අපි ඉන්නේ දේශපාලනමය වශයෙන් ජරාජීර්ණ රටක කියන එකනේ සාමාන්‍යයෙන් පොදුවේ හැමදෙනෙක්ගේම හිතේ තියෙන්නේ. ඒ නිසා ගොඩක් දෙනෙක්ගේ හැඟීමක් තියෙනවා රටේ විතරක් නෙවෙයි, අපේත් තියෙන ප්‍රශ්න වලට ආණ්ඩුව වග කියන්න ඕන කියන එක. හැබැයි ඒක ඇත්තද? ඇත්තටම අපිට තියෙන හැම ප්‍රශ්නයකටම වග කියන්න ඕන ආණ්ඩුවද? සමහර ප්‍රශ්න ආණ්ඩුවට බැණ බැණ ඉන්නෙ නැතුව අපිටම විසඳගන්න බැරිද?
1. පාරවල්
පාරවල් හදන්න ඕන පළාත් සහ ප්‍රාදේශීය රජයයන් විසින් තමයි. හැබැයි මිනිස්සුන්ට පුළුවන් ඒක කරන කල් ආණ්ඩුවට බැණ බැණ ඉන්නෙ නැතුව ඒකට දායක වෙන්න. උදාහරණයක් විදියට දැක්වුවොත්, මිනිස්සුන්ට පුළුවන් ගමේ සමිතියක් විදියට ඒකරාශි වෙලා, ගම වෙනුවෙන් වෙන් වෙලා තියෙන ප්‍රතිපාදන ගැන දැනකියා ගන්න. ප්‍රාදේශීය සභාවට ගිහින් ඔය විස්තර හොයාගන්න පුළුවනිනේ. දැන් මිනිස්සුන්ට පුළුවන්, පාස් වෙලා තියෙන ප්‍රතිපාදන වලින් අවශ්‍ය විදියට පාරවල් හදන්නත්, ශ්‍රම දායකත්වය මිනිස්සුන්ටම දෙන්නත් ක්‍රමයක් හදාගන්න. බැරි වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් වැඩේ කොලිටියට වෙන්න ඕන.
2. කුණු ප්‍රශ්න
කුණු ප්‍රශ්නේ අපි හිතනවට වඩා ලංකාව වගේ රටක සීරියස්. ඇත්තටම තවදුරටත් අපි කාපු ටොපි කොළේ බෑග් එකේ දාගෙන ගෙදර ගෙනිච්චා කියලා ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ. පාරේ ඩස්ට්බින් එකට දැම්මත්, ගෙදර ඩස්ට්බින් එකට දැම්මත් කුණු එකතු වෙන්නේ රට ඇතුළේ තමයි. හැබැයි කුණු ප්‍රශ්නයට අපිට සුළු පරිමාණෙන් ලබාදෙන්න පුළුවන් දායකත්වයක් තියෙනවා. එකක් තමයි පුළුවන් තරම් නොදිරන ද්‍රව්‍ය පරිහරණයෙන් වලකින එක. ෆුඩ් සිටියට අර ෆුඩ් සිටි මල්ල අරගෙන යන්න පුළුවන් එළවලු දාගෙන එන්න. එතකොට සිලි බෑග් වල දාන්න ඕන නෑ. ඒ වගේම කුණු කසළ නිසි පිළිවෙලට වෙන් කරලා නිසි තැන් වල බැහැර කරන එකත් අපිට කරන්න පුළුවන්. එතකොට ජල මූලාශ්‍ර කුණු කසල වලින් අපවිත්‍ර වීම, කාණු වල කුණු හිරවෙලා තිබීම වගේ ප්‍රශ්න අවම කරගන්න පුළුවන්.
3. වතුර ප්‍රශ්න
වතුර කියන්නේ අනාගතේදී අපිට මාලදිවයිනේ වගේ සල්ලි දීලා ගන්න වෙන දෙයක් වුනොත් තමයි රඟේ තේරෙන්නේ. එහෙමයි කියලා අද නාන්නේ නැතුව වතුර ඉතුරු කළා කියලා අනාගතේ වතුර ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. හැබැයි වතුර ප්රශ්නය එන්නේම පරිසර දූෂණයත් එක්ක. ආන්න ඒ නිසා අපිට වතුර නැහැයි කියලා ආණ්ඩුවට බණීන වෙලේ, අපේ අතින් පරිසර දූෂණයට සිද්ධ වෙන දායකත්වය අවම කරන්න පුළුවන්.
4. නිදහස
මේ නිදහස කියන දේ කීප ආකාරෙකින් උල්ලංඝනය වෙනවා. හැබැයි අපේ නිදහස වැඩියෙන්ම උල්ලංඝනය වෙන්නේ අපි කථා කරන්න ඕන තැනදී කථා නොකරන එකෙන්. උදාහරණයක් විදියට ගත්තොත්, ගමකට යම් වැඩක් කරන්න සල්ලි පාස් වෙලා නම් ඒක ඔය පක්ෂෙට වැඩ කරන හාදයෝ ඇවිත් හයිජැක් කරලා වෙන තමන්ගේ වැඩකට යොදවගන්න පුළුවන්. එහෙම එව්වා වෙනවා. ආන්න ඒ නිසා ගම්වාසීන්ට/නගරවාසීන්ට අයිතියක් සහ වගකීමක් තියෙනවා, තමන්ගේ ප්‍රාදේශීය සභාව ඇතුලේ වෙන්න මොනවද කියන එක ගැන දැනුවත් වෙලා ඉන්න. එව්වා අමාරු වැඩ නෙවෙයි. මේ හැම තොරතුරක්ම මහජනතාවට ලබාගන්න පුළුවන්. අනික් එක එහෙම අසාධාරණයක් සිද්ධ වෙන වෙලාවට කට වහගෙන ඉන්නෙ නැතුව කතා කරන්නත් ඕන!
5. රාජ්‍ය අංශයේ වැඩ කරවාගන්න ප්‍රශ්න
සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ගේ අදහස තමයි රාජ්‍ය අංශයේ තැනකට ගිහින් වැඩක් කරවාගන්න පුදුමාකාර කට්ටක් කන්න ඕන කියන එක. ඒකට හේතුව විදියට කියන්නේ රාජ්‍ය අංශය කියන්නේ අයිස් ගහන තැනක්ය කියන එක. ඒක බොරුමයි කියන්නත් බෑ. හැබැයි දැන් දැන් රාජ්‍ය අංශයේ තැන් ඩිජිටල්කරණය වෙමින්, කාර්යක්ෂම වෙමින් පවතින්නේ. කොහොම වුනත් කතන්දරේ මේකයි. අපි කියමු ආණ්ඩුවේ ඔෆිස් එකකට වැඩක් කරගන්න ගිහින් අපිව අනවශ්‍ය විදියට වාත කරනවා කියලා. එහෙම අපිව වාත කරන්න සාධාරණ හේතුවකුත් නැහැයි කියලා. අන්න එහෙමනම් අපි කරන්න ඕන දේ තමයි වහාම ඉහළට පැමිණීලි කරන එක. එතන කෑ කෝ ගහලා ඇවිත් වැඩකුත් නෑ. එහෙම පැමිණිලි කරන්න තැන් තියෙනවා, සියේට අනූවක් දුරට එහෙම සිද්ධ වෙන පැමිණිලි වලට ක්‍රියාමාර්ගත් ගැනෙනවා.
6. මිනිස්සුන්ගේ ආරක්ෂාව
අපේ ආරක්ෂාව අපි බලාගන්න ඕන නම් ආණ්ඩුවක් ඕන නැහැ තමයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මේ ගැන හරියට මිනිස්සුන්ගේ හිතට දැනුනා. හැබැයි රටේත්, තමන්ගේත් ආරක්ෂාව සම්බන්ධයෙන් මිනිස්සුන්ටත් වගකීමක් තියෙනවා. සරලවම කිවුවොත් මිනිස්සුන්ට ඇස් කන් ඇරගෙන ජීවත් වෙන්න පුළුවන්. දකින දකින එකාව සැක කරන්න ඕන නෑ. හැබැයි සැක කටයුතු දෙයක් දැක්කොත් වහාම අදාළ අංශයකට පැමිණිලි කරන්න පුළුවන්. අල්ලපු ගෙදර එකා දිහා සැකෙන් බලන්න ඕන නෑ. හැබැයි අල්ලපු ගෙදර එකා හරිම සැකකටයුතු විදියට හැසිරෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැන හොයාබලන්න අදාළ අංශයකට දැනුම් දෙන්න ඕන. එහෙම නැතුව ‘අනේ ඔව්වා අපිට අදාළ වැඩ නෙවෙයි’ කියලා ඉන්න එක නෙවෙයි හරි දේ.
7. හරි හමන් ආණ්ඩුවක්!
දැන් ඔය හැමදේමත් එක්ක අන්තිමට එන තැන තමයි මේක. දැන් කාලේ මිනිස්සුන්ගේ කථා වල හැටියට හරි හමන් ආණ්ඩුවක් පත් කරන එකත් කරන්න ඕන ආණ්ඩුවම තමයි! අන්න එතන තමයි හැමදේකදීම වැරදිලා තියෙන්නේ. ආණ්ඩුවට දැන් පත් වෙලා ඉන්නෙත්, ඉස්සර පත් වෙලා හිටියෙත් අඟහරු ලෝකෙන් ආපු මිනිස්සු නෙවෙයිනේ. අපි අතරින්ම ගියපු මිනිස්සු. එතකොට ඒ ආණ්ඩු හොඳ වුනත්, මජර වුනත් එව්වලට වග කියන්න ඕනැත් මිනිස්සු තමයි. අන්න ඒ නිසා, ආණ්ඩුව නරකයි කියලා ආණ්ඩුවටම බැණ බැණ ඉඳලා වැඩක් නෑ. තමන්ට පාවිච්චි කරන්න ඡන්දයක් තියෙනවනේ. ආන්න ඒ ඡන්දය නුවණැති විදියට පාවිච්චි කරන්න දැනගන්න ඕන.
හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මේ සමහර ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන ආණ්ඩුව තමයි. මොකද ආණ්ඩුව පිස්සු කෙල කෙල ඉන්නකොට, රටේ මිනිස්සු ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙනවා නම් ආණ්ඩුවක් ඕන නැහැනේ. හැබැයි ආන්න ඒ වගේ අවස්ථාවකට තමයි 7 වෙනි කාරණාව තියෙන්නේ!
Leave a Reply