ගෙදර ඉන්න අක්කලා නංගිලාට කරන්නම වැඩක් නැති වෙලාවට කරන්න දේවල්

අපි ඉතින් පහුගිය කාලෙ එක දිගට කතා කළානේ කම්මැලිකමට කරන්න පුළුවන් අටෝරාසියක් විනෝදාංශ ගැන එහෙම. මේකනම් විනෝදාංශ එක්ක පටලගන්න ඕන කතාවක් නෙමෙයි. ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නකොට ඒ කම්මැලිකම දෙගුණ තෙගුණ වෙලා දැනෙන, පොතක් පතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න තියා වෙනදට ආසාවෙන් කරපු මෙලෝ දෙයක් කරන්න නොහිතෙන මහා එපාකරපු වෙලාවල් තියෙනවා නේද? අන්න ඒ වෙලාවක කරන්න වෙනසක් තියෙන පොඩි පොඩි වැඩ ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ අද. අක්කලාට නංගිලාට කිව්වට අයියලාට මල්ලිලාටත් ට්‍රයි කරන්න බැරිකමක් නැහැ මේ කියන සමහර දේවල්. 

 

 

1. මිස් වෙච්ච යාළුවෙකුට කෝල් එකක් දෙන්න 

 

ඔහේ කරන්න වැඩක් හිතාගන්නවත්, වැඩක් කරන්න මූඩ් එකක් හදාගන්නවත් බැරුව ඉන්න වෙලාවකට කරන්න කියාපු වැඩක් තමයි මේක. ඉස්කෝලේ කාලේ ඉඳන්ම ගත්තොත් අපිට කොච්චරක්නම් ඉන්නවද ඉස්සර වගේ නිතර මුණ නොගැහෙන, ළඟපාතක නැති එත් හිතින් තාමත් දුර නැති යාලුවෝ. කොච්චර දුර හිටියත් හිතේ යාලුකමනම් තාමත් එහෙමයි නේද? ඉඳල හිටලා මහා වැඩ කන්දරාවක් අස්සේ උනත් පරණ සිද්ධියක් මතක් වෙලා හීනියට හිනාවක් එහෙම යන පරණ සෙට් එකේ එක්කෙනෙක්ට කෝල් එකක් දෙන්න මෙන්න මරු වෙලාව. දෙපාරක් නොහිතා ගන්න කෝල් එකක්. යාලුවත් සතුටු වෙයි. පරණ යාලුකමත් අලුත් වෙයි. මූඩ් එකත් ෆික්ස් වෙයි. 

 

 

2. අයින් කරන තියෙන ඇඳුම් ටිකක් කාටහරි දෙන්න පැක් කරන්න

 

අක්කලා, නංගිලා ගෑණු පරාණ කොයි කාටත් ගමනක් බිමනක් යන්න ඕන වෙලාවකට අඳින්න වස්තරයක් නැති උනාට අපරාදෙ කියන්න බෑ අල්මාරිය පිරෙන්න ඇඳුම්නම් ගොඩ ගැහිලනේ. ඔන්න මරු ටයිම් එක ඔය අල්මාරියට සුද්දයක් දෙන්න. නෑ නෑ… අල්මාරිය අස් කරන්න නෙමේ කියන්නේ. ඒක ඉතින් ඇත්තු දාහක් එක්ක හැප්පෙන්න මූඩ් එකක් තියෙන වෙලාවක උනත් කරන්න කම්මැලි සයිස් මහා බෝරිං වැඩක්නේ. අල්මාරිය අස්සට ඔලුව දාල කාලෙකින් ඇන්දෙ නැති, අඳින්න බැරි, ඉස්සර තරම් ආස නැති වගේ කැටගරි එකට වැටෙන හැබැයි අඳින්න පුළුවන් හොඳ තත්ත්වයේ තියෙන ඇඳුම් ටිකක් එලියට අරන්  ලස්සනට නවලා පැක් කරන්න නැති බැරි කෙනෙක්ට හරි, ඔයාගේ නංගි කෙනෙක්ට හරි කවුරුමහරි උවමනාවක් තියෙන කෙනෙක්ට දෙන්න. අල්මාරියේ ඇඳුම් සුවඳ එක්ක ඉන්නකොට අර කම්මැලි මූඩ් එක නිකන්ම හරියනවා. නිකන් ගොඩ ගහගෙන ඉන්නවට වඩා තව කෙනෙක්ට දෙනකොට ලොකු සතුටකුත් දැනෙනවා. අල්මාරියත් සුද්ද වෙනවා. 

 

 

3. පරණ මෙමරීස් බලල අලුත් කරගන්න

 

මේකනම් කම්මැලි මූඩ් එකකට හරියටම හරියන වැඩක්. රස්නෙට කෝපි කෝප්පයක් එහෙම හදාගෙන ගෙදර ආසම තැනක ඉඳගෙන පරණ මෙමරීස් ඔක්කොම, ඒ කිව්වේ පරණ සමරු පොත්, ෆොටෝ ඇල්බම්ස්, ඉස්සර ලියපු සින්දු පොත්, ටීන් බුක්ස්, යාලුවන්ගෙන්, ලවර්ස්ලගෙන් හම්බුන ලියුම් කඩදාසි, බර්ත්ඩේ කාර්ඩ්ස් වගේ ඒවා අරහෙන් මෙහෙන් හොයල අරන් ලං​කරගන්න. ඕව කියව කියව ඒ කාලෙ රසකතා එහෙම මතක් කර කර වරු ගා​ණක් ගත කරන්න පුළුවන් කම්මැලි නැතුව. ඉවර උනාම කෝපි කොප්පෙටයි මෙමරීස් වලටයි පින්සිද්ධ වෙන්න හොඳ එනර්ජි එකකින් නැගිටින්නත් පුළුවන්. 

 

 

4. ජෙවෙලරි බොක්ස් එක අස් කරන්න

 

ඔන්න මේකනම් කෙල්ලොන්ගේ මූඩ් ෆික්ස් කරන්න මරු බේතක්. අපි කවුරුත් ආසයිනේ ඉතින් දිලිසෙන, පාට පාට සුකුරුත්තන් වලට. ඒ වගේ ලස්සන දේවල් දිහා බලන් ඉන්න එකත් වෙලාවකට නිකන් භාවනාවක් වගේ. විශේෂයෙන් එපාකරපු කම්මැලි මූඩ් එකක ඉන්න වෙලාවක. අවුල් වෙලා තියෙන ජෙවෙලරි බොක්ස් එක අරන් පැත්තකින් වාඩිවෙලා, ලස්සන ලස්සන මාල, වළලු, කරාබු බලන ගමන් ඔය අනවශ්‍ය ටිෂු කෑලි, කැඩිච්ච කරාබු මාල කෑලි අයින් කරල, බොක්ස් එක පිළිවෙලක් කරනකොට දන්නෙම නැහැ වෙලාව ගතවෙලා. වැඩකුත් කෙරිලා ඉතින්. 

 

 

5. අලුත් රෙසිපි එකක් ට්‍රයි කරන්න

 

ටිකක් කම්මැලි වැඩක් වගේ බැලු බැල්මට හිතුනට මේකත් මූඩ් ෆික්ස් කරන්න සැහෙන්න හොඳ වැඩක්. කුකින් වලට ආසම අයටනම් ආයෙත් කියන්න දෙයක් නැහැ මේකෙන් ලැබෙන සතුට ගැන. එහෙම නැති අයටත් ට්‍රයි කරලම බලන්න කියල තමයි කියන්න තියෙන්නේ. රෙසිපි එකක් කිව්වට වේලක් දෙකක් කන්න වගේ මහා පරිමාණ දෙයක් නෙමෙයි. ඔය ඉන්ටනෙට් එකෙන්, ෆුඩ් වීඩියෝස් වලින්, පත්තර කෑලි වලින් ඉඳල හිටලා අපි දකින ටක් ටික්  ටුක් රෙසිපි එකක්. මයික්‍රෝවේව් මග් කේක් එකක්, පොටෑටො චිප්ස්, පොප්කෝර්න්ස් වගේ ලේසිම ලේසි රෙසිපි එකක් ට්‍රයි කරන්න.

 

 

6. ෆෝන් එකටයි මැෂින් එකටයි ෆුල් සුද්දයක් දෙන්න

 

ඕන්න කාලෙ කන්න තවත් කියාපු වැඩක්. නිදහස් වෙලාවක් නොලැබෙන, හැබැයි කරන්නම ඕන, වෙලාවක නැතිකම නිසාම මිස්වෙන වැඩක් තමයි මේක. මේකටත් කෝපි කෝප්පයක් ලං කරගත්තට කමක් නැහැ. ඔන්න ඩෙස්ක්ටොප් එක හරි ලැප්ටොප් එක හරි එක්ක ෆෝන් එකයි කේබල් එකයි කිට්ටු කරගෙන වැඩේ පටන් ගන්න. වට්සැප් වයිබර් වලින් ආපු අනවශ්‍ය ෆොටෝ, වීඩියෝ ක්ලිප්ස් ඕන තරම් තියෙයි ඩිලීට් කරන්න. ෆෝන් කැම් එකෙන් ගත්ත ෆොටෝස්, කාගෙන් හරි ඉල්ලගත්ත ඒවා වගේ ඕන ෆොටෝස් ඔක්කොම, ඩවුන්ලෝඩ් කරපු ඩොකියුමන්ට්ස් එහෙම වෙනමම මැෂින් එකට සේව් කරගන්න. දැන් ඊළඟට මැෂින් එක සුද්ද කරගන්න. ඒකෙත් ඇති හදිස්සියට ඩවුන්ලෝඩ් කරපු දේවල් ඔහේ තැන් තැන්වල. ෆෝල්ඩර්ස් වෙන් කරල හදිස්සියට හොයන්න පුළුවන් විදිහට හදාගන්න. දන්නෙම නැතුව කාලෙ ගතවෙන කරන්​න පොඩ්ඩක්වත් කම්මැලිත් නැති වැඩක්.

 

 

7. ෆුට් ට්‍රීට්මන්ට් එකක් කරගන්න

 

නෑ නෑ. මේකට සැලෝන් එකකටවත් මසාජ් සෙන්ටර් එකකටවත් යන්න ඕන නැහැ. මේ කියන්නේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් සිම්පල් ට්‍රීට්මන්ට් එකක් ගැන. කකුල් කියන්නේ අපි කාටත් අමතක වෙන, අවධානය අඩුවෙන්ම ලැබෙන අං​ගයක්නේ. හැබැයි ඇවිද්ද පය දහස් වටී කියන නිසාම මේ ​කකුල් දෙකටත් අවධානය දෙන්නම ඕනේ. විශේෂයෙන්ම ලස්සනට ඉන්න ආස කාන්තාවෝ. කලින් කියපු ෆෝන් සුද්දය කරන ගමන්ම මේ වැඩෙත් කරන්න පුළුවන්. කකුල් දෙක දාගන්න පුළුවන් බේසමක් ලඟට අරගෙන ​ඒකට මද රස්​නෙන් උණු වතුර බාගයක් විතර වෙන්න පුරවගන්න. දැන් ඔය බේසමටම තමන් පාවිච්චි කරන ඕනෙම ෂැම්පු හෝ බොඩි වොෂ් වලින් ටිකක්, බේකින් සෝඩා තේ හැඳි දෙක තුනක්, ලුණු කුඩු තේ හැඳි දෙක තුනක් එක්ක දෙහි ගෙඩියක ඉස්මයි පොතුයි දාල හොඳට කලවම් කරගන්න. දැන් ඉතින් කකුල් දෙක බස්සගෙන පැය බාගයක්, විනාඩි 45ක් විතර ඉන්නයි තියෙන්නේ. පියුමික් ස්ටෝන් එකක් තියෙනවනම් ඔය අතරෙදි කීප පාරක් ​ඒකෙන් හොඳට අතුල්ලලා කකුලේ මැරුණු සම ඉවත් කරගන්නත් පුළුවන්. අන්තිමට කකුල් දෙක හොඳින් පිහදාල, හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගාල ටිකක් මසාජ් කළාම ඔන්න වැඩේ සම්පූර්ණයි.