ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් නිලය ගැන දැනගමු

අපි  පහුගිය දවසක ෆීල්ඩ් මාර්ෂල් ධූරය ගැන ආටිකල් එකක්  ඔබට ගෙනාවා. අපි අද කතා කරන්නේ Admiral of the fleet කියන තනතුර ගැන. සරලවම කියනවනම් මේ තනතුර නාවු​ක හමුදාවක ෆීල්ඩ් මාර්ෂල් තනතුරට හා සමානයි. ඒ කිව්වේ තරු පහක තනතුරක්. ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සාපේක්ෂව admiral of the fleet කියන තනතුර පිරිනමලා තියෙන අවස්ථා අඩුයි. බොහෝ අවස්ථාවල රාජ්‍ය නායකයන් සහ රාජකීයයන් වෙනුවෙන් තමයි මේ ගරු තනතුර වෙන් වෙලා තියෙන්නෙ. අපි මේ වගේ Admiral of the fleet තනතුර දරන කීපදෙනෙක් ගැන හොයලා බලමු.

 

1. අර්නස්ට් ජේ කින්ග්

ජපානය විසින් පර්ල් වරායට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා ඇමරිකානු නාවික හමුදාවේ නැවු ප්‍රමාණයෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමෙන් පසුව අර්නස්ට් ජේ කින්ග් ඇමෙරිකානු නාවික බලඝනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබුවා. ​ජ්‍යෂ්ඨ නාවික හමුදා නිලධාරීන්ගේ සහයෝගය ලබාගෙන කින්ග් දෙවැනි ලෝක යුද්ධය පුරාම ඇමෙරිකානු නාවික හමුදාව ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා. නමුත් ඇතැම් යුද විශේෂඥයන් නම් ඔහුගේ ඇතැම් තීරණ පිළිබඳව එකඟ වන්නේ නැහැ. ඔහුගේ හිතුවක්කාර තීරණ නිසා නාවික හමුදාවේ බොහෝ දෙනෙක්ට නිකරු​ණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා කියලා ඒ අය තර්ක කරනවා. නමුත් ඇමෙරිකා එක්සත් ජනපද රජය සහ ඇමරිකානු ජනතාව කින්ග් කෙරෙහි මහත් ගෞරවයක් දැක්වූවා. 1942 දී කින්ග් විශ්‍රාම යෑමට උත්සහ කරද්දි එය එවකට ජනාධිපති රූස්වෙල්ට් විසින් ව​ළකනු ලැබුවා.

 

2. චෙස්ටර් ඩබ්. නිමිට්ස්

චෙස්ටර් ඩබ්. නිමිට්ස් හට ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් තනතුර ලැබෙන්නේ ටිකක් අමුතුම ආකාරයකට. ඒකට හේතුව තමයි දෙවැනි ලෝක යුද්ධය පුරාවට ඔහු අණ දෙනු ලැබුවේ ඇමරිකානු නාවික හමුදාවේ සබ්මැරීන බලඝණයට වීම. ජර්මානු හා ජපන් සබ්මැරීන්වල තර්ජනවලට මුහුණ දිය හැකි වන ආකාරයෙන් ඇමරිකා එක්සත් ජනපද සබ්මැරීන් බලඝණයේ තත්ත්වය උසස් කිරීමට ඔහු කටයුතු කළා. 

 

3. ජෝන් ජර්විස්

මුළු යුරෝපයම නැපෝලියන් බොනපාට්ගේ ග්‍රහණයට නතු වෙද්දී මහා බ්‍රිතාන්‍ය​ට පමණක් නැපෝලියන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබුණා. ඒ බ්‍රිතාන්‍ය නාවික හමුදාව නිසා කියන එක අවිවාදිතයි. මේ කාලයේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ප්‍රධානත්වය දැරුවේ ජෝන් ජර්විස් විසින්. ඔහු වරක් ප්‍රකාශ කළේ “ප්‍රංශ ජාතිකයන් බ්‍රිතාන්‍යයට ගොඩබහින්නේ නෑ කියලා තමන්ට කියන්න බැහැ, ඒත් ඒ අය මුහුදෙන් නං ගොඩ බහින්නේ නෑ කියලා තමන්ට ස්ථිරවම කියන්න පුළුවන්” කියලා.

 

4. ලුවී මවුන්ට්බැටන්

“මවුන්ට්බැටන් යුවළ වගේ ඉමුකෝ අපිත් පදන් වෙලා” කියන සින්දුවේ කිය​වෙන මවුන්ට්බැටන් සාමිවරයා වෙන්නේ මේ ලූවී මවුන්ට්බැටන් සාමිවරයා. දෙවැනි ලෝක යුද්ධයේදී අග්නිදිග ආසියාවේ මිත්‍ර පාක්ෂික හමුදාවල ප්‍රධානත්වය දැරුවේ ලූවී මවුන්ට්බැටන් සාමිවරයා විසින්. බ්‍රිතාන්‍ය රජ පවුලේ  ළඟම ඥාතියෙකු වූ ඔහු ඉන්දියාවේ අවසාන ආණ්ඩුකාරවරයා බවටත් පසු කාලයක පත්වුණා.

 

5. සිරිකිත් රැජින

තායිලන්තයේ හිටපු හිටපු මහරජු වන භූමිපෝල් අතුලතේජ් රජුගේ බිරිඳ මෙන්ම වර්තමාන වජිරාලංකාර රජුගේ මව වන සිරිකිත් රැජින රාජකීය තායි නාවික හමුදාවේ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් තනතුර දරනවා. මේ තනතුර ඇයට හිමි වුණේ  සක්‍රිය සේවයට ඇය ලබාදුන් දායකත්වයක් නිසා නම් නෙමෙයි. ඇයට ලබා දෙන ගෞරවයක් විදිහට.

 

6. ජූලියන් ඕස්වල්ඩ්

සෝවියට් රුසියාවේ බිඳ වැටීමත් සමග සීතල යුද්ධය අවසන් වුණා. ​ඒත් සමගම බ්‍රිතාන්‍ය නාවික හමුදාව තුළ බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබාදුන්නේ ජූලියන් ඕස්වල්ඩ් විසින්. ඒ වගේම ගල්ෆ් යුද්ධයේ දී බ්‍රිතාන්‍ය නාවික හමුදාව අනුගමනය කළ යුතු ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීමට ඔහු තම දායකත්වය ලබා දුන්නා. ඒ වගේම නාවික හමුදාවේ කාන්තා සෙබළියන්ට වැඩි වගකීම් ලබාදීමේ තීරණය ගත්තේද ඔස්වල්ඩ් විසින්.

 

7. ජෝන් ෆිෂර් 

ජොන් ෆිෂර් වෘත්තීමය විශිෂ්ටත්වයෙන් දෙවැනි වන්නේ අද්මිරාල් හෝර්ෂියෝ නෙල්සන්ට පමණයි.ඔහු නොවන්නට පළවෙනි ලෝක යුද්ධයෙන් මහා බ්‍රිතාන්‍ය පරාජය වීමට වුනත් හැකියාව තිබ්බා. එවකට ප්‍රබල නාවික හමුදාවක් විදිහට බ්‍රිතාන්‍ය නාවික හමුදාව හැඳින්වූවත් තාක්ෂණික වශයෙන් බ්‍රිතාන්‍ය නාවික හමුදාව ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මන් හමුදාවන්ට වඩා පසු පසින් සිටියේ. නමුත් ජෝන් ෆිෂර් නව තාක්ෂණික උපක්‍රම සමග බද්ධ වෙමින් නාවික හමුදාවේ යාත්‍රා වැඩිදියුණු කිරීමට කටයුතු කළා. ටෝපිඩෝ බෝට්ටු සහ සබ්මැරීන්වල වැදගත්කම පිළිබඳව අවධාරණය කළ ඔහු විශ්‍රාම යන විට බ්‍රිතාන්‍ය නාවික හමුදාව නැවතත් විශිෂ්ටත්වයට පත් කිරීමට සමත් වෙලා තිබ්බා.

 

එහෙම නම් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *