සිංහලේ අවසාන රජු ඇත්තටම දුෂ්ට පාලකයෙක්ද? නැත්නම් විකෘති කළ ඉතිහාසයක ගොදුරක්ද?

රජෙක් සහ රාජ පාලනයක් කියන්නේ සුන්දර අත්දැකීමක් නෙමෙයි. රාජ පාලනයක් යටතේ රජුට පක්ෂපාතී කණ්ඩායම් වලට බොහෝ වාසි සැලසෙනවා. ඒ වගේම රජුට විරුද්ධ වන අයට අත් වෙන ඉරණම ඉතාම ශෝ​චනීයයි. ඉතින් ඒ රාජ ක්‍රමයේ සමහර කොටස් අමානුෂික හින්දා පසුකාලෙක මිනිස්සු එකතු වෙලා තමුන්ට නායකයෙක් තෝරාගන්න තරමට දියුණු වුනා. අපේ රටේ අවසාන රජතුමා වුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඉතින් ඒ රජතුමා ගැන අපි වෙනස්ම කෝණයකින් තොරතුරු ටිකක් හොයලා බලමු.

 

1. 18න් රජ වූ කුමරු

ලංකාවේ දැනට දේශපාලනයේ මහපුටු සියල්ලම අවුරුදු 70 තරම් වයස්ගත සීයලාගෙන් පිරිලා තියෙනවා. ඒත් ලංකාවේ අවසාන රජතුමා 1798 දී රජ වෙද්දි නාඹර කොළු ගැටයෙක් වුනා. රාජාධි රාජසිංහගෙන් පස්සේ රජවෙන්න වෙනත් සුදුස්සෙක් හිටියා. ඒ වුනාට එවකට අමාත්‍ය මණ්ඩලයේ උන්න ජ්‍යෙෂ්ඨ​ම කෙනෙක් වෙච්චි පිළිමතලව්වේ දිසාව​ගෙ කැමැත්ත හිමි වුනේ මේ කන්නසාමි පුත්‍රයාට. කන්නසාමි රජකම​ට පත්වුනේ අඩු වයසින් වුනත් ඔහු අඛණ්​ඩව අවුරුදු 17ක් රටේ රජකම දැරුවා. පිළිමතලව්වේ පසුකලෙක තමුන් හෝ තමුන්ගේ පරපුරක් රජකරවන්න බලාගෙන බබෙක් වගේ අවුරුදු 18ක කන්නසාමිව ගෙනාව කියලත් ඉතිහාසයේ ​කතාන්දර තියෙනවා. කොහොම වුනත් 18දි පුටුවට ආවත් ලොකු ගැටුම් ගොඩකට මූ​ණදෙන්න කන්නසාමි හෙවත් අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහට සිදු වුනා.

 

2. ශ්‍රී වික්‍රම රාජසිංහ ලාගේ පෙළපත

නායක්කර් රජ පරපුර ඉන්දියාවේ විජයනගර් රජ පෙළපතටත් නෑකම් කියන බොහොම ප්‍රබල එකක්. ඉන්දියාවේ මදුරෙයි වල තවමත් තියෙන සිද්ධස්ථාන වගයක් තියෙනවා, ඒවා හදාල තියෙන්නෙත් නායක්කර් රජවරුන් විසින්. මේ නායක්කර් වරුත් ​වෙල්ලෝරයේ සහ මදුරෙයි වල දෙජාතියක් හිටියා. මේ අපේ අවසාන රාජසිංහගේ පෙළප​තේ මුල් කාලීන නායක්කර්වරුන් හදාපු බලකොටුවක් තාමත් ඉන්දියාවේ වෙල්ලෝරයේ තියෙනවා. අවසාන කාලේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හිටියෙත් මේ බලකොටුවේම තමයි.

 

3. ඩොයිලි සහ රාජසිංහ

රාජසිංහ රජතුමාට සිය කිරුළ අහිමිවෙන්න මූලික වශයෙන්ම ජෝන් ඩොයිලි හේතු වුනා. දකුණු පළාතේ හිටි හිමිවරුන්ගෙන් සිංහල සහ පාලි භාෂාව ඉගෙනගත් ජෝන් ඩොයිලිට ඒ දැනුම එක්ක සිංහල නායකයින් යුද්ධ වලින් තොරව නම්මාගන්නට හැකි වුනා. අනෙක් පසින් එවකට උඩරට රාජධානිය තුල සිටි නිලමේවරුන්ට වෙනදාට වඩා වගාවන් ආදියෙන් ආදායමක් ලැබුනා. ඒ සමගම නිළමේවරුන්ට තරුණ රජු ගැන ඉරිසියාවක් වගේම ඔහු ඉවත් කරන්න උවමනාවකුත් තිබුනා. ඔය කාරුණු කාරණා ඔක්කෝම එක්ක අවසානයේ ශතවර්​ෂ ග​ණනාවක් රැකගෙන හිටපු සිංහලයාගේ රාජධානිය සුද්දාට සටනකින් තොරවම ඩැහැගන්නට ලැබුනා. මේ ඩොයිලි ගහපු උප්පරවැට්ටි ගැන පසුකාලීන ඇතැම් සුද්දන් පවා එච්චර සතුටු වුනේ නැහැ. රජු සිටියදීම සුද්දාට අවශ්‍ය දේ කරගන්න තිබුනා කියලාත් පස්සේ කාලෙක සුද්දෝ කියලා තිබුනා.

 

4. 1803 සුද්දන් කඩු ගෑ රාසිං සෙන්පති

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රිසි යන තුන් ජාතියටම උඩරට යටත් කරගන්නට උවමනාකම තිබුනා. එයින් ලන්දේසීන් වඩාත් මිත්‍රශීලි ලෙස සිය රාජකාරිය කරගන්නට සමත් උනා. ඉංග්‍රීසින්ට වදයක් වූ මේ උඩරට කොටස හරහා කොළඹ සිට මඩකලපුවට පාරක් හදන්නට ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයාට ඕනි වුනා. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එයට විරුද්ධ වුනා. 1803 දී ප්‍රබල ඉංග්‍රීසි හේවායෝ පන්සියයකට ආසන්න පිරිසක් උඩරට රාජසිංහට පහර එල්ල කරන්නට උඩරටට ගියා. එහෙත් රාජසිංහ රජු ඔවුන් දරුණු පරාජයකට ලක් ක​ළේ අපකීර්තිමත් සලකුණක් ඉංගිරිසි හමුදාවන්ට අත්පත් කරමින්. ඒ හමුදාව ප්‍රංශ හමුදාවන්ට එරෙහිව සටන් ක​ළ දක්ෂ හමුදාවක් වුවත් තරුණ කන්නසාමි කුමාරයාට පැරදුනා. එයින් පසු ඉංග්‍රීසිහු කලක් යනතෙක් නැවත සටනකට ආවේ නැහැ.

 

5. රජුගේ ප්‍රතිරූපය විනාශ කිරීම

ත්‍රස්​ත නායකයෙක් හෝ වෙනත් රටක නායකයෙක් හෝ එලවා දැමූ විට පසුව බලය ලබාගන්නා කණ්ඩායම කිසි විටෙකත් ඒ පැරණි නායකයින්ව හො​ඳ මිනිසුන් ලෙස දකින්නේ නැහැ. මහජනයාට දකින්නට ඉඩ දෙන්නේ ද නැහැ. එය ලෝකයේ සදාතනික සත්‍යයක්. ශ්‍රී වික්‍රම රාජසිංහ සම්බන්ධයෙන්ද එය එසේමයි. රාජසිංහ රජතුමාට අවනත නොවී අත්තනෝමතිකව ඇහැලේපොල සහ පිළිමතලව්වේ ඇතුළු නිළමේවරු කිහිප අවස්ථාවකදීම හැසිරුනා. එවැනි වරදකදී දිය යුතු දඬුවම පාරම්පරික රාජ නීතිය අනුවම සම්ප්‍රදාය ලෙසම පැවතුනා. අවසානයේ ඒ දඬුවම් වලට බියේ ඇහැළේපොල සැ​ඟවුනා. ඉන් පසු සිදුවූ රජුගේ දඬුවම් දීම් එවක රාජ නීතිය අනුව සිදුවුවවත් ඒ සිදුවීම් වඩාත් සංවේදී ආකාරයට එවකට සිටි නිළමේවරු සහ ඉංග්‍රිසින් විසින් මහජනයාගේ මනසට ඇතුල් කළා. රාජසිංහ රජු ජීවත් වූයේ අද නොව 1800 ග​ණන් වල මුල් කාලේ. ඇහැලේපොල කුමාරිහාමි හා දරුවන් ගැන වූ සිද්ධිය අනුවේදනීය ය. එහෙත් එකල සුද්දන්ගේ රටවල පවා රාජද්‍රෝහී බවට ලැබුණු දඬුවම් සුන්දර ඒවා නොවූ බව මහාචාර්ය ගනනාථ ඔබේසේකර ගේ අදහස වෙනවා.

 

6. රජුගේ අවසාන කාලය

රජතුමා සිරකර තැබුවාය කියලා කිය​න තැනක් ​තවමත් කොළඹ කොටුවේ  තිබෙනවා. ඒත් එවැනි කුඩා කොටුවක රාජසිංහ රජතුමා මාස ග​ණනාවක් රැඳී සිටියාය කියලා සිතන්නට අපහසු බව කීප දෙනෙක්ම ප්‍රකාශ කරලා තිබුනා. රජතුමා අවසානයේ දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයේ කොටුවට රැගෙන යනවා. මේ කොටුවට රැගෙන යෑමේ සිට රාජසිංහ රජතුමා ඇතුලු නෑයින් එහි කලක් වාසය කිරීම ගැන කතාන්දර දෙකක් තියෙනවා. එයින් එකකින් කියවෙන ලෙස ඉතාම දුක්ඛිත තත්ත්වයකින් තමයි රජතුමා ඉන්දියානු වෙරළට ගොඩ බහින්නේ. එතැන් සිට වෙල්ලෝරය දක්වා යන්නට ගමන් පහසුව වත් ඉංගිරිසි ආණ්ඩුව සලසන්නේ නැහැ. ඒත් මිනිස්සු එකතු වෙලා කවුරු වුනත් රජෙක් නෙවද කියලා ඔහුව දෝලාවක තියාගෙන යනවා. ඉන් පසුත් කොටුව තුල දී රජතුමාට හො​ඳ ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒ කතාව ලියා තිබෙන්නෙ රාජසිංහ රජතුමාගෙන් පසුව පැවත එන මුණුබුරන් විසින්. ඒත් ඉංගිරිසින් ලියා තිබෙන දේවල් අනුව රාජසිංහ රජතුමාට වෙල්ලෝර බලකොටුවේදී හො​ඳට සලකලා තියෙනවා.

 

7. රජතුමාගේ හැඩහුරුකම

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අඩි හයක් පමණ උස, ඒ අනුව මහත දේහධාරී අයෙක් බව ඉංග්‍රීසින්ගේ වාර්තා අනුව පෙනීයනවා. එසේම ඔහුව පසුකාලීනව ඉන්දියාවේදී හමු වූ නිලධාරින්ට අනුවද රාජසිංහ රජු යනු නිකම්ම නිකම් මෝඩ පහේ නිකමෙකු නෙමෙයි. රාජසිංහ රජු සිර ගතව සිටියදී අතීතය ගැන අසා තිබූ ප්‍රශ්​න වලට දක්ෂ අන්දමින් සිහි බුද්ධියෙන් උත්තර දීලා තියෙනවා. අතීත සම්භවය කුමක් වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ ලංකාවේ ඉපදුන කුමාරයෙක්. ඒ වගේම ඔහු රාජ්‍යය අහිමි වී ඉන්දියාවට ගියත් බෞද්ධාගම අත හැරියේ නැතිව මියැදෙන තෙක්ම බෞද්ධයෙක් වී සිටි බව ස​ඳහන් වෙලා තියෙනවා.

 

සිංහල රාජවංශයට තිබුන අවසාන හුස්මත් වාතලයට එකතු කරමින් 1832 දී රාජසිංහ රජු මියගියා. ඒත් ඔහුට එරෙහිව නැගුන අවලාද ඔහුගේ චරිතයට ඉංගිරිසින් විසින් නැගූ පදනමක් නැති චෝදනා අදටත් අපිට අහන්නට ලැබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *