට රිංගන්න පුළුවන්. අන්න ඒ නිසා ෆේස්බුක්, ඊමේල් වගේ සේවාවන් වලට ලොග් වෙන්න ෂුවර් නැති පබ්ලික් වයි-ෆයි පාවිච්චි නොකරන එක හොඳයි. කරන්න ඕනම නම් හොඳ VPN ඇප් එකක් හරහා ගියාට කමක් නෑ.
7. යන යන තැන ෆේස්බුක් එකවුන්ට් එක ඇරලා දාලා නොයන්න
මේවා නං ඉතින් කොමන් සෙන්ස්. සමහරු ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වෙලා, ඒක කොහේ හරි තියලා වෙන වැඩකට යනවා. ෆෝන් එක ලොක් වෙන්නෙත් නෑ. ඉතින් තව කෙනෙක්ට ගිහින් ෆේස්බුක් එකවුන්ට් එකට රිංගන්න හැකර් කෙනෙක් වෙන්න ඕන නෑ. මේ විදියටම ඔය ඔෆිස් කම්පියුටර් වල ෆේස්බුක් ලොග් වෙලා, එක්කෝ ලොග් අවුට් වෙන්නෙ නැතුව යන ඒවා, එහෙම නැතිනම් ඔෆිස් කම්පියුටරේ ෆේස්බුක් ලොගින් එක බ්‍රවුසරේම සේව් කරලා තියලා යන ඒවා එහෙමත් අනන්තයි. තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක ආරක්ෂා කරගන්න ඕන නම්, ආන්න ඒ වගේ මැටි වැඩ නොකරන්න.
Leave a Reply