සෝයා මීට් වලින් රසවත්ම කෑම වර්ග 5ක් හදන්න රෙසිපි මෙන්න!

නිර්මාං​ශ බොහෝ දෙනෙක්ගෙ ප්‍රියතම කෑමක් තමයි සෝයාමීට්. ඒත් එකම විදියට උයල කනව මිසක් සෝයාමීට් වෙනස් විදියට කෑමට එකතු කරගන්න හුඟ දෙනෙක් හිතන්නෙ නෑ. ඉතින් සෝයාමීට් රසිකයන්ට වෙනස්ම රස වලට සෝයාමීට් හදාගන්න රෙසිපි ටිකක් අපි ගෙනාව.

 

1. සෝයාමීට් කට්ලට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සෝයාමීට් පැකට් එකක්
  2. තම්බා ගත් අල ගෙඩි 3
  3. චොප් කරගත් ළූණු ගෙඩි 2
  4. තලාගත් සුදු ළූණු බික් 2
  5. අමු තුනපහ තේ හැඳි 1/2
  6. චොප් කරගත් අමුමිරිස් කරල් තුන හතරක්
  7. රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
  8. කැමති සැර අනුව කෑලි මිරිස්
  9. බැටර් එක සඳහා පාන් පිටි සහ කහ ස්වල්පයක්
  10. පාන් කුඩු

 

  • සෝයාමීට් ලුණු දමාගත් උණුවතුරේ දමා විනාඩි 15ක් පමන පෙඟෙන්න තියාගන්න. හොඳින් පෙඟුන සෝයාමීට් ටික වතුර ඉවත් වෙන තුරු තදින් මිරිකා ගන්න.
  • වතුර මිරිකාගත් පසු ග්‍රයින්ඩරයක දමා හොඳින් අඹරාගන්න. අඹරාගත් සෝයාමීට් වලට රස අනුව ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් සහ අමු පහේ එක් කර හොඳින් අනාගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න ඇර එයට සුදු ළූණු, ළූණු සහ අමුමිරිස් එක් කර තෙම්පරාදු කරගන්න. ළූණු මැලවීගෙන එන විට එයට සෝයාමීට් ටික එක් කර හොඳින් කලවම් කරගෙන එයට පොඩි කරගත් අල ටික එක් කරගන්න. නිවෙන්නට හැර බෝල සාදාගන්න.
  • පාන්පිටි, ලුණු සහ කහ ස්වල්පයකට වතුර එක් කර දියාරු නොවන තරමක් උකු බැටරයක් සාදා කට්ලට් බෝල බැටරයේ තවරා පාන් කුඩු වල දවටා ගැඹුරු තෙලේ රන් වන් පාට වන තුරු බැදගන්න.

 

2. සෝයාමීට් බිස්ටේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සෝයාමීට් පැකට් එකක්
  2. රවුම් කපාගත් ළූණු ගෙඩි 3
  3. කපාගත් මාළු මිරිස් කරල් 2
  4. රස අනුව ගම්මිරිස් කුඩු සහ ලුණු
  5. විනාකිරි මේස හැන්දක්
  6. ගොරකා කෑලි 2
  7. කහ ටිකක්
  8. සීනි තේ හැඳි 1/2
  9. කුරුඳු පොතු කෑල්ලක්
  10. කරදමුංගු ඇට 3
  11. කරාබු නැටි 5
  12. රම්පෙ, කරපිංචා
  13. තලාගත් ඉඟුරු, සුදු ළූණු තේ හැන්දක්

 

  • කහ, ගොරකා සහ ලුණු ස්වල්පයක් එක් කරගත් වතුරේ සෝයාමීට් තම්බාගන්න. තම්බාගත් සෝයාමීට් වල වතුර හොඳින් මිරිකා ගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න හැර එයට කරදමුංගු, කරාබුනැටි, කුරුඳු, ඉඟුරු, සුදු ළූණු, රම්පෙ සහ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. කරපිංචා බැදී සුවඳ එන විට එයට ළූණු ටික එක් කර ඒ සමඟම විනාකිරි, සීනි, ගම්මිරිස්, ලුණු සහ කහ ටිකක් එක් කරගන්න.
  • එයට මාළු මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන වතුර මිරිකාගත් සෝයාමීට් එක් කරගන්න. ලිපේ ගින්දර අඩු කර විනාඩි 3ක් පමණ පියනකින් වසා පිසගන්න.

 

3. සෝයාමීට් බර්ගර්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සෝයාමීට් කප් 2
  2. පාන් පිටි කප් 1/2
  3. තම්බාගත් අල පොඩි ගෙඩියක්
  4. ගාගත් මොසරැල්ල චීස් කප් 1/2
  5. සෝයා සෝස් මේස හැන්දක්
  6. තක්කලි සෝස් මේස හැන්දක්
  7. ගම්මිරිස් කුඩු රස අනුව
  8. ලුණු රස අනුව
  9. මීපැණි මේස හැන්දක්

 

  • සෝයාමීට් ටික ලුණු මිශ්‍ර කරගත් උණු වතුරේ පෙඟෙන්න හැර හොඳින් වතුර මිරිකා ග්‍රයින්ඩරයක දමා හොඳින් අඹරාගන්න. අඹරාගත් සෝයාමීට් වලට අනෙක් ද්‍රව්‍ය සියල්ලම එක් කර හොඳින් අනාගන්න.
  • කොටසක් ගෙන බෝලයක් සාදා එය පැතලි කර ලන්ච් ශීට් එකක හෝ ක්ලින්ග් රැප් එකක ඔතා අධි ශීතකරණයේ පැයක් තබාගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් එක් කර සාමාන්‍ය ගින්දරේ දෙපැත්ත පුළුස්සාගෙන බර්ගර් සාදාගන්න.

 

4. සෝයාමීට් ඇඹුල් තියල්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සෝයාමීට් පැකට් එකක්
  2. ගොරකා කැබලි 4
  3. ගම්මිරිස් කුඩු මේස හැඳි 2
  4. අඹරාගත් ඉඟුරු, සුදු ළූණු මේස හැන්දක්
  5. රම්පෙ, කරපිංචා
  6. කරදමුංගු 3
  7. කරාබුනැටි 3
  8. මිරිස්කුඩු තේ හැඳි 1/2
  9. රස අනුව ලුණු

 

  • ගොරකා පෙඟෙන්න තබා හොඳින් අඹරාගන්න. සෝයාමීට් හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ලම වෙනම අඹරාගෙන එය ගොරකා පේස්ට් එකට එකතු කරගන්න.
  • සෝයාමීට් ටික තම්බාගෙන හොඳින් වතුර මිරිකාගන්න. සාදාගත් ඇඹුල් තියල් පේස්ට් එක සෝයාමීට් වලට මිශ්‍ර කරගන්න. මැටි භාජනයක් ගෙන අඩියට කෙසෙල් කොළ කෑල්ලක් අතුරා ගෙන එයට උඩින් සෝයා මිශ්‍රණය දමාගන්න.
  • සෝයා මිශ්‍ර කරගත් භාජනයට වතුර කප් බාගයක් පමණ එක් කර එහි තැවරී ඇති ඇඹුල් තියල් මිශ්‍රණය සෝදා එයද මැටි බඳුනට එක් කර පියනකින් වසා හිඳෙන තුරු මදගින්නේ පිසගන්න.

 

5. සෝයාමීට් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සෝයාමීට් පැකට් එකක්
  2. කපාගත් ලීක්ස් කඳ කොටසක්
  3. කපාගත් තක්කාලි ගෙඩි 2
  4. කපාගත් මාළුමිරිස් කරල් 2
  5. ලොකුවට කපාගත් ළූණු ගෙඩි 2
  6. කෑලි මිරිස් මේස හැන්දක්
  7. ගම්මිරිස් තේ හැන්දක්
  8. සෝයා සෝස් මේස හැඳි 2
  9. තක්කලි සෝස් මේස හැඳි 2
  10. කෝන්ෆ්ලා තේ හැඳි 1/2
  11. තලාගත් ඉඟුරු, සුදු ළූණු මේස තේ හැඳි 2
  12. තලාගත් කරදමුංගු සහ කරාබු නැටි 2 බැගින්

 

  • සෝයාමීට් ටික ලුණු මිශ්‍ර කරගත් උණු වතුරේ පෙඟෙන්න හැර හොඳින් වතුර මිරිකාගන්න. වතුර ඉවත් කරගත් සෝයාමීට් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වී ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.
  • වෙනම භාජනයක තෙල් ස්වල්පයක් දමා ඒකට තලාගත් කරදමුංගු, කරාබුනැටි, ඉඟුරු, සුදු ළූණු එක් කර එයට ගම්මිරිස් සහ කෑලි මිරිස් එක් කර මිශ්‍ර කරගන්න. එයටම සෝස් වර්ග දෙක එක් කරගන්න. කෝන්ෆ්ලා ටික වතුර කප් 1/4ක දිය කරගෙන මෙයට එක් කරගන්න.
  • මිශ්‍රණය තරමක් උකු වන විටම එයට සෝයාමීට් ටික එක් කර මිශ්‍ර කරගෙන ඒ සමඟම ළූණු, ලීක්ස්, මාළුමිරිස් සහ තක්කාලි එක් කර කලවම් කරගන්න.
  • රස බලා ලුණු අවශ්‍ය නම් එක් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *