ඉන්දුනීසියාව කියන්නේ ලොකු රටක්. ඉන්දුනීසියාවට දූපත් 16,000කට වඩා අයිතියි. ඉන්දුනීසියාවට ලංකාවට වඩා බොහොම විසාල දූපත් පහක්ම අයිති වෙලා තියෙනවා. මෑතකදී ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණයෙන් කලින් හිටපු ජනාධිපතිම නැවත පත් වුනා. ජෝකෝ විඩඩෝ ඉන්දුනීසියා ජනාධිපතිවරයා නිදහස් දවසේ කියපු විදියට ඉන්දුනීසියාව ජාකර්තාව වෙනුවට වෙනත් අගනුවරකට මාරු වන්න හදනවා. ජාකර්තා වල ජනගහණය මිලියන 10ක්. ජාකර්තා කියන්නේ සමස්ථ ආසියාවේම තියෙන සුවිශාල නගරයක්. ඉතින් ඇයි මේ හදිසියේ ඉන්දුනීසියාව අගනුවර මාරු කරන්නේ?
1. නගරය ගිලීයාම
ඉන්දුනීසියා ජාකර්තාව කියන්නේ මූද අසබඩ තියෙන ලස්සන නගරයක්. මේ ජාකර්තාව ඉස්සර කාලේ ලන්දේසිකාරයෝ රට කරද්දි අගනුවර විදියට තෝරාගත්ත තැන. ඉස්සර මේක හැඳින්වූයේ බතාවියා කියලා. ජාකර්තාව දැන් ගිලෙන්න පටන් අරගෙන. ජාකර්තා නුවරින් 95%ක් 2050 වෙද්දි ගිලෙනවා. එයින් උතුරු ජාකර්තාව වසරකට සෙන්ටිමීටර 25ක වේගෙන් ගිලෙනවා. ඒ කියන්නේ අවුරුද දහයක් යද්දි මීටර් දෙකකට වැඩි ප්‍රමාණයකින් උතුරු ජාකර්තාවේ උස අඩු වෙනවා. එතකොට අසල තියෙන මූදු වතුර ගංගා වල ජලය ඒ භූමියට එනවා. මේක ආරක්ෂා කරගන්න උස තාප්ප ගැහුවත් ජාකර්තාව ආරක්ෂා කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මිලියන 10ක් වාසය කරන ජාකර්තා නගරයේ ඇතැම් කොටස් දැනටම ජලයෙන් යට වෙලා ඉවරයි. නාගරික ජනතාවගෙන් 65%ක් පමණ නල ළිං ගහලා ඒ වතුර තමයි එදිනෙදා වැඩට පාවිච්චි කරන්නේ. නල ළිං වලින් අදිනකොට යට තියෙන භූගත ජල ස්ථරය තුනී වෙනවා. එතකොට ඉහළ තියෙන මහ පොලව යටට කිඳා බහිනවා. මේ ජලය ලබාගැනීම සහ ගිලෙන එක නවත්වන්න අමාරු දෙයක්. ඒක ඉන්දුනීසියා අගනුවර මාරු කරන්න එක හේතුවක්.
2. ගිනිකඳු සහ භූ කම්පා අවදානම
ඉන්දුනීසියා සුමාත්‍රා වල ඇතිවූ භූමිකම්පාව නිසා 2004 වර්ෂයේ සුනාමියෙන් ලංකාවටත් දැඩි හානි වුනා. ලංකාව තියෙන්නේ ඉන්දුනීසියාවේ ඉඳලා කිලෝමීටර තුන්දාහක් විතර ඈතින්. ඒත් අවදානමට ගොදුරු වුනා. මේ ගිනිකඳු ඇතිවෙන ගිනි වළල්ල හෙවත් රින්ග් ඔෆ් ෆයර් කියන එකට ඉන්දුනීසියාව අහු වෙලා තියෙනවා. මේ ගිනි වළල්ල තුල ජාකර්තාව දැනට තියෙන ජාවා දූපත ඇතුලත්. ජාකර්තා නගරය වෙනුවට අලුත් නගරය පිහිටුවන්න ඉන්දුනීසියා රජය අදහස් කරගෙන ඉන්නේ බෝර්නියෝ දූපතේ. බෝර්නියෝ කියන්නේ මේ ගිනිකඳු සහ භූමිකම්පා ඇතිවෙන සීමාවෙන් පිට තියෙන තැනක්. ජාවා දූපතේ ගිනි ගොඩ උඩ තවත් ඉන්නවාට වඩා ඉන්දුනීසියාව අලුත් ගැස්සීම් පැද්දීම් සහ ගින්දර අඩු තැනකට යන්න කැමැත්තෙන් ඉන්නවා ඇති.
3. එපාකරපු ට්‍රැෆික්
ජාකර්තා නගරයේ වපසරිය වර්ග කිලෝමීටර 661ක්. ආසන්නව ප්‍රමාණය අනුව අපේ කොළඹ දිස්ත්‍රික්කයට සමානයි. මේ කුඩා ඉඩකඩ තුල ලංකාවෙන් බාගයක් විතර ඒ කියන්නේ මිලියන දහයක සෙනගක් ඉන්නවා. ඉන්දුනීසියාවේ ජාකර්තා නගරය ලෝකේ නරකම ට්‍රැෆික් තියෙන මහා නගර වලට ඇතුලත් වෙලා තියෙනවා. ට්‍රැෆික් අඩු කරන්න බස් සේවාවන්, දුම්රිය සේවාවන් සහ නාගරික මෙට්‍රො සේවාවන් ජාකර්තාවේ අලුතින් දමලා තියෙනවා. ඒත් ට්‍රැෆික් වල නම් කිසිම අඩුවක් නැහැ. නගරය මේ විදියට තියාගෙන ට්‍රැෆික් වලට විසඳුම් හොයන එක කරන්න පුළුවන් වුනත් නගරයේ කොටස් පදාස පිටින් ගිලෙන නිසා ඒ වැඩෙත් ලේසි නැහැ. ඉන්දුනීසියාව තමුන්ගේ අගනුවර මාරු කරන්න තවත් එක හේතුවක් විදියට මේ අසික්කිත වාහන තදබදයත් දක්වලා තියෙනවා.
4. නව ලෝකයට සරිලන සැපයුම්
නගරයකට ජලය කියන්නේ මූලික සාධකයක්. නල ළිං වලින් ජලය ගැනීම ජාකර්තාව ගිලෙන්නට හේතුවක් වුනා. ඒත් ඒ වෙනුවට සෑම නිවසකටම ජල සැපයුමක් දෙන්න ජාකර්තා පාලකයින්ට හැකියාවක් නැහැ. ඒ වගේම නගරය තුල ප්‍රවාහන පහසුව මීට වඩා ශක්තිමත් කරන්නත් තියෙන්නෙ අඩු ඉඩක්. තවදුරටත් ඉස්සරහට දියුණු ලෝකයට යද්දි මීට වඩා ශක්තිමත් ලෙස නගර පහසුකම් වර්ධනය කරන්න ඕනි කියලා ඉන්දුනීසියාව හිතලා තියෙනවා. අලුත් නගරය වෙනස් වීම එක්ක අනිවාර්යයෙන් රජයේ කාර්යාල සහ පරිපාලන කටයුතු අලුත් නගරය වෙත මාරු වේවි. රජයේ සේවක පිරිස සහ රජයේ කාර්යාල නගරය තුල වැඩි වපසරියක් අත් පත් කරගන්නේ නැහැය, ඒ නිසා ඔය මාරුව තේරුමක් නැහැය කියලත් පිරිසක් කියනවා. ඒත් කෙමෙන් කෙමෙන් වාණිජ කටයුතුත් අලුත් නගරයට මාරුකරගන්න ඉන්දුනීසියාවට පුළුවන් වුනොත් ඒක සාර්ථක මාරුවක් වේවි.
5. මීට කලින් අගනුවර මාරු කළ රටවල්
1916 කාලේදී ඉන්දියාවේ කල්කටා සිට දිල්ලි දක්වා අගනුවර මාරු වෙනවා. බ්‍රිතාන්‍යයෝ තමුන්ගේ වෙළඳ සමාගමේ ආධිපත්‍යය කල්කටාවේ පැතිරීමත් එක්ක කල්කටාව සියවසක් විතර අගනුවර විදියට තියාගත්තා. ඒත් කල්කටාවේ දේශපාලන තත්ත්වය එච්චර හොඳ වුනේ නැහැ උද්ඝෝෂණ වර්ජන වැඩිවුනා. ඒ වගේම හොඳට සැලසුම් කරපු නගරයට යන එකේ අවශ්‍යතාවය එවකට බ්‍රිතාන්‍ය පාලකයින්ට තිබුනා. ඉන් පස්සේ එයාල අගනුවර මාරු කළා. ඒ විදියට ඔස්ට්‍රේලියාව සිඩ්නි වල තිබුන අගනුවර කැන්බරා වලට මාරු කළා. ලංකාවත් කොළඹ තිබුන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත මාරු කළා. ඉතා මෑතකදී 2006 දි මියන්මාරෙ හෙවත් පරණ බුරුමේ තමුන්ගේ එතෙක් අගනුවර වුන රැන්ගූන් වලින් නයිපිඩෝ වලට මාරු වුනා. අගනුවර මාරු කිරීමට ඒ ඒ රටවලට හේතු තිබුනා. ඉන්දියාවේ අගනුවර මාරු කිරීම සාර්ථක වුනත් මියන්මාරේ අගනුවර මාරු කිරිම සාර්ථක එකක් වෙලා නැහැ. ජාකර්තාවේ තැන මාරු කිරීමට පක්ෂ උදවිය අගනුවර මාරු කරලා සාර්ථක වුන නගර උදාහරණයට ගන්නවා. විපක්ෂ අය අසාර්ථක වුණු තැන් ආදර්ශ විදියට ගන්නවා.
6. අලුත් අගනුවර කොහේද ?
අලුත් අගනුවරක් ගොඩ නගන එක ලේසි වැඩක් නෙමෙයි. ඩොලර් බිලියන ට්‍රිලියන ගාණක් ඒ වෙනුවෙන් වියදම් කරන්නට වෙනවා. අලුත් අගනුවරකට යන්න ඕනි කියන එක ඉන්දුනීසියාවේ නිදහස් සටනින් පසු රජය ගෙනගිය සුකර්නෝ කාලයේ සිට එන කතාවක්. එදා සුකර්නෝ රජය බෝර්නියෝ දිවයිනේ කලිමන්තාන් කලාපයේ නව අගනුවරක් හදන්න ඕනි කියලා කිව්වා. අද ජෝකෝ විඩඩෝ ජනාධිපතිතුමත් මේ බෝර්නියෝ දූපත වෙත අවධානය යොමු කරලා තියෙනවා. දැනට බෝර්නියෝවේ ස්ථාන තුනක් අලුත් අගනුවර වෙනුවෙන් සලකා බලලා තිබුනත් හරියටම තැන මොකක්ද කියලා අදහස් ප්‍රකාශ වෙලා නැහැ. ජල සැපයුම, වරාය පහසුකම්, ගුවන්තොටුපල, විදුලිය වගේ අංශ ගණනාවක් සලකා බලලා වඩාත් ගැලපෙන තැන තෝරාගන්නවා කියලා තමයි ඉන්දුනීසියා රජය කියන්නේ.
7. පරිසරය සහ නගරය
ඉන්දුනීසියාව නිවර්තන වැසි වනාන්තර රැසකට උරුමකම් කියන රටක්. ඒ අතරින් නව අගනුවර පිහිටුවන්නට යන බෝර්නියෝවත් ජෛව විවිධත්වය අතින් සරුසාර නිවර්තන දූපතක්. බෝර්නියෝවේ වැවෙන ගහකොළ සාමාන්‍යයෙන් ලංකාවේ වැවෙන ඒ ජාතියේම ගහකොළ වලට වඩා ගොඩක් උස මහත බව ලංකාවේ ඉඳන් එහෙ ගිය උදවිය කියලා තියෙනවා. ඔරන් ඔටන්, මුවෝ, කුරුල්ලෝ වගේ වන සතුනුත් ජාති ගණනාවක් බෝර්නියෝවේ ඉන්නව. අලුත් නගරයක් බෝර්නියෝවට ඒමත් එක්ක මේ ස්වභාවික පරිසරයට හානි වෙයි කියලා පරිසර ලෝලීන් බය පළකරනවා. ඒත් ඉන්දුනීසියානු රජය පරිසරයට අවම හානියක් වෙන ආකාරයට හරිත නගර සංකල්පය යටතේ නගරය ඉදිකරන්න තමයි ඉන්නේ කියලා කියනවා.
නගරයක් මාරු කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. එත් ගිලෙන නගරය තුල තවත් ඉන්නවාට වඩා දැන්ම මාරුවෙන සැලසුමක් හදාගෙන වැඩකරන එකේ වැදගත්කම ඉන්දුනීසියාව අවබෝධ කරගෙන තියෙනවා. අපිට බැලූබැල්මට පෘථිවියේ තියෙන හැම දෙයක්ම අසීමිතයි වගේ පේනවා. ඒත් මහ පොලව වුනත් වැඩිපුර රිදවලා, මිරිකලා පාවිච්චි කරාම ඒක ගිලෙන්න ගන්නවා. ඉන් පස්සෙ අපිට ඒ තැන ඉන්න බැරිවෙන මට්ටමට එනවා. නගර ඉදිකිරීම ගැන හැමදාම කතා වෙන ලංකාව වගේ රටකට ඉන්දුනීසියාවේ ජාකර්තාව ගිලී යෑමත් අලුත් නගරයකට මාරු වීමත් හරහා ඉගෙනගන්න පාඩම් තියේවි.
Leave a Reply