ලෝකේ රටවල පොලිස් අංකල්ලට එක එක විදියේ නම් කියනවනේ. ඇමරිකාවේ නාහෙට නහන්නැති එවුන් කියන්නේ ඌරො කියලා. එංගලන්තේ ඈයෝ ‘බිල්ස්’ලා කියලා කියනවා. අන්න ඒකට ලංකාවේ අපි. ලංකාවේ අපි ‘මාමලා’ කියලා ආදරබරව තමයි පොලිසියේ අයව අඳුන්වන්නේ. මෙහෙම කිව්වට ඉතින් ලෝකේ ඕනෙම මනුස්සයෙක් පොලිස් යුනිෆෝම් එකක් දැක්කහම පොඩ්ඩක් බයයි. ඇයි? ඉතින් පොලිසිය ඉන්නෙම වැරැද්දක් අල්ලලා දඬුවම් දෙන්නනේ. එතකොට සමහර වෙලාවට අපේ අතින් වැරැද්දක් වෙලා නැතත් හිත පොඩ්ඩක් ගැහෙනවනේ නොදැනුවත්වම හරි වැරැද්දක් වෙලාද කියලා. ආන්න ඒ වගේ සිද්ධ වෙන අවස්ථා ගැන තමයි අපි මේ කියන්නේ.
1. ලයිසන් ගත්තු අලුත ට්‍රැෆික් මාමලව දැක්කහම!
ලයිසන් ගත්තු ෆ්‍රෙෂ් පිට ඕන එකෙක් යන්නෙ නියමෙටම වේග සීමාවට. ඉස්සර කරන්නෙත් ගාණට සයිඩ් කණ්ණාඩියෙන් බලලා, සිග්නල් දාලා, ආයෙමත් බලලා තමයි. මලාට ඉරක් එහෙම කැපෙන්න දෙන්නෙ නෑ. හැබැයි ඔය විදියට ෆුල් නීතිගරුකව වාහනේ එලෝගෙන යනකොට ඔන්න ඉස්සරහින් එන වාහනේකින් ෆ්ලෑෂ් එකක් වදිනවා ඉස්සරහා මාමලා අවධානයෙන් සිටී කියලා. ඔන්න හිත ගැහෙනවා. වේගේ තව අඩු කරනවා. මාමලා දෙන්නෙක් බයික් එකත් නවත්තගෙන උකුස්සෝ වගේ ඈත ඉන්නවා පේන කොට හිත තව ගැහෙනවා. ලයිසන්, ඉන්ෂුරන්ස් එක පර්ස් එකේ තියෙනවද කියලා මතක් කරලා බලනවා. දැන් වාහනේ යන්නේ හරියට මොඩ්ල් කෙනෙක් ස්ලෝ එකේ කැට් වෝක් කරනවා වගේ. ආයෙ දඩ කොළයක් දුන්නොත් දෙන්නේ වේග සීමාවට වඩා හෙමිහිට ගියාට! එහෙම වුනත් ට්‍රැෆික් මාමලා නොපෙනී යනකල්ම හිත ගැහෙනවා!
2. ගේ ඉස්සරහා පොලිස් වාහනේ නතර කළහම!
ඔය පොලිස් ජීප් හරි පොලිස් පැජරෝ හරි යන ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ පාර පෙරළගෙන, කඩාගෙන ගිහිල්ලා ඕන තැන බ්‍රාස්!!! ගාලා බ්‍රේක් කරනවා. එහෙම නැතිනම් හොරෙන් හොරෙන් එන්ජිමේ සද්දෙවත් ඇහෙන්නෙ නැතිවෙන්න හෙමින් සැරේ එනවා. දැන් ඔය විදියට පොලිස් ජිප් එක ඇවිත් අපේ ගේට්ටුව ඉස්සරහා බ්‍රාස් ගාලා බ්‍රේක් ගහලා නැවැත්තුවොත් අපි උඩ ගිහින් බිම වැටෙන්නේ බය වෙලා. එතකොට හිමින් සැරේ හොරෙක් වගේ ගේට්ටුව ගාවට රිවස් කරනවා දැක්කොත් උඩ ගිහින් බිම නොවැටුනත් හිතට බය දැනෙන්න පටන් ගන්නවා. මුන් එන්නේ මගේ කම්පියුටරේ තියෙන වැල ටික හොයාගන්නද? කවුරුහරි වත්තට කුඩු පැකට් එකක්වත් ගෙනැත් දාලද? මිදුලෙ තියෙන ක්‍රෝටන් පැල ගංජා කියල හිතලා මාව අල්ලගෙන යයිද? ඔහොම දහසකුත් එකක් දේ හිත හිතා බයේ ගැහි ගැහී ඉන්නකොට පොලිස් ලොක්කා ඔලුව ජනේලෙන් එලියට දාලා අපෙන් වෙන කොහේ හරි පාරක් ගැන අහනවා!
3. සෙට් වෙලා ගෙදර යනකොට පොලිසියෙන් නැවැත්තුවහම!
දැන් බීලා වාහන එළවන එක දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක අපි හැමෝම දන්නවනේ. ඒ නිසා කරන්න තියෙන්නේ හොඳ ළමයි වගේ එක්කෝ නොබීපු එකෙක්ට කියලා ගෙනිහිල්ලා දම්ම ගන්න එක. එහෙමත් නැතිනම් ටැක්සියකට කථා කරගෙන යන එක. දැන් එහෙම වෙන එකෙක් එක්ක කාර් එකේ යනවා කියමුකෝ. අපිට නස්පුක් වෙන්න වැදිලත් නෑ, හැබැයි කතා කරනකොට වචන එහෙම පැටලැවෙනවා කියලා අපිට දැනෙනවා. දැන් ඔන්න පොලිසියෙන් අත දානවා. ඉස්සරහට ඇවිත් යාලුවගෙන් ලයිසන් ඉන්ෂුරන්ස් ඉල්ල ගන්නවා. ඊට පස්සෙ පිටිපස්සට ඇවිත් අපෙන් අයිඩෙන්ටිය ඉල්ලනවා. දැන් ලංකාවේ මත්පැන් පානය කියන්නේ වැරැද්දක් නෙවෙයිනේ. හැබැයි එහෙම වුනත් මොකද්දෝ හේතුවකට පපුව ටිකක් හයියෙන් ගැහෙනවා. අපි හෙනම නෝමල් වගේ ඇට් කරන්න උත්සාහ කරනවා. කථා නොකර හිනාවෙන් විතරක් උත්තර දෙන්න උත්සාහ කරනවා. ආන්න එතකොට පොලිස් මාමා අහනවා “බීලද” කියලා. විනාසයි! මූ මාව අල්ලගෙන යයිද කියලා හිත ගැහෙනවා. ඒත් එහෙම අල්ලන් යන්න බෑ කියලා හිතාගෙන අපි බලෙන් හිත සන්සුන් කරගන්නවා.
4. ඇයි සර් මගේ මූණෙ පෙරහැරක් යනවද?
දැන් ඔය පාරවල් අයිනේ කොහොමත් පොලිසියෙන් ඩියුටි දාලා තියෙනවනේ. දවල් වරුවට මේ මාමලා සන්ග්ලාස් එහෙම දාලා ලෙවල් එකකට තමයි ඉන්නේ. දැන් ඔන්න අපි එනවා පාර පනින්න. එතකොට පාරේ එහා පැත්තේ ඩියුටි ඉන්න පොලිස් මාමා අපේ දිහාම බලාගෙන ඉන්නවා කන්න වගේ. දැන් ඔන්න හාට් බීට් එක පොඩ්ඩක් ස්පීඩ් වෙනවා. ඇයි පොර මගේ දිහාම බලාගෙන ඉන්නේ? මගෙන් අයිඩෙන්ටිය ඉල්ලයිද? ඒක ගෙදර කිවුවොත් පොලිසියට අරගෙන යයිද? එහෙම නැතිනම් මාව වරෙන්තුකාරයෙක් වගේ පේනවද? ඔන්න ඔය වගේ දහසකුත් ප්‍රශ්න. හැරිලා ගිහින් වෙන තැනකින් පාර පනින්නත් හිතයි. ඒත් එතකොට මිනිහා හිතනවා ෂුවර් එකටම මගේ හොරයක් තියෙනවා කියලා. ඒ නිසා ඔන්න ඔහේ පනිනවා. එක්කෝ කෙලින්ම ගිහින් අහනවා ‘ඇයි සර් මගෙ මූණෙ පෙරහැරක් යනවද’ කියලා. ඔහොම හිතලා අපි පාර පනිනවා. පොලිස් මාමව පහුකරගෙන යනකොටත් මනුස්සයා අපිව සතපහකට ගණන් ගන්නෙ නැතුව බලාගත්තු දිහාවම බලාගෙන ඉන්නවා!
5. මාමේ මගෙ සයිකලේ පුපුරවන්න නං එපා!
පහුගිය අප්‍රේල් මාසේ කියන්නේ ශ්‍රී ලංකාවේ අපිට සෑහෙන කම්පනයක් ඇති කරපු මාසයක්. දැන් වෙනකොට නම් තත්වය ආයෙමත් සාමාන්‍ය අතට හැරිලා තිබුණත්, ඒ මාසේ දෙක අපි ගෙවුවේ පුදුමාකාර අවිනිශ්චිත භාවයකින්. හැමෝම හැමදේම දිහා බැලුවේ සැකෙන්. ඒ කාලේ අයිතිකාරයෝ නැහැයි කියලා හිතපු මෝටර්සයිකල් එහෙමත් පිපිරෙව්වා මතක ඇතිනේ. ඉතින් දැන් කාලේ වුනත් අපි සයිකලේ කොහේ හරි අයිනක නවත්තලා මොකක් හරි වැඩකට ගිහිල්ලා ආයෙමත් එනකොට සයිකලේ කිට්ටුව පොලිස් මාමලා දෙන්නෙක් දකින්න ලැබුණොත්? ආන්න පපුව ගැහෙන්න පටන් ගන්නවා. මුන් මේ මගෙ සයිකලේ වටේ කැරකෙන්නේ ඒකේ බෝම්බ තියෙනවා කියල හිතාගෙනද? මුන් දෙන්නා සයිකලේ ආරක්ෂිතව පුපුරවන්නද යන්නේ? ඔය වගේ දහසකුත් එකක් ප්‍රශ්න ඔලුවේ කැරකෙන කොට ඔන්න පොලිස් මාමලා දෙන්නා ඇවිත් තියෙන්නේ එතන තියෙන සල්ලි ගන්න ATM එකට කියල මීටරේට වැටෙනවා!
6. අපි දෙන්නා අඩු වයස් කියලා අල්ලගෙන යයිද?
ඔන්න දෙන්නත් එක්ක කතා කර කර ඉන්න කියලා හිතාගෙන යනවා හොටෙල් එකකට. සාමාන්‍යයෙන් සිහි මොලේ තියෙන කපල් එකක් නම් යන්නේ පිළිගත්තු, රෙජිස්ටර් කරලා තියෙන, හොඳ කොලිටියක් තියෙන හොටෙල් එකකටනේ. ඉතින් එහෙම ගිහිල්ලා රූම් එකකුත් අරගෙන දෙන්නත් එක්ක කථාවක් දාගෙන ඉන්නවා. දැන් කථාවෙන් කථාවෙන් වැඩකිඩ සිද්ධ වෙන වෙලාවකට එනවනේ. ආන්න එතකොට අපි යනවා කර්ටන් වහලා දාන්න කියලා. කර්ටන් එක වහන්න හදනකොටම ඔන්න අපිට පේනවා හොටෙල් එකෙන් එහා පැත්තේ පාරේ පොලිස් ජිප් එක නතර කරලා තියෙනවා. ඔන්න පපුව පොඩ්ඩක් ගැහෙන්න පටන් ගන්නවා. කෝකටත් කියලා මතක් කරලා බලනවා තමන් බාලවයස්කාරයෙක්ද කියලා. වැඩි පරිස්සමට ගෑණු ළමයගෙනුත් අහනවා ඔයා ෂුවර් එකටම බාලවයස්කාරයෙක් නෙවෙයි නේද කියලා. හැබැයි ඒත් ෂුවර් නෑ. ඉතින් ආපු වැඩේ පැත්තක තියලා කර්ටන් එක අස්සෙන් බලාගෙන ඉන්නවා පොලිස් ජිප් එක යනකල්.
7. අපිට මෙව්වා ලියන්නත් බයයි ඉතින්!
දැන් කාලේ අපිට ලියන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. දේශපාලකයින්ට විරුද්ධව ලියන්න නං ඒ තරම් බය වෙන්න දෙයක් නෑ. ඒත් ආගම විවේචනය කරලා එහෙම ලිව්වොත් නං බඩුම තමයි. ආයෙ ඇප දෙන්නෙත් නැතුව මාස තුන හතර හිරේ ඉන්න වෙන්නේ. ආයෙ ඒක ආගමට විවේචනයක් නොවුණත්, කොහේ හරි ඉන්න හාමුදුරු කෙනෙක්ට හිතුනොත් මෙව්වා ආගම ජාතිය විනාස වෙන එව්වා කියලා, හාමුදුරුවෝ ගිහිල්ලා දානවා ඇන්ට්‍රියක්. පොලිසියත් ආයෙ ඇහිල්ලක්, බැලිල්ලක් නෑ, ඇවිත් කුදලගෙන යනවා. එතකොට පොලිසිය විවේචනය කරලා ලිවුවොත්? ඒක තාම දන්නෙ නෑ. එහෙම වුනත් ඉතින් අපි මේක ලියන්නෙත් පොඩ්ඩක් බයෙන් බයෙන්. කියන්න බෑනේ, මේ සිරි ලංකාවනේ!
Cover Image Source srilankabrief.org
Leave a Reply