පොතේ හැටියට විස්කි බොන්නේ මෙන්න මෙහෙමයි!

ස්කොච් විස්කි බොහොම ජනප්‍රිය විස්කි ජාතියක්. ඉතින් මේ විස්කි හදන්නේ කොහොමද? විස්කි බොන්නේ කොහොමද? විස්කි බොනකොට මොනාද බයිට් වලට කන්න ඕනි කියලා දැනගන්න ලෝකේ පුරා විස්කි බොන අය කැමතියි. මේ නිසාම ස්කොට්ලන්තයට 2018 වර්​ෂයේදි සංචාරකයෝ මිලියන 2ක් විස්කි බලන්නම ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා විස්කි පෙරන තැන්වලට ඒ උදවිය යනවා. බොන්නේ කොහොමද කියලා බලනවා. ඒ වගේම ඔරිජිනල් විස්කි කල්චර් එක මොකද්ද කියලා හොයන්නත් ඒ ස්කොච් විස්කි සංචාරකයෝ හරි උනන්දුයි ලු. අපිත් ඉතින් මේ විස්කි බොන නියම ක්‍රමය ගැන ටිකක් දැනකියා ගනිමු.

 

1. විස්කි බොන්නත් විශේ​ෂ විධි තියෙද?

සුරාවේ ඇති අගයත්…

එහි ඇති මනා ගුණයත්…

බොන සුදනෝ මිසක්…

නොබොන අනුවන දනෝ නොදනිත්…

කියලා පරණ කවි වල ලියවිලා තියෙනවා. එ​හෙම වුනත් ලංකාවේ විස්කි හෝ අරක්කු බොන තැනකට ගියොත් ඒ උදවිය සන්තෝසෙකින් ​බොන ආකාරයක් පේන්න නැහැ. ඉතාම අප්‍රසන්න දෙයක් බොන විදියට සෝඩා වතුර, කෝක් ගොඩක් දාගෙන අයිස් කැටත් දාගෙන තමයි බොන්නේ. ඒ දිහා බලා ඉද්දි නම් නොබොන උදවියට මේ තරම් අමාරුවෙන් බොන්නේ මොකටද කියලාත් හිතෙනවා. ඒත් විස්කි බීම සංස්කෘතියක් වෙච්චි රටවලදි නම් විස්කි කියන්නේ සුට්ට සුට්ට රස කරලා බොන ජාතියක්. විස්කි වල සුවඳ විඳිමින් රසවත් පානයක් බොන විදියට තමයි රට රටවල විස්කි ගැන දන්නා උදවිය විස්කි තොල ගාන්නේ.

 

2. විස්කි ග්ලාස් එක

බියර් බොන්න මහා විසාල වතුර බොන අසෝක වීදුරු වගේ වීදුරු ගන්නවා. ඒත් විස්කි වගේ සැර මත්පැන් බොන්න ගන්නේ කුඩා වීදුරු. ලංකාවේත් මේ කොට වීදුරු වල තමයි විස්කි බීම ජනප්‍රිය වෙලා තියෙන්නේ. වයින් ග්ලාස් එක වගේ කට පොඩි, යට ලොකු ග්ලාස් එකක විස්කි බොන එක තමයි හරිම විදිය කියලා තමයි තතු දන්නා උදවිය කියන්නේ. ඒ වගේ ග්ලාස්  එකකදි අපිට විස්කි වල සුව​ඳ කෙලින්ම නාසයට ආඝ්‍රා​ණය කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ග්ලාස් එක ඇතුලෙදිත් විස්කි වලට ටිකක් නටන්න පැහෙන්න ඉඩකඩ ලැබෙනවා.

 

3. විස්කි සැන්ඩි කිරීම

විස්කි කියන්නේ සාන්ද්‍ර කරපු ප​ළතුරු හෝ කෝඩියල් ජාතියක් නෙමෙයි. එහෙ​ම කිව්වේ මොකද සමහරු විස්කි බොනකොට සන්ක්වික් වලට වතුර දානවා වගේ සෝඩා වතුර එකට දහයක් විතර දාගෙන තමයි විස්කි බොන්නේ. විස්කි නියම විදියට බොනවා නම් එක ෂොට් එකට වතුර ටිකක් දාගෙන තමයි බොන්න ඕනි. තවත් ටිකක් ඕනි නම් අයිස් කැටයක් ​දෙකක් උනත් ග්ලාස් එකට දාගන්න පුළුවන්. කෝක් හෝ සෝඩා වලින් විස්කි සැන්ඩි කරද්දි විස්කි වල තියෙන ඔරිජිනල් මෝල්ට් රස අපිට දැනෙන්​නෙ නැතුව යනවා. අනික එහෙම බිව්වාම කෝක් වල කෝක් රසයත් විස්කි වල විස්කි රසයත් අපිට දැනෙන්නේ නැහැ. අයිස් කැට ගොඩාක් වීදුරුවට දාලා ඒකට විස්කි දාන අයත් ඉන්නවා. අයිස් දියවෙන්න විස්කි දැම්මාට ඒකෙදිත් තදබල සීතල වතුරේ විස්කි දියවෙන නිසා නියම විස්කි රසය දිවට දැනෙන්නේ නැහැ.

 

4. විස්කි බොන ආකාරය

විස්කි ෂොට් එකක් ග්ලාස් එකට දාගෙන මුලින්ම ඒක පොඩ්ඩක් අපේ නාසය පැත්තට අල්ලලා ආඝ්‍රා​ණය කරන්නට ඕනේ. දෙතුන් වතාවක් එහෙම සුව​ඳ වි​ඳලා ඉන් පස්සෙ විස්කි වලට අයිස් කැටයක් හෝ වතුර ස්වල්පයක් දාගන්නවා. විස්කි වල සුව​ඳ විඳින ගමන්ම විස්කි වඩිය සෙමෙන් තොලගානවා. නියම විස්කි රසිකයෙක් නම් ඇස් දෙක පියාගෙන උඩ බලාගෙන විස්කි ​ෂොට් එක කෙලින්ම කටට හෝ ආහාර මාර්ගයට හලාගන්නේ නැහැ. හො​ඳ පාටි එකකට වගේ ගියොත් කසියා ක්‍රමයට විස්කි ගහද්දි පොඩි නොගැලපීමක් එනවා. විස්කි 40%ක් සැරයි. ඉතින් 5% බියර් වගේ සුන්දරව විස්කි තො​ලගාන්න ටිකක් අමාරුයි. ඒත් හුරු වුනොත් සුද්දා කරන​ව වගේ විස්කි තොලගාන්න පුළුවන් කම ලැබෙනවා.

 

5. විස්කි වලට බයිට් මොනවාද?

චීස් වර්ග, චොකලට්, ඌරුමස් වගේ දේවල් එක්ක විස්කි රස ගැලපෙනවා කියලා ස​ඳහන් වෙනවා. ඒ ඒ විස්කි වලට අදා​ළ වූ චීස් වර්ග සහ බයිට් වර්ග පොතේ විදියට විස්කි බොනකොට පාවිච්චි කරනවා. අපේ රටේ බයිට් එකට මස් හදනකොට තුනපහ සහ රසකාරක මහ ගොඩක් දානවා. එහෙ​ම රසකාරක පිරුණු දුඹුරුපාට මස් ප්ලේට් එකක් එක්ක බොද්දි විස්කි වගේ බීමක නියම රස කැපිලා යනවා. විස්කි කියන්නේ රසක් තියෙන පානයක්. චොකලට් මෝල්ට් රසැති බයිට් වලින් විස්කි වල තියෙන ඒ කහට මුසු තිත්ත මෝල්ට් වගේ රසය තවත් ශක්තිමත් කරනවා. විස්කි බොන ගමන් වතුර බොන්න අමතක කරන්න හො​ඳ නැහැ. ඒ වගේම පිපිඤ්ඤා, කොමඩු වගේ දේවලුත් විස්කි බොනකොට වතුර අවශ්‍යතාවය වෙනුවෙන් හො​ඳහැටි ගැලපෙනවා.

 

6. කොච්චර බොන්න ඕනිද?

විස්කි ෂොට් එකක් කියන්නේ ඇමරිකානු ක්‍රමයට නම් මිලිලීටර 44ක්. ඒත් ඉන්දියාව වගේ රටවල විස්කි ෂොට් එකක් කියන්නේ මිලිලීටර 30ක් කියලාත් ස​ඳහන් වෙනවා. යහමින් බොන අමරිකානුවන්ගේ විදිය අනුව බැලුවත් ලීටරේ විස්කි බෝතලයක ෂොට් 22ක් විතර තියෙනවා. මේ විස්කි ෂොට් එකක් ග්ලාස් එකට දාගත්තාට පස්සේ ඕක හිමිහිට තොල ගාන එක තමයි ඔරිජිනල් විදිහ. ඒ අතර විජලනය වලක්වාගන්න වතුර බොන එකත් හො​ඳ පුරුද්දක්. අපේ අය බෝතල් වල පතුල බලන්න හදිසියේ ඉක්මනින් බිව්වාට නියම විස්කි බීමකදි විස්කි බෝතලේ අඩිය දකින්නම උවමනාවක් නැහැ. නාකි සුද්දෝ හෙම විස්කි බෝතල කීපයක් තියාගෙන එකකින් සුට්ටි සොට් එකක් දාගෙන ඉතුරු ටික ආයේ ගන්න තමුන්ගේ පොඩි බාර් එකේ ගබඩා කරලා තියනවා. ආයේ හිතුන දවසක ආයේ සුට්ටක් දාගන්නවා. අපේ යාලුවෝ එක්ක සෙට් වුනාම බෝතල ඉවර වෙන වේගේ එක්ක සිල් රකින්න ටිකක් අමාරුයි තමයි. ඒත් ඇරියස් එකට බොන්නේ නැතුව කලාවට බොන එකෙත් හො​ඳ ලල් එකක් ඇති.

 

7. විස්කි වර්ග සහ බීම

ඇමරිකාවේ හදන විස්කි තියෙනවා, ස්කොට්ලන්තයේ හදන විස්කි තියෙනවා. ඒ වගේම ජපානය වගේ රටවලත් වෙනමම විස්කි වර්ග හැදෙනවා. ඒ හැම එකම 40%කට වඩා මත්පැන් තියෙන සැර මත්පැන් වුනත් ඒවායේ රසය සමාන නැහැ. අපේ දිවට මේ විස්කි රසයන් ඒ තරම් ගැලපීමක් නැති නිසා එතරම් තද කටුක රසයක් නැති, වැඩි ග​ඳක් නැති විස්කි ස්මූත් විස්කි කියලා හඳුන්වනවා. විස්කි ලෝලීන්ට නම් මේ හැම විස්කි ජාතියකම යම් වටිනාකමක්, අමුතු කික් එකක් තියෙනවා. විස්කි හදන්න ඉරිඟු, තිරිඟු ආදී ධාන්‍ය වර්ග පාව්චිචි කරනවා. පොතේ විදියට නම් ඉන් පස්සේ මේ පෙරාගත් ස්ප්‍රීතු විශාල ලී බැරල් වල අවුරුදු ග​ණන් ගබඩා කරලා තියනවා. ඒත් ප්‍රායෝගිකව මත් පැන් නිපදවීමේදී දැන් නම් මේ ගොඩක් සැර මත් පැන් වල වර්ණය සහ රසය වෙනුවෙන් මිල අධික වර්ණකාරක ස​හ රසකාරක පාව්චිචි කරනවා.

 

8. බීමේ සංස්කෘතිය

ජපානයේදී සකේ බීම කියන්නේ බොහොම සිම්පල් දෙයක්. ඒක ඒ රටේදි බොහොම සාමාන්‍ය සිදුවීමක්. එංගලන්තයේදී බියර් එකක් තොලගාන්න පබ් එකකට ගොඩ වීම කියන්නේ ඒ රටේ කම්කරුවන්ගේ සිට ඉහළ පෙ​ළේ අය දක්වා තියෙන සංස්කෘතික අංගයක්. අපේ රටෙත් අතීතයේ ලියවුණු පොත පත වල රජ සිටු මැති සාද වල මත් පැන් පානය ක​ළ අවස්ථා ගැන ස​ඳහන් වෙලා තියෙනවා. හතරගාතෙන් පෙර​ළලා හෝ බලෙන් පොළඹවලා මත් පැන් පොවන අවස්ථා බොහෝම කලාතුරකින් තමයි සිද්ද වෙන්නේ. ඉතින් තමුන් බොන දේ ගැන, තමුන්ගේ බීමේ ප්‍රමාණය ගැන වගකීමෙන් බොනවා නම් බීම ගැන රටේ ලෝකේ තියෙන හුඹස් බය නැතිකරන්න බොන අයටම පුළුවන් කම ලැබේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *