ලංකාවේ ඇත්තටම ටුක් ටුක් නැතිනම් ත්‍රීවීල් කියන්නේ ආගමක් තමයි. ඇයි? ත්‍රීවිල් නැතිනම් හදිසියකට කොහේ හරි අපි ගිහින් හමාරයි. ත්‍රීවිල් නැතිනම් ලංකාවේ සෑහෙන පිරිසකගේ ජීවනෝපායත් හමාරයි. හැබැයි ඉතින් පාරට බැස්සහම වැඩිපුරම බැණුම් අහන්නෙත් ත්‍රීවිල් අයියලා මල්ලිලාම තමයි! ඇත්තටම අපිට පාරෙදි එක එක විදියේ ත්‍රීවිල් ඩයල්ස් සෙට් වෙනවා. සමහරු සිරාවටම රත්තරං මිනිස්සු. සමහරු නම් අම්බ වාත ඩයල්, ලඟින් ගියොත් ඇහැක් නෑ ටයිප් මිනිස්සු. ඒකත් ඉතින් මහා පොදු සමාජේ වගේ තමයි. හොඳ එව්වොත් ඉන්නවා, නරක එවුවොත් ඉන්නවා. හැබැයි ත්‍රීවිල් එකකට නගින අපි මේ හොඳ එව්වෝ ගැන වගේම නරක එව්වෝ ගැනත් දැනගෙන ඉන්න එක අපේ ශරීර සෞඛ්‍යයට වටිනවා!!
1. හිත හොඳ අයියා!
මේ විදියේ ටුක් ටුක් අයියලා තමයි අපිට ගොඩක් වෙලාවට මුණගැහෙන්නේ. කොයි විදියේ වුනත් හිත හොඳයි. විශේෂයෙන්ම මීටර් ටුක් ටුක් එකක යනවා නං, මේ අයියලා රුපියල් දෙකක් තුනක් අඩු කරලා තමයි රවුම් ගාණක් කියන්නේ. එතකොට අපි දැනගන්න ඕන කීයක් හරි වැඩිපුර දුන්නට කමක් නෑ කියලා. අනික මේ අයියලා සමහර වෙලාවට මිනිස්සුන්ට තමන්ගේ හයර් එක ගැන නොහිතා උදවු කරන වෙලාවල් වුනත් ඕනෑ තරම් අහන්න ලැබෙනවා. සමහර වෙලාවට මහ ඉස්පිරිතාලේ ගාවින් යන එන මං නැතුව ඉන්න ආච්චියෙක්, සීයෙක් එහෙම හයර් නොගෙනම බස් ස්ටෑන්ඩ් එකට මේ විදියේ හිත හොඳ අයියා කෙනෙක් ඇරලවපු කතන්දර එහෙමත් ඕනෑ තරම් අහන්න තියෙනවා.
2. කපටි සොර අයියා
කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා, මෙන්න මේ විදියේ ත්‍රීවිල් අයියලාත් ගොඩක් නැතත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවාය කියන එක. මේ විදියේ කපටි සොරා ටයිප් ත්‍රීවිල් අයියලා කරන විවිධාකාරයේ හොර මගඩි තියෙනවා. ඒකෙන් සුලභම එක තමයි, මීටර් නැතුව ගිහින් ඩබල් එකේ චාජ් කරන එක. එක්කෝ මේ ත්‍රීවිල් වල මීටර් නෑ, එක්කෝ මීටරේ දාන්නෙ නෑ. කැඩිලය කියයි. එහෙම ත්‍රීවිල් එකකට ගාණ අහන්නෙ නැතුව නැග්ගොත් ඉතින් බඩුම තමයි. සමහරු ඉන්නවා ගාණ ඇහුවත් කියන්නේ “ගණන් වැඩක් නැහැනේ මහත්තයා, අපිට සල්ලිද වටින්නේ මිනිස්සුද වටින්නේ” කියලා. එහෙම අහලා ගිහින් බැස්සුවට පස්සේ දෙගුණෙක ගාණක් කියයි. එතකොට අපි ඇහුවොත් “දැන් සල්ලිද මිනිස්සුද වටින්නෙ කියලා ඇහුවා නේද” කියලා, පොර ගාණක් නැතුව කියයි “ඔව් සල්ලි තමයි වටින්නේ” කියලා! මේ වර්ගේ තව සෙට් එකක් ඉන්නවා, පාර තොට දන්නෙ නැති එකෙක් අහුවුනොත් අරගෙන යන්නේ පරංගියා කෝට්ටේ අරගෙන ගියපු රූට් එකෙන්. එතකොට ගාණ කොහොමත් කැපිලනේ!
මේ විදියෙම තව මීටර් ටුක් ටුක් කට්ටයෝ ඉන්නවා, මීටරේ ඔන් කරගෙනම තමයි කැරකෙන්නේ. මීටරේ දිහා බලන්නෙ නැතුව ගොඩ වෙන මනුස්සයෙක්ගේ හයර් එකට ඉතින් තව කිලෝමීටරයක දෙකක ගාණක් ඉබේම එකතු වෙනවා!
3. මාරපං එක්කගෙන යන කළු මල්ලි
මේ වර්ගේ හාදයෝ දෙකොටසක් ඉන්නවා. එක කොටසක් තමයි අපි උඩින් කියපු විදියට ගාණ කැපීමේ කපටි පරමාර්ථයෙන් පාර තොට නොදන්න මිනිස්සුන්ව වටේ එක්කගෙන ගිහින් ගමනාන්තයට යන උන්දැලා. දෙවෙනියට ඉන්නවා ඇත්තටම තමන් පාර තොට නොදන්න නිසා, එහෙම නැතිනම් පාර තොට ගැන සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න නිසා කළුවා මාරපං ගියපු පාරෙන්ම අපිවත් එක්කගෙන යන ත්‍රීවිල් අයියලා. මෙහෙම උන්දෑ කෙනෙක්ට හදිසි ගමනක් යන්න ගිහින් සෙට් වෙනවා කියන්නේ දෙයියන්ගේම පිහිටයි! මේ දෙවෙනි කොටසට අයිති සමහර අයියලා ඉන්නවා ආයෙ ඔය ගූග්ල් මැප්ස් වගේ නවීන තාක්ෂණේ විස්වාසෙට ගන්නෙම නෑ. “මල්ලි ඔය ඉස්මාට්පෝන් වලින් අහගෙනද අපි මේ ඒරියල් එකේ මෙච්චර කල් ත්‍රීවිල් කරකැව්වේ” කියලා පොර අතුරු පාරවල් දිගේ දාගෙන දාගෙන යනවා, මේ පාරෙන් ට්‍රැෆික් අහුවෙන්නෙ නෑ කියලා. ඇත්ත, සමහර වෙලාවට ඔය පොඩි පොඩි අතුරු පාරවල් ගූගලාට අහුවෙන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් මෙහෙම ගිහින් යන ගමනේ වෙලාවත් දුරත් ඩබල් වෙන්න තියෙන ඉඩ වැඩියි!
4. මල්ලි පාර කියන්ට මල්ලි!
මේ විදියේ ත්‍රීවිල් අයියලා ගොඩක් වෙලාවට මුණගැහෙන්නේ කොළඹ වගේ සංකීර්ණ පාරවල් පද්ධති තියෙන මහා නගරෙකදී තමයි. එතකොට මේ ත්‍රීවිල් අයියලා ඇත්තටම ඊයෙ පෙරේදා නගරෙට ගොඩබැහැපු, රස්සාවක් හොයාගෙන ගමෙන් ආපු අයියලා. ගොඩක් වෙලාවට මේ හාදයෝ බොහොම අහිංසකයි. හැබැයි ඉතින් ත්‍රීවිල් රස්සාවට අත්‍යාවශ්‍යම දේ වෙන පාර තොට දැනගැනීම කියන තැනදී මේ අයියලා පොඩ්ඩක් අප්සෙට් යනවා. ආයෙ කොළඹ එහෙම නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ, පාර තියෙනකල් ත්‍රීවිල් එක අරගෙන යයි. මේ විදියේ ත්‍රීවිල් අයියලා කෙලින්ම අපිට කියනවා “මල්ලි පාර පොඩ්ඩක් කියන්න මල්ලි” කියලා. බැරිවෙලාවත් අපිත් පාර දන්නෙ නැතුව ගමනට සෙට් වුනොත් ඉතින් මීටර් පනහෙන් පනහට නවත්ත නවත්ත පාර අහගෙන තමයි යන්න වෙන්නේ. මේ වර්ගේ අනික් අයියලා “මං මුලාවී පාර හොයාගෙන, හසරක් අසමින් එන ගමනේ තමයි මල්ලිගේ හයර් එක වැදුනේ” කියලා කියන්නේ පාර නොදැන වැරදි පාරේ සෑහෙන දුර ගියාටත් පස්සේ!
5. දේසපාලන විස්ලේසක මාමා!
කයියට කැමති ඩයල් එකකට මේ විදියේ ත්‍රීවිල් මාමෙක් සෙට් වුණොත් අවුලක් නෑ, ගමනාන්තෙට යනකල්ම දෙයියනේ කියලා ලංකාවේ දේශපාලනේ හෝදතෑකි. හැබැයි නිස්කලංකේ, තමන්ගේ පාඩුවේ ගමන යන්න කැමති උදවියට මේ විදියේ කැඩිච්ච රේඩියෝ එක වගේ ලංකාවේ දේශපාලනය ආ ගමන සහ අනාගත ගමන විශ්ලේෂණය කරලා ගෙන හැර දක්වන ත්‍රීවිල් මාමෙක් මුණගැහෙන්නේ පූරුවෙ කරපු පාපෙකටම තමා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මෙයින් සමහර මාමලා ඔහේ කට වාචාල කමට කියවන දේශපාලන වහල්ලු නැතිනම් රටේ වෙදාලා. හැබැයි සමහර දේශපාලන විශ්ලේෂක මාමලා ඉන්නවා, මේ අයට අර ජීවිත අත්දැකීම් වලින් සහ සමාජ අත්දැකීම් වලින් ආපු අපූරු දේශපාල, සමාජ ඥාණයක් තියෙනවා. මෙහෙම මනුස්සයෙක් කියන සමහර කතන්දර දේශපාලන, ආර්ථීක විශ්ලේෂකයින්ටවත් ඔලුවට එන්නෙ නැති තරම් සීරියස් දේවල්.
6. හැටට හැටේ එහෙන් මෙහෙන් මල්ලි!
මෙහෙම ත්‍රීවිල් මල්ලි කෙනෙක් එක්ක ගමනක් යන්න ත්‍රීවිල් එකට නගිනවා නං, වඩා හොඳයි අන්තිම කැමති පත්‍රයත් ලියලම තියලා එන එක. ආයෙ බරාස් ගාලා ත්‍රීවිල් එක රවුමක් කරකෝලා ගත්තට පස්සේ ආයෙ නෑ හැටට හැත්තෑවට මේ කොළඹ ට්‍රැෆික් පාරවලත් යන්නේ. කෙලින්ම කාර් වෑන් දෙකක් මැද්දේ අඩි එකහමාරේ ඉඩෙන් වුනත් මේ මල්ලි ත්‍රීවිල් එක රිංගවයි ගේමක් නැතුව. ආයෙ වමෙන් විතරක් නෙවෙයි, උඩිනුත් අනෙක් වාහන වලට ඉස්සර කරයි. මේ මල්ලිලා ට්‍රැෆික් ලයිට්, වාහනේ සිග්නල් ලයිට් වගේ සංකල්ප ගණන් ගන්න හාදයෝ නෙවෙයි. අර “මම ටැක්සිකාරයා, මම ඇරලා යන්න හරිම සූරයා” කියන සිංදුව තමයි මේ අයගේ ආදර්ශ පාඨය. ආයෙ ප්‍රාඩෝ, ටාටා බස් විතරක් නෙවෙයි, බවුසර්, කන්ටේනර් රිග් වගේ දැවැන්ත වාහන වලිනුත් ගේම ඉල්ලගෙනම හැටට හැටේ එහෙන් මෙහෙන් දාලා යන තග් ලයිෆ් මල්ලි කෙනෙක්ව කොහෙදිහරි පොලිසියෙන් නවත්තන්න තියෙන ඉඩ වැඩියි. එතකොට ඉතින් අපිත් ඉන්නෙපැයි චාටරේ කාගෙන!
7. සැපේ ඉන්න මල්ලියා
මෙන්න නියම රස්තා සැපේ ඉන්න, එහෙම නැතිනම් සංගීත සැපේ ඉන්න ටුක් ටුක් මල්ලිලා. මේ අයගෙන් සමහරු උඩ වර්ගෙට අයිති වෙන්නත් පුළුවන්. සමහරු නම් කිසිම කරදරයක් නැතුව තමන්ගේ ආතල් එකේ ත්‍රීවිල් එක එලෝනවා වෙන්න පුළුවන්. මෙහෙම සැපේ ඉන්න රස්තා මල්ලි කෙනෙක් කෙලින්ම රස්තා වර්ණ තියෙන තොප්පියක් දාලා, කොණ්ඩෙත් ඩ්‍රෙඩ්ලොක්ස් දාගෙන තමයි ඉන්නේ. “මාලේ ගෙලේ, චේ පපුවේ, කිසිම දෙයක් නෑ ඔලුවේ” කියලා ත්‍රීවිල් එක පිටිපස්සේ ගහලා තියෙන්නත් පුළුවන්. මෙහෙම මල්ලියෙක් කිසිම අවුලක් නෑ. සමහර වෙලාවට තමන්ගේ ආතල් එකේ, තමන්ගේ ඔලුවේ තියෙන මියුසික් රිදම් එකකට ත්‍රීවිල් එක එලෝගෙන ගිහින් ඕන තැන බස්සයි.
හැබැයි සංගීත සැපේ ඉන්න මල්ලියෙක් එක්ක යනවා කියන්නේ ගොඩක් වෙලාවට සීදූව සකුරා එක්ක හයර් එකක් යනවා වගේ තමයි. කණ දෙපැත්තේ තඩි ස්පීකර් දෙකෙන් සිංදු ඇහෙන්නේ. ආයි ගමටම සිංදු සැප බෙදාගෙන තමයි මෙහෙම මල්ලියෙක් ගමන යන්නේ. ඉතින් අපිට සිද්ධවෙනවා පොරගේ කණ් පෙත්ත අතින් උස්සලා, කණට කරලා කෑ ගහලා කියන්න “මල්ලි පොඩ්ඩක් මේක අඩු කරනවද” කියලා!
අපිට එදිනෙදා පාර තොටේ මුණගැහෙන තව ත්‍රීවිල් අයියලා මල්ලිලා වර්ග ඉන්නවා. ඒ අය ගැන ඔයාලගේ අත්දැකීම් පහළින් කමෙන්ට් එකක් විදියට කියාගෙන යමු!
Leave a Reply