උපරිම කාර්යක්ෂමතාවක් සඳහා තමන් වැඩ කරන මේසේ උඩ තියෙන්න ඕන දේවල් මේවා තමයි!

ඔය කාර්‍යක්ෂමතාවය කියන එක අපි නිතර දෙවේලේ අහන වචනයක්නේ. හැබැයි කොච්චර ඇහුණත් අපිට ඔය කාර්යක්ෂමතාවයෙන් වැඩ කිරීම කියන එක ඒ තරම් ඔලුවට යන දෙයක් නෙවෙයි. හැබැයි තමන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන වැඩ කරන්න හිතනවා නම්, කාර්‍යක්ෂමතාවය කියන එක ගැන හිතලා බලන්න කාලෙ හරි. අපි කියමු මේසෙකට වාඩි වෙලා කම්පියුටර් එකෙන් එදිනෙදා රාජකාරි කරන මනුස්සයෙක් කියලා. එහෙම නම් මේසේ උඩ තියෙන දේවල් වලිනුත් කාර්‍යක්ෂමතාවය අඩු වැඩි වෙනවාය කියන එක තේරුම් ගන්න වෙනවා. ආන්න ඒ නිසා අපි මේ කියන්න හදන්නේ උපරිම කාර්‍යක්ෂමතාවයෙන් වැඩ කරන්න නම් මේසේ උඩ තිබිය යුතු දේවල් ගැන.

 

1. කම්පියුටර් එක

සාමාන්‍යයෙන් දැන් කාලේ මේ කම්පියුටර් එක ලැප්ටොප් එකක්නේ. හැබැයි පරණ තාලෙට ඩෙක්ස්ටොප් තියෙන්නත් පුළුවන්. ඒ මොකක් තිබුණත්, කම්පියුටර් එක ටිප් ටොප් එකට තියෙන්න ඕන. කම්පියුටර් එක ස්ලෝ නම් වහාම ඒකේ තියෙන අනවශ්‍ය ගොනු අයින් කරලා, හාඩ් ඩිස්ක් එකට හොඳ ක්ලීන් අප් එකක් දීලා, තමන්ගේ වැඩ කටයුතු ෆාස්ට් කරන්න පුළුවන් ලෙවල් එකට හදාගන්න ඕන. ඒ වගේම ලැප්ටොප් එකක ටයිප් වැඩ අමාරු නම් අමතර කී බෝඩ් එකක්, ට්‍රැක් පෑඩ් එක අමාරු නම් මවුස් එකක් එහෙමත් ගන්න ඕන. මේ ඔක්කොම ගහන්න යූඑස්බී හබ් එකක් එහෙමත් තිබුණට කාරි නෑ.

 

2. ස්මාට්ෆෝන් හෝල්ඩර් එක සහ බ්ලූටූත් හෙඩ්සෙට් එක

අපි කලිනුත් කියලා තියෙන විදියට, වැඩ කටයුතු ඉතාම පහසු කරගන්න මාර්ගයක් තමයි ස්මාට්ෆෝන් හෝල්ඩර් එකකුයි බ්ලූටූත් හෙඩ්සෙට් එකකුයි පාවිච්චි කරන එක. ස්මාට්ෆෝන් හෝල්ඩර් එක මේසේ උඩ තියලා, බ්ලූටූත් හෙඩ්සෙට් එක කනෙක්ට් කරලා ඒක පැළඳගන්නයි තියෙන්නේ. දැන් එන කෝල් මොන​වද කියලා ෆෝන් එක අල්ලන්නෙ නැතුවම බලාගෙන, බ්ලූටූත් හෙඩ්සෙට් එකෙන් කථා කරන්න පුළුවන්. 

ඒ වගේම තමයි ස්මාට්ෆෝන් එකේ තියෙන අර සිරී, ගූග්ල් ඇසිස්ටන්ට් වගේ ඩිජිටල් සහායකයන්ව පාවිච්චි කරන්නත් පටන් ගත්තොත් ස්මාට්ෆෝන් එක අතට නොගෙනම සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් කරගන්න හැකියි.

 

3. අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය

මෙතනට අයිති වෙනවා පෑන්, පෑන්සල්, හයිලයිටර්, ටිපෙක්ස්, හාෆ්ෂීට්, රෆ්ෂීට්, නෝට්පොත්, ස්ටිකි නෝට්ස්, පෑඩ්ස් ඇතුළු මෙකී නොකී ද්‍රව්‍ය. නිකමට හිතලා බලන්න, අපි ඔය ලිපිද්‍රව්‍ය ගන්න පොත් කඩේකට එහෙම ගියහම අර අපි ඇතුළේ ඉන්න පොඩි එකා මෝඩ් එක ඔන් වෙන්නෙ නැද්ද කියලා. අර තියෙන ඔක්කොම ජාති ගන්න ආසාවක් එනවා. ආන්න ඒකම සිද්ධ වෙනවා වැඩ කරන මේසෙදිත්. අපිට ඕන වුනත්, එපා වුනත් පෑන් කීපයක්, හයිලයිටර් සහ උඩින් කියපු අනික් හැම ලිපිද්‍රව්‍යයක්ම අපි මේසේ උඩ පුරවා ගන්නවා. ආන්න එතනින් ගැලවෙන්න ඕන. විවිධ පාටින් දේවල් ලියන්න ඕන වෙන්නෙ නැති කෙනෙක්ට තනි පාට පෑන් දෙකක් මේසේ උඩ තිබුණහම ඇති. අනික් කියපු දේවලුත් එහෙමයි. එදිනෙදා භාවිතා වෙනවා නම් විතරයි යම් ලිපිද්‍රව්‍යයක් මේසේ උඩ තියෙන්න ඕන. 

 

4. මනා ආලෝකය

ඔව්, මේකත් මේසේ උඩට අවශ්‍ය දෙයක් තමයි. මනා ආලෝකය. ඇත්තටම සාමාන්‍යයෙන් ඔෆිස් වල ඔය ගැන හිතලා, හැම මේසයක්ම මැනවින් ආලෝකමත් වෙන විදියට තමයි ආලෝක පද්ධතීන් පිහිටුවලා තියෙන්නේ. හැබැයි ගෙදර වැඩ කරන මේසේ උඩ එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි වැඩ කරන මේසය මැනවින් ආලෝකමත් වෙලා නැතිනම්, ඒක කාර්‍යක්ෂමතාවයට බාධාවක් වෙනවා. ඒ වගේම තමයි කෙලින්ම මූණ ඉස්සරහට එල්ල වෙලා තියෙන ආලෝකයකින් වුනත් කාර්‍යක්ෂමතාවයට බාධාවක් මිසක් සහායක් වෙන්නෙ නෑ. ඒ නිසා ආලෝක ප්‍රභවයක ඉඳන් ප්‍රශස්ත දුරකින් තමන්ගේ වැඩ මේසය තියාගන්න එකත්, අවශ්‍ය නම් මේසේ උඩ ටේබල් ලෑම්ප් එකක් තියාගන්න එකත් කරන්න පුළුවන්!

 

5. ලියුං කියුං

මෙන්න මේක ඉතාම වැදගත් කාරණාවක්. ඒ තමයි මේසේ උඩ තිබිය යුතු ලියුම් සහ නොතිබිය යුතු ලියුම් වෙන් කරගන්න එක. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපිට එන ලියුම් හැම එකක්ම, ටෙලිෆෝන් බිල් පවා මේසේ උඩ තමයි තියෙන්නේ. මොකද අපි හිතනවා පස්සේ කියවලා ඕන නැති එව්වා විසික් කරනවා කියලා. හැබැයි ඉතින් ඇත්තටම අපි කවදද ටෙලිෆෝන් බිලක් කඩලා බැලුවේ? ඉතින් මාස කීපයක් යනකොට වැඩ මේසේ කුණු ගොඩක් වගේ වෙලා. ආන්න ඒ නිසා මේසේ උඩ තියාගන්න ඕන වැඩට අත්‍යාවශ්‍ය වෙන ලියුම් කියුම් විතරයි. උදාහරණයක් විදියට ගත්තොත් යම් කිසි ලියුමකට ප්‍රතිචාරයක් යවන්න ඕන කියමු. අන්න ඒ නිසා ඒ ලියුම මේසේ උඩ තියෙනවා. හැබැයි ඒකට ප්‍රතිචාරය යවලා අහවර කළාට පස්සේ වහාම ඒ ලියුම විසික් කරන්න ඕන. ඒක ලඟ තිබිය යුතු එකක් නම් වෙනම ගොනු කරලා පැත්තකින් තියන්න ඕන. මේසේ උඩ තියෙන්න බෑ.

ඒ වගේම ඔය අත්‍යාවශ්‍ය ලියුං කියුං දාන්න මේසේ උඩ ඩොකියුමන්ට් ට්‍රේ එකකුත් තියාගන්න ඕන.

 

6. නෝට් පොත්

ඇත්තටම අපේ අතේ නෝට් පොත් දෙකක්වත් තියෙනවා නම් අපේ කාර්‍යක්ෂමතාවය ඉහළ යනවා. එක නෝට් පොතක් දවසේ, සතියේ කරන්න අවශ්‍ය වැඩ ලැයිස්තු ගත කරගන්න. හැබැයි අපි ඒකට ඔය ඩිජිටල් ක්‍රමයක් පාවිච්චි කරනවා නම් ඒ නෝට්බුක් එක අවශ්‍ය නෑ. හැබැයි අනෙක් එදිනෙදා අවශ්‍ය හැමදෙයක්ම ලියාගන්න හෝ නෝට්පොතක් තියෙන්න ඕන. මීටින් එකකට ගියත්, ක්ලයන්ට් කෙනෙක් මුණගැහෙන්න ගියත් ඔය නෝට්පොත අතේ තියෙන්න ඕන. වැඩ මේසෙට ආවහම අනිවාර්‍යයෙන්ම ඔය නෝට් පොත මේසේ උඩ තියෙන්න ඕන.

 

7. වතුර බෝතලයක්

මේක ගොඩක් දෙනෙක් නොහිතන, සමහරු හිතන, අනිවාර්‍ය කාරණයක්. අපිට නිතර වතුර බොන්න ඕන වෙනවනේ. සාමාන්‍යයෙන් වැඩුණු මනුස්සයෙක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න නම් දවසකට වතුර ලීටර් දෙකක්වත් බොන්න ඕන. ඊට වැඩි වුණත් කමක් නෑ. හැබැයි වතුර බොන්න ඕන වෙලාවට නැගිටලා වතුර ෆිල්ටරේ ගාවට යන එකෙන් කාර්‍යක්ෂමතාවය බිඳ වැටෙනවා. අන්න ඒ නිසා වතුර බෝතලයක් සහ වුවමනා නම් වීදුරුවක් හෝ කෝප්පයක් මේසේ උඩ තිබීම හොඳයි. වීදුරු වතුර බෝතලයක් නම් තවත් හොඳයි.

 

මේ ඇරෙන්න තව එක දෙයක් මතක තියාගන්න. වැඩ කරන මේසේ උඩ තව මොනවා හරි තියෙනවා නම්, ඒ තියෙන්න ඕන එදිනෙදා පාවිච්චි වෙන දෙයක් විතරයි. යම් කිසි වැඩ මේසේ උඩ තියෙන දෙයක් දිනපතාම භාවිතා වෙන්නෙ නැතිනම්, ඒ කියන්නේ ඒක වැඩ කරන මේසේ උඩ නෙවෙයි තියෙන්න ඕන. ඒක වෙන කොහේ හරි ලේසි තැනකින් තියාගන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *