අනියම් සම්බන්ධතාවයක් අතේ මාට්ටු උනාට පස්සේ…

“වැටකොටු බැ​ඳ මලක සුව​ඳ වටකරගත නොහේ. ආදරයේ නොනිම් සුව​ඳ අනන්තයට ඇදේ” කියලා නන්දා මාලනී මහත්මියගේ ගීතයක තියෙනවා. විවාහ වුනා කියලා ආදරයේ කෙළවරක් ඇති වෙන්නේ නැහැ. ගොඩක් අයට විවාහ ජීවිතයේ ලැබෙන ආදරය ටික දවසකින් උදාසී​න වෙනවා, ඇති වෙනවා. ඉන් පස්සේ වෙන වෙන ආදර කතා වල හෙමිහිට පැටලෙනවා. මුල් කාලෙදි වයිබර්, වට්සැප්, මැසේජ් වලින් ආදරේ ගා​ණට ලයින් වෙනවා. ඒත් කල් යද්දි ඉතින් හම්බ ​වෙලා කතාකරන මට්ටමට ආවාම පෙ​ළක් වෙලාවට ඒ අතුරු ලව් එක මාට්ටු වෙනවා. එහෙම වුනාම ඉතින් වලි ගොඩායි. මේ වලි ඉතින් ගෙදර බත බෙරිවෙලා, යතුර නැතිවෙලා වගේ සොඳුරු වලි නම් නෙමෙයි. බොහොම දරුණුවට ඇතිවෙන, පවුලක ඇතිවිය හැකි ප්‍රබලම විදියේ වලි. 

 

1. ආදරේ කොහොම​ද මාට්ටු වෙන්නේ? 

අනියම් කියන්නේ නියම එකට පිටින් තියෙන දෙයක් නේ. සෑම අනියම් එකක්ම පරෙස්සමෙන් කරන්න තමයි බොහෝ අය පටන් ගන්නේ. ඒත් ඉතින් ලෝකයා අපිට වැඩිය අපි ගැන අවධානයෙන් ඉන්නවා. අපේ හො​ඳම යාලුවා, එහෙම නැතිනම් හස්බන්ඩ්​ගේ වයිෆ්ගේ හො​ඳම යාලුවා අපි ගැන එයාලටත් වැඩිය අවධානයෙන් ඉන්නවා. ෆෝන් එක ඇතුලේ යන ආදරය මහපො​ළවට සැපත් වෙද්දි කාර් එකක බයික් එකක කොහෙ හරි යන්න සෙට් වෙනවා. නැතිනම් කවුරුවත් නැති වෙලාවක ඔන්න ඔහෙ ගෙදරම කමක් නැහැ කියලත් එකතු වෙනවා. ඔය මොන ක්‍රමයට කරත් හැමදාම ලෝකයෙන් ස​ඟවන්න අමාරුයි. ඉතින් මාට්ටු වෙනවා. 

 

2. රණ්ඩු දබර, කෝලාහල

කලිනුත් කිව්වා වගේ මේ වගේ අනියම් කේස් එක මාට්ටු වෙන වෙලාව කියන්නේ සුන්දර වලියක් නම් නෙමෙයි. ඔන්න ගෑණු අය නම් පිරිමියාගේ එකක් මාට්ටු වුනාම බැනලා බැනලා අහක් වෙලා දමලා යන්න පවා හදනවා. පිරිමි අයනම් ඉතින් දරුණුවටම ප්‍රචණ්​ඩ වෙලා පහරදෙන්න පවා යනවා. පහර දීම කියන්නේ හො​ඳ දෙයක් නෙමෙයි. ඒත් අපි කිව්වත් නොකිව්වත් සමහර අයට ඒ ආවේගය දරාගන්න අමාරුයි. ඉතින් තත්ත්වේ ගොඩක්ම දරුණු වෙයි කියාල හිතෙනවා නම් ඇතැම් අය ආරක්ෂක පියවර විදියට ටික දවසක් ඈත් වෙලා ඉන්නවා. අම්මලාගේ ගෙදර යනවා. නැතිනම් බිසී කියලා වැඩ ගොඩක් දාගෙන මූණ දෙන්නේ නැතුව ඉන්නවා. 

 

3. අපල නේ දරුවාට 

දෙමාපියන්ට දරුවන් මොන මට්ටමේදිත් පොඩියි. දරුවන්ගේ මොකක් හරි අනියම් හුටපටයක් කියන්නේ සමහර විට ඒ අදා​ළ අයටත් වඩා දෙමාපියන්ට අවමානයක්. ඉතින් එයාල ඒකට කේන්දර ආදිය බලනවා. කේන්දර වල සිකුරා මොනාහරි වැඩියෙන් වැඩකරලා හෝ සෙනසුරු වැඩියෙන් කැරකිලා කියල ඒ කේන්දර බලන අය කියනවා. ඇත්තටම එතකොට මේ ලංකාවේ සිද්ද වෙන කොටු පැනීමකට අහක ඉන්න සිකුරා, සෙනසුරාලා, බ්‍රහස්පති ලා බැනුම් අහනවා කියලාත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඉතින් ග්‍රහ බලපෑම් විශ්වාස කරන අයට අනුව නම් ඒ ග්‍රහයා මාරු වෙච්ච නිසා තමයි තමුන්ගේ පුතාට ​හෝ දුවට කොටුව මාරුවෙන්න හිතිලා තියෙන්නේ. 

 

4. අරූ තමයි දැපනේ දාගත්තේ 

තනි අතකින් අත්පුඩි ගහන්නට බැහැ. ඒත් ඉතින් මොකක් හරි වැඩක් අතට අහුවුනාට පස්සේ .“අනේ අක්කේ මට මොනා වුනාද කියලා හිතාගන්න බැහැ.“ කියලා ​ෂේප් වෙනවා. ඒ වෙලාවට අනික් පාර්​ශවේ ඉන්න අයට තමයි ගොඩක් බර යන්නේ. පිටින් ඇවිත් සෙට් වෙලා ඔක්කෝම ක​ළේ පිටින් ආපු කෙනාය කියලා ඒ මනුස්සයාට ඔක්කෝම බනිනවා. ගෙදර සැමියාට ඒ සෙට් වෙලා තියෙන්නේ ගෑණියෙක් නම් වෛශ්‍යාව, වටේ යන එකී ආදී වශයෙන් ගෙදර උදවිය ඒ කාන්තාව​ට බනිනවා. 

 

5. යක්ස බැල්ම 

මේ කාලේ ටිකක් යක්කු අඩුයි. ඒත් දුප්පත් මිනිස්සු අතර තාමත් යක්ෂ, පෙරේත විශ්වාස තියෙනවා. ගමක නම් ඔහොම දෙයක් ආරංචි වුනාම ඒ ගෙවල්ව​ල කට්ටිය කේන්දර බැලීමට අමතරව දේවාල, යක්ෂ පොට් ආදියට ගිහින් මොකද්ද වෙලා තියෙන්නේ කියලා හේතු හොයනවා. ඔන්න ඉන් පස්සේ යක්​ෂයෙක් පෙරේතයෙක් කුම්භාන්ඩයෙක් ආවේස වෙලා තමයි මේ නොමනා ක්‍රියාව සිදු වෙලා තියෙන්නේ කියලා එයාල හොයාගන්නවා. මේ යක්කු නිකම්ම අවේස වුනාට යකැදුරෝ යක්කු එලවන වැඩ නම් ලේසියෙන් කරන්​නෙ නැහැ. ඒවාට වැඩි මිල දීලා යක්කු ටික එලවන වැඩේටත් සමහර අය පෙළඹෙනවා. අවසානේ තමුන්ගේ කකුල් දෙකෙන්ම පිට ගිය මිනිහා හෝ ගැහැණිය යකා නිසා පිට ගියා කියලා යකාව එලවගන්න හදනවා. 

 

6. රට අරිනවා සහ වහං වෙනවා 

බැ​ඳපු නැති කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි බැ​ඳපු යුනිට් එකක් එක්ක අනියම් සම්බන්ධයක් තිබුනා කියලා හිතමු. ඉතින් ඒ කෙල්ලගේ හරි කොල්ලගේ හරි ගෙදරට දැන් ඕක ටිකක් වහන්නයි උවමනා වෙන්නේ. ඒ වගේ වෙලාවක  ඒ අනියම් ලවු එ​ක කොච්චර දැඩි වුනත් බැ​ඳපු එකෙක්ට ඒ කසාදේ තියෙද්දිම අපේ කොල්ලා, කෙල්ල දෙන්න පුළුවන්ද කියලා තමයි දෙමාපියෝ අහන්නේ. ඉන් පස්සේ එක්කෝ දුර පළාතක මොනාහරි නෑයෙක්ගේ ගෙදරට පිටත් කරනවා. නැත්නම් අමාරුවෙන් සල්ලි වියදම් කරලා රට යවනවා. කාලයක් ගිහින් ඈත් වෙලා හිටියත් සමහර අනියම් ඒවා නම් ​ආයෙම දළු දානවා. ඒත් බොහෝවිට ඈත් වුනාට පස්සේ ඈත්වුන පැත්තට හරියන විදියට එයාල හැඩගැහෙනවා.

 

7. ඇත්තටම මාට්ටු වුනොත් මොකද? 

විවාහ ජීවිතයක් හරියට ගෙනියන හැටි ගැන ඕනා තරම් පොත පත, සාකච්ඡා වැඩසටහන් තියෙනවා. ඒත් විවාහ ජීවිතයක් කියන්නේ පොතේ හැටියට කරන තාක්ෂණික දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ  කිසා ගෝතමීට කිව්වා නොම​ළ ගේකින් අබ ගේන්න කියලා. ඒත් කිසා ගෝතමීට අබ හොයාගන්න හැකි වුනත් නොම​ළ ගෙයක් හොයාගන්න බැරි වුනා. ලස්සනට දීර්ඝ කාලයක් තියෙන පවුල් සමාගම් වල වුනත් අපි නොදන්නවා වුනාට කොහෙන් හරි අනියම් සම්බන්ධතා තියෙන්නට ඇති. නැතිනම් දෙන්නගෙන් එක්කෙ​නෙකුට හෝ එහෙ​ම එකක් ගැන සිතක් හරි පහ​ළවෙලා තියෙන්න ඇති. අනියම් සබ​ඳතාවයන් ෆෝම් වෙද්දි කලක් එකට හිටිය දෙන්නෙක්ට නම් අනෙක් කෙනාගේ වෙනස ටිකක් තේරෙන්න ගන්නවා. ඒ කාලෙට තව ටිකක් දෙදෙනා අතර බැඳීම වැඩිවෙන විදිහට ආදරේ අලුත් කරගන්න පුළුවන් නම්, ආදරේ වැඩිකරගන්න පුළුවන් නම් ආන්න එතකොට අර පිටින් ආපු බැල්ම ටිකක් ඈත් වෙලා යාවි. 

 

8. මීඩියා පවුල් ජිවිත 

මාධ්‍යවලට පවුල් ජීවිත ගැන මෙ​ළෝ අත්දැකීමක් නැති පූජකයින් ඇවිල්ලා දේශනා තියනවා. ඒ වගේම පවුල් අවුල් කරගත්ත මහාචාර්යවරු ස​හ ලොකු තානාන්තරව​ල අයත් ඇවිල්ලා හො​ඳ බබාල වගේ දේශනා තියනවා. ඒත් පවුල් ජීවිත ඒගොල්ල කියන හැටියට ගෙනියන්න කාටවත් බැහැ. හැම පවුලකම පොඩි පොඩි රණ්ඩු දබර වගේම අනියම් කේස් වගේ ලොකු ඒවත් එන්න ඉඩක් තියෙනවා. ඉතින් කිසිදු වරදක් නොකරන ඉතාම සුදු මිනිහෙක් වෙනවාට වඩා තත්ත්වය තේරුම් අරන් ඒකට විසඳුම් ප්‍රායෝගිකව ලබාගන්න පුළුවන් සැබෑ කෙනෙක් වීම හැම අතින්ම සාර්ථක පවුල් ජීවිත වලට වැදගත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *