අපේ ජීවන තොරතුරු සියල්ල ලියැවී ඇතැයි කියන නාඩි වාක්‍ය ශාස්ත්‍ර​ය

නාඩි වාක්‍ය කියන්නේ ජීවිතය ගැන අනාවැකි කියන එක්තරා ක්‍රමයක්. දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වුන මේ නාඩි වාක්‍ය අනාවැකි කීම කලක් ලංකාවෙත් සුලු පිරිසක් අතර ජනප්‍රිය වෙලා තිබුනා. මේ හරහා වඩාත් සාර්ථකව ජීවන අනාවැකි ලැබෙන බව තමයි නාඩි වාක්‍ය අහන්න ගිය අයගේ අදහස වෙලා තියෙන්නේ.

 

1. නාඩි ශාස්ත්‍ර කියන්නේ කොහොමද?

කේන්දර බැලීමකදි අපේ ග්‍රහ පිහිටීම ගැන ජෝති​ෂය අනුව අනාවැකි කියනවා. මේ නාඩි වාක්‍ය කීමේදී අපේ ජීවිතය ගැන අනාවැකි කියන්නේ නාඩි ග්‍රන්ථ වලින්. මේ නාඩි ග්‍රන්ථ දකුණු ඉන්දියාවේ තැන් කිහිපයකම පැරණි විදියට ආරක්ෂා වෙලා තියෙනවා. පුද්ගලයෙක් ගැන අනාවැකි කියද්දි මේ නාඩි වාක්‍ය කොටස් 16ක් තියෙනවා. පවුල, වෘත්තිය, කසාදය, දරුවන්, අනාගත සිද්ධීන්, ලෙඩරෝග, සෞභාග්‍ය. පවුල, යාලුවන්, නරක පුරුදු, සමිති සමාගම්, අධ්‍යාත්මික ජීවිතය, සුබ දේවල්, මරණය, විදෙස් සවාරි ආදී ජිවිතය ගැන සම්පූර්ණ වාර්තාවක් ලබාගන්න මේ නාඩි වාක්‍ය හරහා පුළුවන්කමක් ලැබෙනවා.

 

2. නාඩි වාක්‍ය කියන්න ගන්න අවශ්‍ය තොරතුරු මොනවාද?

තමුන්ට අදාළ​ව ලියවී ඇති ගැලපෙන නාඩි වාක්‍ය සොයාගන්න නාඩි ගුරු විසින් ප්‍රශ්​න අසනු ලබනවා. එසේම අපේ ඇඟිලි සලකුණු කාණ්ඩ 108 යටතේ නාඩි විද්‍යාවේ විස්තර කෙරෙනවා. ඒ අනුව නිවැරදි නාඩි ගුරුන් අපිට අදා​ළ නාඩි වාක්‍ය සහිත පත්‍ර​ය සොයාගතහොත් ඒ මගින් අපේ දෙමාපියන්ගේ නම්, සැමියා බිරි​ඳ ගේ නම් ආදී දේවලුත් ලබාගන්න හැකියාව තියෙනවා.

 

3. නාඩි වාක්‍ය ලෝකෙට ආවේ කොහොමද?

විෂ්ණූ දෙවියන් විසින් මේ නාඩි වාක්‍ය සහිත පුස්කො​ළ පොත් ලියවා ඇති බවට විශ්වාස කෙරෙනවා. ලෝකයේ සිටින සෑම පුද්ගලයෙකුටම අදා​ළ නාඩි වාක්‍ය ලියූ පුස්කො​ළ ඇති බවත් ඒවා සොයාගත යුතු බවත් එක මතයක කියවෙනවා. අනෙක් මතයේ කියවෙන පරිදි අපිට අදා​ළ වූ ඇඟිලි සලකුණු සහ පෞද්ගලික දත්ත අනුව වඩාත් ගැලපෙන නාඩි වාක්‍ය නාඩි ගුරුන් විසින් නිගමනය කරලා අපිට කියනවා. කොහොම වුනත් මේ නාඩි වාක්‍ය සත්‍යයයි කියා පිලිගන්නා විශාල පිරිසක් ලොව පුරා ඉන්නවා.

 

4. ඉතින් අපිට තනියම බලාගන්න බැරිද නාඩි වාක්‍ය?

බොහොම පුරාණ කාලෙක ලියවුනු මේ නාඩි වාක්‍ය සහිත පුස්කො​ළ ලියැවී තිබෙන්නේ පැරණි දෙම​ළ භාෂාවෙන්. දැනට කතාකරන දෙම​ළ භාෂාව දැනගත්තත් මේ නාඩි වාක්‍ය කියවාගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ පැරණි බස කියවලා ඒවායේ තියෙන නියම අර්ථය කියලා දෙන්න නාඩි ගුරුන් අවශ්‍ය වෙනවා. මේ නාඩි ගුරුවරුන් දකුණු ඉන්දියාවේ පළාත් කීපයකින්ම බිහිවෙලා තියෙනවා. ඉන්දියාවේ ඇතැම් ඉහ​ළ පෙ​ළේ රැකියාවන් කරන උදවියත් පසුකලෙක මේ නාඩි වාක්‍ය කියවන්න ඉගෙනගෙන නාඩි ගුරුවරුන් වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා.

 

5. නාඩි අනාවැකිවල නිරවද්‍යතාවය

අපිට අදා​ළ නාඩි වාක්‍ය නිවැරදිව සොයාගැනීම මත නාඩි සාස්තර වල නිවැරදිකම තීරණය වෙනවා. නාඩි ශාස්ත්‍රයත් කොටස් කීපයක් තියෙනවා. රිෂි නාඩි, තන්ත්‍ර නාඩි, ප්‍රශ්​න නාඩි ඒ කොටස් කිහිපයක්. මේවා අතරින් අපිට අදා​ළ වූ ගැලපෙන තොරතුරු සහිත නාඩි පත්‍රය නාඩි ගුරුවරයාට හමු වුනොත් එයින් අපේ ජීවිතයට අදා​ළ සියලු දේ අපිට දැනකියාගන්න හැකියාව ලැබෙනවා. ඒත් එහෙම නොවුනොත් ලැබෙන තොරතුරු නිරවද්‍ය වෙන්නේ නැහැ.

 

6. නාඩි වාක්‍ය බැලීමට යන වියදම

සාමාන්‍ය සාස්තර වලට වඩා නාඩි වාක්‍ය ටිකක් වෙනස්. සාමාන්‍ය සාස්තර වලදී අපි ගිය ගමන් අපිට අදා​ළ අනාවැකි ටික සුටුස් ගාල කියනවා. ඒත් නාඩි ශාස්ත්‍රයේදී අපෙන් ලබාගන්න විස්ත​ර වලට අදා​ළ නාඩි පත්‍ර බලලා තමයි අපි ගැන නාඩි අනාවැකි කියන්නේ. ඒ කියන්නේ සතියක් දෙකක් නැතිනම් මාසයක් විතර අපිට අපේ නාඩි වාක්‍ය සොයාගන්නකල් ඉවසන්න වෙනවා. ඒ වගේම ජීවිත​යේ විවිධ පැතිකඩ කියන මේ නාඩි වාක්‍ය සියල්ලම එකපාර අපට ලබාගන්නට බැහැ. බොහෝ තැන්වල ජීවිතයේ එක් එක් පැතිකඩ වල අනාවැකි වලට වෙන වෙනම විශාල මුදල් මේ නාඩි අනාවැකිකරුවන් විසින් අයකරනවා.

 

7. ලංකාවෙ තත්ත්ව​ය

ලංකාවෙත් 2010-2014 කාලයේ නාඩි වාක්‍ය කියන තැන් කිහිපයක්ම ජනප්‍රිය වෙලා තිබුනා. ඒවාට ගොස් දහස් ග​ණන් මුදල් වියදම් කර ජීවිතය ගැන අසාගත් ඇතැමුන් සිය ජීවිතයේ දේවල් වඩාත් නිවැරදිව කිව්ව බවත් ස​ඳහන් කරලා තියෙනවා. නැසීගිය බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් නාඩි වාක්‍ය ගැන යම් විශ්වාසයක් තිබූ කෙනෙක්. උන්වහන්සේට අනුව උන්වහන්සේගේ ජීවිතය ගැන යම් යම් අනාවැකි ආදිය නාඩි වාක්‍ය වලින් නිවැරදිව කියා තිබෙනවා.

 

8. මේවා ඇත්තද?

නාඩි වාක්‍ය තියෙන පොත පත සුද්දාගේ කාලේ විනාශ කරන්න හදලා පසුව ඒවා සුද්දාගෙන් නැවත ඒ සාම්ප්‍රදායික කණ්ඩායම් විසින් මිලදී ගෙන තියෙනවා. ඉතින් අවුරුදු දාස් ගා​ණක් තිස්සේ ලෝකේ සිටින සියලුම මිනිස්සුගේ දත්ත නාඩි වාක්‍ය වල ලියවිලා තියනවා කියන එක ඇතැම් අය පිලිගන්න කැමති නැහැ. ශාස්ත්‍රයක් ගැන විශ්වාසය තබන අයට එයින් යම් සහනයක් ලැබෙනවා. ඉතින් නාඩි ශාස්ත්‍රය විශ්වාස නොකරන අයට එහි දෝ​ෂ ගොඩක් පේන්නට පුළුවන්. ඒත් නාඩි ගුරුන් විසින් තමුන්ගේ ජීවිතය සම්බන්ධ අනාවැකි නිවැරදිව කිව්ව බවට සහතිකව කියන ලොකු පිරිසකුත් ඉන්දියාවේ සහ ලෝකේ වටේ ඉන්නවා.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *