බොලිවුඩයේ අක්කා-මල්ලි ප්‍රේම කතා 7ක්

ආදරේට හැම තැනින් ම බාධා ය. හැබැයි කතාවට නම් කියන්නේ ආදරේට මොන දෙයක්වත් බාධාවක් නෙවේ කියලා. ඔය බාධා ගොඩෙන් එකක් තමයි වයස. ඒක නම් දැන් දැන් ඇත්තටම ගණන් ගන්න දෙයක් නෙවෙයි. මේක සාමාන්‍යකරණය කිරීමේ විශාල වැඩකොටසක් නළුනිළියන්ගේ පැත්තෙන් සිද්ධ වෙනවා. මේ ඒකට බොලිවුඩයෙන් වුණ සම්මාදම. මේ විදියටම අනෙක් බාධාවනුත් සාමාන්‍යකරණය වෙලා ගියොත් හොඳයි. අක්කා-මල්ලි ලව් එක දැන් කොහොමත් ලංකාවේ ට්‍රෙන්ඩින් නිසා මේ අසල්වැසි රටේ ඒ සම්බන්ධ වාසදේස ටිකක්.



1. අයිෂ්වර්‍යා-අභිෂේක්


ඉස්සෙල්ලා ම එන්නේ ලස්සන අක්කා කෙනෙක් ගැන. අයිෂ්වර්‍යා රායි විවාහ වුණේ අභිෂේක් බච්චන් එක්ක. දෙන්නගේ වයස පරතරය අවුරුදු දෙකක්. සල්මන් ඛාන් සහ විවේක් ඔබරෝයි එක්ක තිබුණ අනම්මනම් හුටපටවලින් පස්සේ අයිෂ්වර්‍යා තමන්ගේ ඉරණම්කාරයාව හොයාගන්නවා. මේ වයස කේස් එක කාට ප්‍රශ්නයක් වුණත් එයාලට නම් ප්‍රශ්නයක් වුණේ නෑ. ආරාධනා කියලා දුවෙකුත් දැන් ඉන්නේ. මේ දෙන්නව තිරයේ ඉස්සෙලා ම පෙම්වතුන් වශයෙන් දැකපු චිත්‍රපටයට වඩා අපේ බොක්කට ම වදින්න රඟපෑවේ Kuch Naa Kaho චිත්‍රපටයේ. ඒ 2003 වර්ෂයේ දී. කොහොමහරි දෙන්නා කසාද බැන්දේ 2007 දි.



2. නාර්ගීස්-සුනිල්


සන්ජේ දත්ගේ අම්මයි තාත්තයි. ඒ තමයි නාර්ගීස් සහ සුනිල්. මේ දෙන්නගේ වයස මහා පරතරයක් විදියට මීඩියාවලින් හැදුවත් ඇත්තටම සුනිල් සහ නාර්ගීස් දෙන්නම 1929 තමයි උපත ලබන්නේ. වෙනස දවස් පහක් විතරයි. මදර් ඉන්ඩියා චිත්‍රපටයේ සීන් එකක් වැරදියට ගිහින් තව ඩිංගෙන් නාර්ගීස්ගේ ජීවිතය පවා නැති වෙන්නට ඉඩ තිබ්බා. ඒ වෙලාවේ වීරයා වගේ මැද්දට පැනලා බේරගෙන තිබුණේ සුනිල්. එතැන් පටන් දළු ලා ගෙන ආපු මේ ආදර කතාව ලෝකය දැනගන්නේ විවාහ වෙලත් කාලයක් ගියාට පස්සේ. මොකද මදර් ඉන්ඩියා එකේ දෙන්නා අම්මටයි පුතාටයි රඟපානවා. ෆිලුමට අවුලක් වෙයි කියලා දෙන්නා මේක රහසේ තියාගෙන ඉඳලා තියනවා.



3. අම්රිතා-සායිෆ්


මේක නම් සාර්ථක ආදර සම්බන්ධයක් නෙවෙයි. අක්කා-මල්ලි කතන්දරේ කෙළ වුණ අවස්ථාවක්. දෙන්නාගේ වයස පරතරය අවුරුදු 12ක්! අවුරුදු 13ක කසාද ජීවිතේ අහවර කරලා සායිෆ් වෙන අතක් බලාගන්නවා. ඒ වෙනකොටත් දුවෙක් සහ පුතෙක් මේ දෙන්නට ඉන්නවා. ඉස්සෙල්ලා ම දෙන්නා හඳුනාගන්නේ චිත්‍රපටයක ෆොටෝ ෂූට් එකක් අතරතුර. ඒ වෙනකොට සායිෆ් කියන්නේ මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. නමුත් අම්රිතා කියන්නේ එතකොට තරුවක්. දික්කසාදයට හේතුව මෙන්න මේකයි කියලා කෙලින්ම කොහේවත් සඳහන් කරලා නැතත් දෙන්නා වෙන් වුණ ගමනින් ම සායිෆ් තවත් ගෑල්ලමයෙක්ට සමීප වීමෙන් වෙලා තියන ස​හ වෙන්න තියන දේ හිතාගන්න පුළුවන්. කොහොමහරි ඉතින් දැන් සායිෆ් කරීනා එක්ක පවුල් කනවා. එතනත් තව පුතෙක් ඉන්නවා.



4. සෝහා-කුනාල්


සායිෆ් අයියගේ හුටපටෙන් පස්සේ කෙලින් ම එන්නේ නංගිගේ ආදර කතාව අහන්න. අයියට වගේ නෙවෙයි නංගිට නම් එක හිතයි. සෝහා අලි ඛාන් තමන්ගේ පෙම්වතා වන කුනාල් ඛේමු එක්ක විවාහ වෙන්නේ වසර දෙකක් ඇසුරු කිරීමෙන් පස්සේ. කුනාල් ඛේමු 90 දශකයේ කොල්ලෝ කෙල්ලෝ නම් නොදන්න විදියක් නෑ. ආහ් මතකය අලුත් කරගන්නකෝ.

ඔවුන් දෙදෙනා විවාහ වුණේ 2015 දී. තවමත් ඉතාම ආදරයෙන් චූටි දුවෙකුත් එක්ක ජීවත් වෙනවා. දෙන්නා අතර වයස් පරතරය මාස 05යි.



5. බිපාෂා-කරන්


බිපාෂා! ඔව් කට්ටිය හිතාන හිටියේම ජෝන් ඒබ්‍රහම් අප්පුහාමිව කසාද බඳීවි කියලා. අන්තිමේ එයාගේ හිත ඇවිත් රැඳුණේ කරන් ළඟ. බිපාෂා කරන්ට වඩා අවුරුදු හතරක් වැඩිමල්. දෙන්නව තිරයේ ඉස්සෙල්ලාම එකට දැකගන්න පුළුවන් වුණේ 2015 දී. ඒ ‘Alone’ කියන චිත්‍රපටයෙන්. අවුරුද්දකින් පස්සේ ඒ කියන්නේ 2016 දී දෙන්නා විවාහ වෙනවා.



6. මලයිකා-අර්ජූන්


පැපරාසි හැමතැනම. බොලිවුඩයේ පුද්ගලයොන්ගේ ජීවිත ගත්තාම කිසිම නිදහසක් නෑ. මලයිකා-අර්ජූන් ආදර අන්දරයත් ලෝකයා දැනගත්තේ මේ පැපරාසිවලට පින්සිද්ධ වෙන්න. පුවත් මවන චරිත දෙකක් බවට පත් වෙලා තියන මේ ජෝඩුවගේ වයස් පරතරය අවුරුදු 12යි. තරු පවුලක පුරුකක් වුණ අර්ජූන්ට අහන්න වෙන කතන්දර නම් සෑහෙන තියනවා. හැබැයි අන්න දෙන්නා බඳින්න යන්නේ.



7. ප්‍රියංකා-නික්


ප්‍රියංකා පුල් හින්දුස්ථානි වුණාට නික් එහෙම නෑ. ඒත් බොලිවුඩයේ ආදර කතාවල මේ ගැන නොකියා ඉදිරියට යෑමක් නැහැ. දෙන්නා අතර අවුරුදු 10ක පරතරයක් තියනවා. නමුත් ඒක ඒ දෙන්නට ප්‍රශ්නයක් නෙවේ. සංස්කෘතීන් දෙකට ම ගරු කරන ගමන් දෙන්නා ම ඉතාම ආදරයෙන් ජීවත් වෙනවා.සංස්කෘතිය කතාව කිව්වේ විවාහය ඉන්දීය ක්‍රමයට සහ බටහිර ක්‍රමයට යන දෙආකාරයකින් සිද්ධ වුණ නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *