ලංකාවේ සුපර් මාකට් වල දකින්න තියෙන රහ බැලිය යුතුම වෙනස් වෙනස් රස වල අයිස් ක්‍රීම්!

අයිස් ක්‍රීම් වලට ආස නැත්තේ කවුද? හැබැයි හැමෝම අයිස්ක්‍රීම් වලට ආස වුනාට, වැඩි දෙනෙක් කන්නේ හැමදාමත් කන, හැමතැනම තියෙන සරල අයිස්ක්‍රීම් රස වර්ග විතරයි. හැබැයි ලෝකේ තියෙනවා එක එක විදියේ පිස්සු හැදෙන අයිස්ක්‍රීම් රස වර්ග. ඒ කියන්නේ හැමදාම කන වැනිලා, චොකලට්, ෆෘට් ඇන්ඩ් නට්, ස්ට්‍රෝබෙරි, මැංගෝ, බටර්ස්කොච් රස වලට අමතරව තව ඕන තරම් රස වර්ග තියෙනවා. දැන් ඔය අයිස්ක්‍රීම් විතරක් විකුණන කානිවල්, බාස්කින් රොබින්ස්, ඉල් ජිලාටෝ වගේ තැන්වල අපි මේ ලෝකේ තියෙනවා  කියලවත් දැනගෙන නොහිටි විදියේ රස වර්ග වලින් එන අයිස්ක්‍රීම් තියෙනවා. හැබැයි මේ කියන්නේ ඒ තැන් ගැන නෙවෙයි. ලංකාවේ දැන් අස්සක් මුල්ලක් නෑර තියෙන සුපර් මාකට් වල විකුණන්න තියෙන, ගොඩක් අය නොදන්න, දැනගත්තත් ගොඩක් අය රස විඳින්න පැකිළෙන අපූරු අයිස්ක්‍රීම් රස වර්ග ගැන තමයි මේ කියන්න යන්නේ! මේ හැම එකක්ම එන්නේ අයිස්ක්‍රීම් ටබ් විදියට.

 

1. චොකලට් බ්‍රවුනීස්

අවිවාදයෙන්ම මේක අපේ ෆේවරිට් ප්‍රීමියම් අයිස්ක්‍රීම් එක. චොක්ලට් රස වෑහෙන බ්‍රවුනි වල රහත්, චොකලට් අයිස්ක්‍රීම් රහත් මිශ්‍ර වෙලා එන මේ අයිස්ක්‍රීම් එකේ ඇත්තටම අපිට කටට අහුවෙන්න චොකලට් බ්‍රවුනීසුත් කෑලි කෑලි කරලා එකතු කරලා තියෙනවා. සමහර තැන්වලින් අපි චොකලට් බ්‍රවුනීස් කනකොට අපි අත්දැකලා තියෙන දෙයක් තමයි, බ්‍රවුනි එකේ පැණි රස වැඩි නිසා අපිට එක කෑල්ලෙන්ම ඒක ඇති වෙන එක. හැබැයි මේ චොක්ලට් බ්‍රවුනි අයිස්ක්‍රීම් එකේ තියෙන විශේෂම දේ තමයි, ඒකේ එහෙම අනවශ්‍ය විදියේ පැණි රසක් නැතිවීම. හැබැයි ඒ නිසාම චොකලට් බ්‍රවුනි අයිස්ක්‍රීම් ටබ් එකම වුනත් ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අතුරුදන් වෙන්න පුළුවන් වීම තමයි නරක දේ! මේක Cargills Magic අයිස්ක්‍රීම් රේන්ජ් එකේ තමයි එන්නේ.

 

2. රොකී රෝඩ්

මාෂ්මෙලෝස් එක්ක එකතු වුණු චොක්ලට් රසට ආස අයට ගැලපෙනම අයිස්ක්‍රීම් එක තමයි එලිෆන්ට් හවුස් රොකී රෝඩ්! ඉතාම මෘදු ක්‍රීම් ගතියෙන් යුක්ත මේ අයිස්ක්‍රීම් එකට රෝස්ට් කරපු කජු සහ මාෂ්මෙලෝස් එකතු කරලා තියෙන්නේ. ඇත්තටම මේ රොකී රෝඩ් අයිස්ක්‍රීම් එකේ ආකර්ෂණීයම දේ තමයි මෘදු මාෂ්මෙලෝස් එක්ක එකතු වෙලා එන අපූරු රසය. මේක Elephant House අයිස්ක්‍රීම් රේන්ජ් එකේ තමයි එන්නේ.

 

3. ක්‍රීමි ඩාර්ක් චොකලට් විත් චොකලට් චිප්ස්

මේ අයිස්ක්‍රීම් එක හොයාගන්න නම් ආපිකෝ සුපර් එකකට යන්න ඕන. හැබැයි අපි මේ අයිස්ක්‍රීම් එක නිර්දේශ කරන්නේ ඩාර්ක් චොකලට් රහට කැමති අයට විතරයි. මොකද ඩාර්ක් චොක්ලට් රස බර වැඩියි කියලා දැනෙන අය මේකට කැමති වෙයි කියලා හිතන්න බැරි නිසා. හැබැයි මේ ඩාර්ක් චොක්ලට් චිප්ස් මුසු වුණු, ක්‍රීම් ගතියෙන් අනූන ඩාර්ක් චොකලට් අයිස්ක්‍රීම් එක එක පාරක් හරි කාලා බලන්නම වටිනවා. විශේෂයෙන්ම ඩාර්ක් චොක්ලට් රසට කැමති අයට නම් මේක දිව්‍යලෝක රහයි කියලා දැනේවි. මේක Arpico අයිස්ක්‍රීම් රේන්ජ් එකේ තමයි එන්නේ.

 

4. චොක්ලට් සන්ඩි/ස්ට්‍රෝබෙරි සන්ඩි

මේ ලිස්ට් එකේ තියෙන ඔක්කොම අයිස්ක්‍රීම් ප්‍රිමියම් රේන්ජ් වල ඒවා වුනාට, ඇත්තටම මේ අයිස්ක්‍රීම් දෙවර්ගය නම් ප්‍රීමියම් රේන්ජ් එකේම කියන්න බෑ. නෝමල් රේන්ජ් එකේ කියන්නත් බෑ. මේ චොක්ලට් සන්ඩි සහ ස්ට්‍රෝබෙරි සන්ඩි අයිස්ක්‍රීම් දෙකම ඒ වර්ගෙන් එන එකම අයිස්ක්‍රීම් කිවුවොත් හරි. මොකද ඒ විදියේ ටබ් එකක එන වෙනත් අයිස්ක්‍රීම් නැහැ. මේකේ විශේෂත්වය තමයි, වැනිලා අයිස්ක්‍රීම් වලට දාපු චොක්ලට් සෝස් එකක් නැතිනම් ස්ට්‍රෝබෙරි සෝස් එකක් එක්ක මුසුවුණු අපූරු රසක් ගෙන දේම. ඒක තනිකර චොක්ලට් හෝ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් කනවට වඩා වෙනස් අත්දැකීමක්. මේක Cargills Magic අයිස්ක්‍රීම් රේන්ජ් එකේ තමයි එන්නේ.

 

5. කුකී ක්‍රීම්

කුකීස් කියන්නේ ලෝකේ පුරාම චොක්ලට් වලටත්, අයිස්ක්‍රීම් වලටත් යොදාගන්නා ප්‍රීමීයම් රසයක්. මේකේ ඇත්තටම ලබාගන්න පුළුවන් වෙන්නේ ඕරියෝ කුකීස් වල එන රසය එන අයිස්ක්‍රීම් සහ කුකීස් කෑලි හැපෙන ගතියත් එක්ක එන අත්දැකීමක්. මේකේ අයිස්ක්‍රීම් බේස් එක වැනිලා. ඒත් කුකී රසත් එක්ක වැනිලා අයිස්ක්‍රීම් වලට අකමැති කෙනෙක් වුනත් මේ කුකී ක්‍රීම් එකට අකමැති වෙන එකක් නෑ. මේක Elephant House අයිස්ක්‍රීම් රේන්ජ් එකේ තමයි එන්නේ.

 

6. රිචී රිච්

චොකලට්, කජු සහ තවත් අමුතු අමුතු හැපෙන දේවල් එක්ක වැනිලා අයිස්ක්‍රීම් මිශ්‍ර වෙලා ආපු රිචී රිච් අයිස්ක්‍රීම් කියන්නෙත් අපිට අමතක කරන්න බැරි රසයක්. මේ අයිස්ක්‍රීම් එකත් ඇත්තටම වැනිලා බේස් එකකින් ආවත්, එක පාරටම අපිට හිතාගන්නවත් බැහැ මේකේ වැනිලා රසක් තියෙනවද කියලා. විශේෂයෙන්ම අර චොක්ලට් සහ කජු මිශ්‍රණය ලෝබ නැතුව දාලා තියෙන නිසාම අපිට වැනිලා රහ පසුබිමින් තමයි දැනෙන්නේ! මේක Cargills Magic අයිස්ක්‍රීම් රේන්ජ් එකේ තමයි එන්නේ.

 

7. වෙරි බෙරි

මේකත් එක්කෝ කෙනෙක් ආස කරන, නැතිනම් පෙන්නන්න බැරි අයිස්ක්‍රීම් එකක් වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා. හැම දෙනෙක්ම බෙරි රසට ආස නෑ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ස්ට්‍රෝබෙරි රසට ආස ක​ළත්, බ්ලූබෙරි හරි රාප්ස්බෙරි හරි රසට ආස කරන අය අඩුයි. ඉතින් ඒ නිසා නියම බ්ලූබෙරි කලර් එකකින් එන, ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාප්ස්බෙරි සහ මුද්දරස්පලම් එකතු කරපු මේ වෙරි බෙරි ප්‍රිමියම් අයිස්ක්‍රීම් එකටත් ආස කරන අය පිස්සුවෙන් ආස කරයි. අකමැති අය රස බලන්නවත් උත්සාහ කරන එකක් නෑ. මේක Elephant House අයිස්ක්‍රීම් රේන්ජ් එකේ තමයි එන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *