ලංකාවේ ඉන්න අපිටත්, පිටරටවලින් ලංකාවට එන විදේශිකයින්ටත් ලංකාවේ ට්‍රිප් එකක් යමු කිව්ව ගමන් හිතට එන පැති දෙක තුනක් තියෙනවා. එතනින් ප්‍රමුඛතම තැනක් හිමිවෙන්නේ සුන්දර දකුණුකරයේ වෙරළ තීරයට. දකුණු වෙරළ තීරය කිව්වහම සාමාන්‍යයෙන් හිතට එන්නේ හික්කඩුවෙන් පටන් ගත්තහම ගාල්ල, උණවටුන, වැලිගම, මිරිස්ස හරහා මාතර වෙනකල් වෙරළ තීරයනේ. හැබැයි ඉතින් කළුතර ඉඳලා එහාටත්, හම්බන්තොට ඉඳලා මෙහාටත් සම්පූර්ණ කොටස ගත්තත් දකුණු මුහුදු තීරය තමයි. හරි, කොහොම වුනත් දකුණේ ට්‍රිප් එකක් යනවා නම්, නවතින්න තැනක් හොයනවා නම් ආයෙ අඩියක් අඩියක් ගානේ නවතින්න තැන් තියෙනවා. හැබැයි ප්‍රශ්නත් තියෙනවා. සමහර තැන් වල නංගි පෙන්නලා අක්කා දීලා ගාණ කපනවා. සුපිරි තැන් වල ගණන් අපිට ඔරොත්තු දෙන්නෙ නෑ. තවත් තැන්වල ෆොරීනර්ස්ලට මිසක් අපි වගේ ලෝකල්ස්ලට නවාතැන් දෙන්නෙ නෑ. ඔන්න ඔය වගේ කේස්. ආන්න ඒ නිසා අපි හිතුවා, ඩවුන් සවුත් පැත්තට යන අපේ කොල්ලන්ට කෙල්ලන්ට හොඳටම සෙට් වෙන, ගාණත් පොකට් එකට ලොකු බරක් නැති නවතින්න තැන් කීපයක් ගැන කියන්න.
1. The Bungalow
පටන් ගැන්මට ලියන්නේ අපේ බජට් ෆ්‍රෙන්ඩ්ලි සංකල්පෙන් එහාට ගියපු තැනක් ගැන. හැබැයි මෙතන අනිවාර්යයෙන්ම අපේ ලිස්ට් එකට ඇතුළත් විය යුතු තරම් සුවිශේෂී නිසා මේකත් අපි ගන්නවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බංගලාවක් වුණු මේ තැන තියෙන්නේ ගාල්ල කොටුව ඇතුළේ. ඒ කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් වුණු ගාල්ල ඕලන්ද බලකොටුව ඇතුළේ තියෙන අර ඕලන්ද පන්නයේ බංගලාවක් තමයි මේ. ඉතින් අපි ගාලු කොටුවේ ඇවිදිනකොට දකින අපූරු ගෘහ නිර්මාණය තවදුරටත් අත්විඳින්න පුලුවන් සුඛෝපභෝගී හෝටලයක් තමයි බංගලාව කියන්නේ. මේ බංගලාවේ දවසක් හරි නතර වෙලා ඉන්න කොට දැනෙන අපූරු අතීතකාමී ආනන්දය විස්තර කරන්න වචන වලින් බැරි තරම්.
2. Antic Guesthouse
හිප්ස්ටර් තාලෙට ඩෙකරේට් කරපු මේ පරණ තාලේ ගේ තියෙන්නේ ගාල්ලේ ලයිට් හවුස් එකට මීටර් සීයක් ඈතින්. මේක සම්පූර්ණයෙන්ම ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදපු පරණ බංගලාවක් කියන හැඟීම ලබා නොදුන්නත්, නවතින්න එන අයට විශේෂ ගතියක් ලබාදෙන්න මෙතන කරන අය උත්සාහ කරලා තියෙනවා. මෙතන තියෙන සරල ලී පුටු මේස තියෙන රෙස්ටුරන්ට් එක ඇතුළු හැම දෙයක්ම ඒකට උදාහරණ. ටිකක් වැඩි ගාණක් ගෙවලා මෙතන තියෙන මුහුද පැත්තට මූණ දාපු බැල්කනියක් තියෙන ඩිලක්ස් රූම් එකක් ගන්න පුළුවන්. වැඩි ගාණක් ගෙවන්නේ නැතුවම සාමාන්‍ය ඩබල් රූම් එකක් ගන්න පුළුවන්!
3. Shoba Traveller’s Tree
වෙනසකටත් එක්ක හෝම්ස්ටේ එකකට, එහෙම නැතිනම් ගෙදර වගේ නැවතිලා ඉන්න පුලුවන් ගෙදරකට කැමති නම් මෙන්න ඒකට කියාපු තැන. ගාලු කොටුවට මීටර් තුන්සීයක් දුරින් තියෙන ශෝභාගේ ට්‍රැවලර්ස් ට්‍රී කියන්නේ ගාලු කොටුව ඇතුළේ තියෙන අර පරණ තාලේ ගෙදරක ඉන්න අත්දැකීම ඒ විදියටම ප්‍රතිනිර්මාණය කරන්න සමත් තැනක්. මෙතන බොහොම සරල, ගෙදරක විදියටම නිමවුණු නිදන කාමර එක්ක නිස්කලංකේ වාඩි වෙලා එහෙම ඉන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා. ඇතුළු ගෙඋයන වුනත් බොහොම නිස්කලංක හැඟීමක් තමයි සංචාරකයෙකුට ලබාදෙන්නේ. බොහොම අඩු ගාණකට කාමරයක් මෙතනින් ගන්න පුළුවන්.
4. Citrus Hikkaduwa
සිට්රස් හික්කඩුව කියන්නේ අහපු ගමන් ලොකු හෝටලයක් කියලා හිතේ මැවෙන තැනක්. ඔව්, ලොකු හොටෙල් එකක් තමයි. හැබැයි අපේ බජට් අවශ්‍යතාවයටත්, නවතින්න හොඳ තැනක් වීමේ අවශ්‍යතාවයටත් එක විදියටම ගැලපෙන නිසා මෙතනත් අපේ ලිස්ට් එකට ගන්නවා. සිට්රස් ලෙෂර් ජාලයේම එක රිසෝට් එකක් වෙන සිට්රස් හික්කඩුව තියෙන්නේ, හික්කා ටවුන් එකට විනාඩි දහයක් මෙහායින්. මුහුදත් එක්කම වගේ තියෙන මෙතන බජට් එකට හොඳම කාමරයක් වුනත් ඉතාම සුවපහසුවට නිර්මාණය කරලා තියෙන්නේ. අවශ්‍ය නම් ආයුර්වේද මසාජ් සෙන්ටර් එකට ගිහින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් පූල් එකට පැනලා ෆන් එකේ ඉන්න පුළුවන්. මේ අයගේ රෙස්ටුරන්ට් එක ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ! මෙතන ඉතාම අඩු ගාණකට ගන්න බැරි වුනත්, බජට් එකට රිදෙන්නෙ නැති ගාණකට රූම් එකක් ගන්න පුළුවන්.
5. Thambili Cabanas
හික්කා කොරල් පර වලට හැතැප්මක් දෙකක් ඈතින් මුහුද කිට්ටුවටම වෙන්න පිහිටලා තියෙන තැඹිලි කබානාස් කියන්නේ නම දැකලා නොමග නොයා යුතු තරම් සුඛෝපභෝගී තැනක්. හැබැයි මධ්‍යම ප්‍රමාණයේ බජට් එකකට මෙතනින් රූම් එකක් ගන්න පුළුවන්. බොහොම නවීන පන්නයට, පිළිවෙලට සහ පිරිසිදුවට නිර්මාණය වුණු තැඹිලි කබානාස් වල හැමතැනම පොඩි පෙරදිග ටච් එකක් දෙන විදියේ දේවල් දකින්න ලැබුණත්, ඒ හැමදෙයක්ම බොහොම සුඛෝපභෝගී බවකුත් ගන්නවා. ප්‍රයිවට් බීච් එකකුත් තියෙන නිසා නිදහසේ මුහුදේ අසිරිය විඳින්නත් කිසිම බාධාවක් නෑ. එහෙමත් නැතිනම් නිදහසේ වාඩි වෙලා ඉන්න තැන් වුනත් මෙතන තියෙනවා. එහෙමත් නැතිනම් පූල් එකට බැහැලා නිස්කලංකේ ඉන්නත් පුළුවන් කම තියෙනවා.
6. Unawatuna Nor Lanka Hotel
උණවටුන බීච් එක කිට්ටුවම තියෙන මේ හොටෙල් එක උද්‍යානයක් මැද්දේ පිහිටලා තියෙන්නේ. ඒ නිසා එක පාරටම නම් තමන් ඉන්නේ බීච් එකට ගලක් ගහන දුරින් කියලා ෆීල් වෙන එකක් නෑ. හැබැයි පොඩ්ඩක් වාතාශ්රයෙන් නම් දැනෙනවා බීච් එක මීටර් සීයකට දෙසීයකට එහායින් තියෙන්නේ කියලා. මේ හොටෙල් එක අර නවීන පන්නෙට හැබැයි පරණ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම අනුගමනය කරමින් හදපු විශාල ගෙයක් වගේ. හැබැයි මෙතන හැමදෙයක්ම වගේ බොහොම සුඛෝපභෝගීයි. මුළු පරිසරයම බොහොම නිස්කලංකයි. වෙනමම රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. නිස්කලංකේ පොතක් පතක් කියවන්න තැන් එහෙමත් ඕනෑ තරම් තියෙනවා. ඉතාම අඩු ගණන් වලට නොවුණත්, සාමාන්‍ය බජට් ගාණකට මෙතන සුවපහසුවෙන් ඉන්න පුළුවන්.
7. Villa Olga
සුන්දර උණවටුන මුහුදු තීරයට කිලෝමීටරයක් විතර දුරින් තියෙන, සුවපහසු සහ සුඛෝපභෝගී, ඒත් බජට් එකට අතිශයින්ම හිතකාමී තැනක නවතින්න ඕනෙද? එහෙමනම් විලා ඔල්ගා තමයි තැන. බොහොම සුන්දර උද්‍යානයක් එක්ක තියෙන මේ විලා ඔල්ගා එක නවීන ක්‍රමේට හදපු තැනක්. ඔය පැරණි ගෘහ නිර්මාණ ශිල්පයන් අනං මනං මොකුත් මෙතන දකින්න නෑ. හැබැයි කාමරවල ඉඳලා නාන කාමර දක්වා හැම දෙයක්ම බොහොම පිළිවෙලයි, බොහොම පිරිසිදුයි, බොහොම සුවපහසුයි. විශේෂයෙන්ම මේ වගේ සියලු සුවපහසුකම් වලින් අනූන, බජට් හිතකාමී තැනක් දවස් කීපයක් ඩවුන් සවුත් නවතින්න හිතන සංචාරකයෙක්ට ගැලපෙනවා. ඕන නම් හවස් අතේ මේ සුන්දර උද්‍යානයේ තියෙන පූල් චෙයාර් එකක වාඩි වෙලා, සොබාව සෞන්දර්යය රස විඳිමින් කාලය ගත කරන්නත් පුළුවන්.
මේ හැම තැනක්ම booking.com වගේ හොටෙල් වෙන් කිරීමේ සයිට් වල ලිස්ට් වෙලා තියෙනවා කියන එකත් ඔලුවේ තියාගන්න. සමහර වෙලාවට එහෙම සයිට් එකක් හරහා බුකින් එකක් දාන එක පහසු වෙන්න පුළුවන්. අපි මේ තැන් තෝරගෙන තියෙන්නේත් booking.com එකේ ලිස්ට් වෙලා තියෙන තැන්වලින් අතිවිශිෂ්ටයි කියන්න පුලුවන් රේටින්ග්ස් තියෙන, බජට් එකට හිතකරයි කියන්න පුළුවන් තැන් ගැන පීරලා බලලා තමයි!
Leave a Reply