හිසකෙස්වල ෂැම්පු ගැල්වීම අවශ්‍ය වන්නේ ඇයි?

නාන අය විතරක් කියවන්නත් නාන අය විසින් නොනාන පුද්ගලයන්ව පොඩ්ඩක් දැනුම්වත් කරන්නත් මේ ලිපිය හේතු වාසනා වේවා කියලා ඉස්සෙල්ලා ම ප්‍රාර්ථනා කරනවා. නාන කොට දැන් නම් කොයි කවුරුත් වගේ ෂැම්පු භාවිත කරනවා. ඒත් එහෙම කරන එක අවශ්‍ය වන්නේ මොකට ද කියන එක ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් හිසකෙස්වල ෂැම්පු ගැල්වීම අවශ්‍ය ඇයි ද කියලා දැන් හොයා බලමු.



1. තෙල් ගතිය ඉවත් කිරීමට


කාලයක් තිස්සේ නාන්නේ නැති ඩයල් එකක් නිරීක්ෂණය කරාම ඉස්සෙල්ලා ම ඇහැ ගහන්නේ කොණ්ඩේ. තෙල් බේරෙනවා. අමුතු ඇලෙන ගතියක් කොණ්ඩය පුරාම තියනවා. මේ තෙල් ඇති වෙන එක ස්වාභාවිකයි. හමේ තෙතමනය තියාගන්නවා වගේ ම කොණ්ඩේ තෙතමනය රඳවාගන්න මේ තෙල් ඇති වෙනව. හැබැයි පමණට වඩා තිබ්බා ම හෙන අවුල්. ඉතින් ෂැම්පු වතුර එක්ක එකතු වෙලා මේ ගතිය නැති කරනවා. තෙල් විතරක් නෙවේ ඉතින් දූවිලි වුණත් ෂැම්පු පාරට සුන්නත්දූලි.



2. හිසකෙස් සහ හිස්කබලේ පිරිසිදුව


වතුර ටිකකට ඔලුව ඇල්ලූ පමණින් ඒක නෑමක් වුණේ අර පොල් කට්ටෙන් නාවපු කාලේ තමයි. අපි වයසින් වැඩෙත් ම කොණ්ඩෙත් වැවෙන්න ගනවා. එතකොට පිරිසිදු​බව සඳහා වතුර විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හිස්කබලත් පිරිසිදු කරලා ගන්නවා නම් ඉතින් කතා දෙකක් නෑ විසඳුම තමයි ෂැම්පු. ඇයි ඉතින් දියරමය විදියට පවතින නිසා හිස කෙසේ මුල දක්වාම ගමන් කරනවනේ.



3. ගන්දස්සාරය නැති කිරීමට


අපිට නහයක් තිබ්බට අපේ ගඳ සුවඳ අපට නොදැනේ. කොණ්ඩේ ගැනත් එච්චරයි. අද ලෝකේ හැටියට හරක් වගේ වැඩ කරන්න සිද්ධ වෙලා තියනවා. ඒකට සෑහෙන මහන්සියක් ගන්නවා. ඒ මහන්සියේ හැටියට සර්වාංගේම දාඩිය ගඳේ ඉඳන් මිනී කුණු ගඳ දක්වා පැතිරෙනවා. මූලිකවම ඉතින් මෙතන අන්දකයිප්පු ගතියක් තිබුණට මොකෝ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ගඳ නැති කිරීම.



4. ඉස්හොරි ඉවත් කිරීම සඳහා


දේව සාප තමයි ඉතින්. හිස් කබල තෙල් තට්ටුවක් වුණා වගේ ම වේලිච්ච දර කෝට්ටක් වගේ එකක් වුණත් වෙන්න බැරි කමක් නෑ. ඒ අවස්ථා දෙකේ දීම ප්‍රතිඵලයක් විදියට ඉස්හොරි තියේ නම් ගොඩපර හොය හොය ඉන්නවට වඩා, හොඳ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු එකක් භාවිත කරාම හරි.



5. සබන් සමඟ සැසඳීමෙන් ලද ප්‍රතිඵල


වීදුරු දෙකක් අරගෙන එකකට සබන් සහ අනෙකට ෂැම්පු දැම්මම පේනවා සබන් දාපු බඳුනේ අඩියේ මණ්ඩි වගේ තැන්පත් වෙනවා. නමුත් ෂැම්පු දැමූ බඳුන එහෙම නෑ. හැම තැනට ම පැතිරිලා යනවා.



6. රැල්ලට


සමහරු මෙන්න මේ කාරණය නිසාත් ෂැම්පු භාවිතා කරනවා. ඒ නම් සෞඛ්‍ය පැත්තෙන්වත් වෙන මොකක් හරි කෝණයකින්වත් හිතලා නෙවේ රැල්ලට. කියවගන්නත් අමාරු පුස්ඹ විදින ෂැම්පු බ්‍රෑන්ඩ් එකකින් ඔලු ගෙඩිය හෝදාගත්තා ම ලේ ගමනාගමනෙත් වැඩි වෙනවා වගේ හිටං.

 


7. ශක්තිමත් සහ සිනිඳු කෙස් කළඹක් අවශ්‍ය නිසා.


කොණ්ඩේ ශක්තිමත් වෙන්න ඕනි හැබැයි ඉතින් සිනිඳුව​ට තියෙන්නත් ඕනි. සිනිඳු කෙස් කළඹට කන්ඩිෂනර් භාවිත කරාම හරි. හැබැයි කන්ඩිෂනර් භාවිත කරන්න ඕනි ෂැම්පු ආලේප කරාට පස්සේ.

දැන් ඉතින් වැඩේ මෙහෙමයි කියලා ෂැම්පු ආදිය හිතේ හැටියට ගාලා ඔලුවේ තියන මයිලත් ගලවනවා එහෙම නෙවේ. සතියකට දෙතුන් ​වරක් විතර භාවිතා කළාම ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *