මේ දවස්වල ජනාධිපති අපේක්ෂක කතාව සැරටම බැහැලා තියන එකේ මිනිස්සු මේ අපේක්ෂකයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන ලයිෆි අපි පොඩි පරික්ෂණයක් කරා. ඒ පරික්ෂණයෙන් හොයාගත්තු කරුණු විශ්ලේෂණය කෙරුවම තමයි හිතුනේ ඔය එහෙන් මෙහෙන් මතු වෙන මිනිස්සුන්ට වඩා ගෙදර ඉන්න අපේ අම්මා තමයි මේකට සුදුසු කියලා. ඒ මෙන්න මේ දේවල් නිසයි.
1. නොදන්නා දෙයක් නැති නිසා
දොස්තරට වඩා ලෙඩ ගැන දන්නවා. මුදලාලිට වඩා බඩු ගැනයි ගණන් ගැනයි දන්නවා. 2000න් පස්සේ ඉපදුණ කොල්ලෝ කෙල්ලොන්ට වඩා තාක්ෂණේ ගැන දන්නවා (ඉස්සෙල්ලම පොඩි ටියුටෝරියල් එකක් දෙන්නෝනි එතකොට හිමීට වැඩේ අල්ලගන්නවා). මේ විදියට අම්මා ගොඩක් දේවල් දන්නවා. කොහොමත් අම්මට අපි හැරෙනකොට කියන්න පුළුවන්. ඉතින් එහෙම අම්මගෙන් පාලනය වෙන ජනතාවට ඉතින් ආයේ බබා පාර්ට් දදා බොරුවෙන් ජීවත් වෙන්න බෑ. කොහොමත් රටවැසියන් හොයන්නේ උගත් බුද්ධිමත් මනුස්සයෙක් මේ වැඩේට. ඉතින් අම්මා වගේ බහුශ්‍රැත කෙනෙක් තමයි ඔතෙන්ට ගොඩක් සුදුසු.
2. පොරොන්දු ඉටු කරන නිසා
අහසෙ දෙයියෝ නෑ, ඡන්ද වේදිකාවෙත් නෑ ගෙදර තමයි ඉන්නේ. අපිත් පොඩි කාලෙ ඉඳන් ම හෙනම මජර ජනතාවක් නිසා හැමදේම කරන්නේ දෙයක් බලාපොරොත්තුවෙන්. කොටින් ම කියනවා නම් අපේ පෝෂණේට අම්මට කියලා බත් ගුලියක් කවාගන්නත් අම්මාගෙන් පොරොන්දු ගන්නවා. දෙයක් අරන් දෙන්නම් නැත්නම් කරන්නම් කියලා අම්මා කිව්වොත් කිව්වම තමයි. තමන්ට පුළුවන් විදියට අම්මා හැමදාම පොරොන්දු ඉටු කරා. කරන්න බැරි දේවල් ගැන බොරු කතන්දර කිව්වෙත් නැහැ.
3. හොඳ සන්නිවේදකයෙකු නිසා
මොන පක්ෂෙකින් කවුරු එළි බැස්සත් සත පහක වැඩක් තියේ ද කියන අටමගලයක් කාටවත් තේරෙන්නේ නැති නම්. ඒ වගේ ද අම්මා! ඉස්කෝලේ ගණන් පාඩම නොතේරුණත් ගෙදර ඇවිල්ලා අම්මා කියා දුන්නම ඒක තේරෙනවා. සන්නිවේදනයේ තවත් පැත්තක් ගැන කතා කරොත් තේ හදලා අපි තේ එක ගන්න එනකන් කෑ ගහනවා. ඒක හදනකන් අපි කෑ ගහනවා. එතන එකිනෙකාට අවබෝධයක් තියෙන හොඳ සන්නිවේදනයක් තියනවා. වතුර උතුරන වෙලාවට අපිව ඒක වහන්න එතනට ඉබේම යැවෙන විදියට තමයි වතුර එක වහන්න කියන්නෙත්.
4. තීරණ ගැනීමේ හැකියාව
රටකට ඉතින් අත්‍යාවශ්‍ය ම දෙයක් නොවැ මේක. හරිහමන් තීරණයක් ගන්න බැරි වුණාම රටවල් ගෙඩි පිටින් අනාතයි. ගෙවල්වල වුණත් එහෙමයි. ඕනම ප්‍රශ්නයක දී ක්‍රියා කරන්න ඕනි කොහොමද සහ ගන්න ඕනි තීරණ මොනාද කියන එක සම්බන්ධයෙන් කාටත් වඩා අම්මට තමයි තීරණේ ගන්න පුළුවන්. ගෙදරට අමුත්තෙක් ආවා ම අපිව සාලේ හිටවලා කුස්සියට ගිහින් අම්මා තේ හදන් එන එකත් තීරණ ගැනීමේ හැකියාව සුපිරියට ම පෙන්වන අවස්ථාවක්.
5. කැපවීම සහ ප්‍රතිපත්තිගරුක බව
අම්මලා ඔක්කෝ ම අප්‍රකාශිත එකඟත්වයකට ඇවිල්ලා ඉන්නවා තමන්ගේ ළමයින් වෙනුවෙන් බඩේ බත් නැතත් කැපවෙනවා ය කියලා. ඒක කොහෙවත් ලිඛිත ව ලියාපු එකක් නෙවෙයි. ඡන්දේ ඉල්ලන්න ලියාපු පත්‍රිකාවක තියෙන තඩි බොරුවකුත් නෙවෙයි. එහෙම ප්‍රතිපත්ති මාලාවක් කියලා තඩියට ගහපු අලි බොරු නෑ. වැඩ විතරයි. දැන් කුස්සිය මුල්ලේ විතරක් ම ඉන්න අම්මලා නෑ. ඉතින් රස්සාවක් කරන ගමන් පවුලේ කටයුතු කරගෙන යන්න අම්මලා සෑහෙන කැපකිරීම් කරනවා.
6. කරුණාව
ආදරයේ උල්පත වූ අම්මා කියලා සින්දු ලියැවුණේ ඇත්තට ම අම්මා කියන චරිතය ආදරය සහ කරුණාව කියන දේ සම්බන්ධයෙන් පෙන්වන්න පුළුවන් වඩාත් සත්‍යවාදී ම චරිතය නිසයි. අම්මා කෙනෙක්ට ආදරය සහ කරුණාව හංගන්නවත් ඒක ව්‍යාජ විදියට දෙන්නවත් බැහැ. ගොඩක් දේශපාලනඥයන් නම් හැබැයි දන්නෙම මානුෂීය හැඟීම් මොඩිෆයි කරලා දෙන්නනේ. ඉතින් අම්මා ජනාධිපති අපේක්ෂක වුණෝතින් ආදරයයි කරුණාවයි රටවැසියන්ට නොඅඩුව ලැබෙන බව විශ්වාසයි.
7. ආරක්ෂාව
අදටත් අවුරුදු විස්සක් තිහක් වෙලා තියෙද්දි බෙහෙත් ගන්න ගිහින් ලෙඩේ ගැන ඩොකා ඇහුවම අම්මා දිහා බැලෙන්නේ කාටත් වඩා අම්මා තමන් ගැන සහ තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් කියලා තමන් දන්න නිසයි. රටක වැදගත්ම දේ තමයි ආරක්ෂාව. ඒක නැත්තන් වෙන මොන කැටයමකින්වත් වැඩක් නෑ. අම්මගෙන් ලැබෙන්නේ අන්න එහෙම රටක් රාජ්ජයක් රකින තරමේ ආරක්ෂාව. කූඹියෙක්ට කන්න දුන්නේ නෑ. මදුරුවෙක්ට අහලට එන්න දුන්නේ නෑ. ඉතින් අම්මට රට දුන්නොත් අපේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ.
Leave a Reply