ෆේස්බුක් කියන්නේ මේ වෙනකොට බහුකාර්ය විශ්වයක් වගේ තැනක්. හැබැයි පටන් ගැන්මට නම් ෆේස්බුක් එකෙන් ගොඩක් දුරට සිද්ධ වුනේ මිනිස්සුන්ව එකිනෙකා එක්ක සම්බන්ධ කිරීම තමයි. වෙනත් විදියකට කිව්වොත් එක්තරා විදියකට ඩේටින් සයිට් එකක් විදියට, ඒ කියන්නේ කෙල්ලො කොල්ලො, කොල්ලො කොල්ලො, කෙල්ලො කෙල්ලො සෙට් වෙන්න පුළුවන් තැනක් විදියටත් ෆේස්බුක් එක ක්‍රියාත්මක වුනා. හරි, අද වෙනකොට වෙළඳාම් කරන්න, ප්‍රොමෝෂන් වලට, විවිධ සේවා වලට, පොලිටික්ස් වලට, සංවාද වලට වගේ අටෝරාසියක් දේවලට ෆේස්බුක් එක භාවිතා වුනත්, තාමත් කෙල්ලෙක්ව කොල්ලෙක්ව සෙට් කරගන්නත් ෆේස්බුක් එක භාවිතා වෙනවා කියන එක බොරු නෙවෙයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට ෆේස්බුක් එකේ ස්වභාවය නිසා ඔය ගමේ පන්සලේ කෙල්ලෙක්ව දැකලා, පොඩි ඇස් වලින් ඉඟි බිඟි ගිහිල්ලා, අම්මගේ ඇස් වහලා ලියුමක් දීලා කැමැත්ත අහනවා වගේ සරල විදියට කෙල්ලෙක්ව කොල්ලෙක්ව සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඒ නිසාම ඔය ෆේස්බුක් එකේ ස්වභාවය නොදැන කෙල්ලෝ සෙට් කරගන්න ගියපු කොල්ලෝ සමහර වෙලාවට හෝල් සේල් රෙදි ගලෝගන්නවා. ඔව්, අපි කථා කරන්නේ ෆේස්බුක් එකෙන් කෙල්ලෝ සෙට් කරගන්න ගිහින් කොල්ලෝ චාටර් වෙන අවස්ථා ගැන තමයි. මේවා දැනගෙන හිටියහම අනාගතේදී ඔය වගේ ඇබැද්දි වලින් ගැලවෙන්න හරි පුළුවන් වේවිනේ!
1. ඉන්බොක්ස් බැණුම්
සාපේක්ෂව ගත්තහම මේක ඒ තරම් ගැටලුකාරී දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඉන්බොක්ස් චැට් සීන් එකේ ගිහිල්ලා ගිහිල්ලා ආදරේ ඉල්ලලා, ප්‍රතික්ෂේප වුනාටත් පස්සේ වාත වෙන්න යන කොල්ලෙක්ට තමයි මේ ඇබැද්දිය වෙන්නේ. සරල දෙයක්. වෙන මොනවත් නෙවෙයි, කෙල්ලගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න වෙන එක. ඒත් ඉතින් ඒක ඉන්බොක්ස් සිද්ධ වෙන නිසා වෙන කාටවත් පේන්නෙ නෑනේ. එතනින් එහාට කොල්ලා පාඩමක් ඉගෙන ගෙන පාඩුවේ හිටියොත් සිද්ධිය පිටට යන්නෙත් නෑ!
2. වටේම දන්නවා!
මේක නම් සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ නොවුණත් වෙන්න පුළුවන් දෙයක්. ඒ තමයි සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලෙක් තමන්ගෙන් යාලුවෙන්න ඇහුවහම ඒකට බැහැ කියලා නවතින්නෙ නෑ, ඒක ගිහින් අනික් යාලු කෙල්ලෝ සෙට් එකත් එක්කත් කියනවා “අනී බලන්න අර කළු රිලවෙක් වගේ එකා මේ මගෙන් යාලු වෙන්න අහ අහා කරදර කරනවනේ” කියලා. අනික් කෙල්ලෝ සෙට් එකත් දෙයියනේ කියලා ඕක තව විස්සකට තිහකට විතර කියනවා. දන්නවනේ ගොඩක් වෙලාවට ෆේස්බුක් කියන්නෙම එක්කෙනාට එක්කෙනා සම්බන්ධ වුණු තැනක් කියලා. ඉතින් ඔය කථාව වටෙන් වටෙන් ගිහිල්ලා අන්තිමට අපි දන්න එවුන් ඔක්කොමල්ලවත් දැනුවත් කරගෙන තමයි අපි ගාවට එන්නේ!
3. මං පව් නංකි!
සමහර කොල්ලෝ කෙල්ලෙක්ව සෙට් කරගන්න කියලා ගියාට පස්සේ එක්කෝ හෙනම හැඟීම්බර වෙනවා. ආයි කෙල්ල තමන් එක්ක යාලු වෙන්න ඕන ඇයි කියලා කියන්න මාරම හැඟීම්බර ටෝක්ස් දෙනවා චැට් එකේ. හැබැයි ඉතින් කෙල්ලට මේක විකාරයක් විතරයි. මේ වයස පිරුණු කොල්ලෙක් ඉන්බොක්ස් ඇවිල්ලා එල්ලි එල්ලී තමන්ගේ දුක කියව කියවා වාත වෙනවා කියන එක තමයි කෙල්ලට තේරෙන්නේ. කොහොම හරි ඉතින් අන්තිමට කොල්ලට කැමති වෙන්නේ නැහැ විතරක් නෙවෙයි, කොල්ලාගේ පෞරුෂය ගැනත් බොහොම අප්සට් හැඟීමක් තමයි කෙල්ල ගාව ඉතුරු වෙන්නේ. කෙල්ල ඔය අප්සට් හැඟීම තමන් ගාවම තියාගෙන හිටියොත් තත්ත්වේ ෂේප්. එහෙම නැතුව උඩ කිවුවා වගේ යාලු මිත්‍ර රොයිටර්ලට දුන්නොත් එහෙම රෙදි ඉල්ලෙ තමයි!
4. ස්ක්‍රීන් ෂොට්ස්!
මෙන්න මේක ෆේස්බුක් යුගේදී කෙනෙක්ට වෙන්න පුළුවන් භයානකම දෙයක්. සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන දෙයක්. දැන් ඕනම ස්මාට්ෆෝන් එකක ස්ක්‍රීන් ෂොට් එකක් ගහනවා කියන්නේ ඉතාම ලේසි වැඩක්. කම්පියුටරේ වුනත් ඒක එහෙමයි. දැන් අපි ඉන්බොක්ස් ඇවිත් කථා කරනකොට සාමාන්‍යයෙන් පබ්ලික් කමෙන්ට් එකක් දානවා වගේ පරිස්සම් වෙන්නෙ නැහැනේ. සමහර වෙලාවට අපේ අතින් ඕන නැති දේවලුත් කියවෙන්න පුළුවන් ඉන්බොක්ස් එකේ. කොහොමද ඒ වෙලාවට කෙල්ල අපි කියන දේවල් පටස් ගාලා ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම ගහලා තියාගත්තොත්? අපි පස්සේ අර චැට් ලයින් මැකුවත් වැඩක් නෑ. ඊට පස්සේ ඒ ස්ක්‍රීන් ෂොට් වටේට වටේට අතින් අත යන්න ගත්තොත් එහෙම ෆේස්බුක් එකේ ඉඳලා වැඩක්ම නෑ. මේ කියන්නේ අපි ආදරේ ඉල්ලගෙන ගිහිල්ලා ඕන නැති දේවල් ඉන්බොක්ස් කියලා, කෙල්ල ඒ කතන්දර වල ස්ක්‍රීන් ෂොට් ගත්තොත් වෙන දේ!
5. පබ්ලික් ස්ටේටස්!
සමහර කොල්ලෝ ඉන්නවා එක පාරක් කෙල්ලෙක්ව සෙට් කරගන්න ගිහින් කෙල්ල අකමැති වුනා කියලා පාඩමක් ඉගෙන ගන්නෙ නැති. ආයෙ ආයෙත් ට්‍රයි කරනවා. එක එක වන්නම් වලින් එනවා. අන්තිමට කෙල්ලට හොඳම වර්ගෙන් කම්බි ඇණයක වෙනවා. ආන්න එතකොට කෙල්ලට සුපිරි එකෙන්ම මල පනිනවා. කෙලින්ම ගිහිල්ලා දානවා පබ්ලික් ස්ටේටස් එකක්. ආයි ඒ ස්ටේටස් එකේ තමන්ගේ නම සඳහන් නොවුණත්, තමන්ගේ පර්සනැලිටිය බල්ලටම වැටෙන ලෙවල් එකට කෙල්ල ලියනවා. මුලින් පස්සෙන් ආවහම පව් කියලා ඉවසපු හැටි, ඒත් ඒක ගණන් නොගෙන ආයෙ ආයෙත් කෙල්ලව ෆලෝ කරපු හැටි, කෙල්ල දාන දාන ෆොටෝ එකට ස්ටිකර් කමෙන්ට් විසිපන්දාහ ගාණෙ දදා කෙල්ලගේ ඇටෙන්ෂන් ගන්න ට්‍රයි කරපු හැටි, ඉන්බොක්ස් උතුරන කල් වාත වුණු හැටි වගේ ඔක්කොම කතන්දර ලුණු ඇඹුල් ඇතුව ඔන්න කෙල්ල ස්ටේටස් එකේ ලියනවා. ආන්න එතකොට එනවා දායක සබාව. ඇවිත් ‘උයාගේ කියුටෙක්ස් හම යනකල් මෙහෙම ස්ටේටස් ටයිප් කරන්න සිද්ධ කරපු දාස්පෙති හිකනලා කවුද අනේ’ කියලා අහනවා. කෙල්ල කියනවා ‘ඉන්බොක්ස්’ කියලා! ඒ කියන්නේ ඉන්බොක්ස් එකේ නම කිව්වද පිංවත? නැත්තං?? අනිවාර්යයෙන්ම ඉන්බොක්ස් ඇවිත් අහන එවුන්ට මේ ස්ටේටස් එක මොන සතා ගැනද කියලා කෙල්ල කියනවා. ඕක ටෙක්සාස් වල ලැව් ගින්නක් වගේ පැතිරිලා යනවා. ඊට පස්සෙ ඉතින් රෙදි ඇඳගෙන ඉන්න වෙන්නෙ නෑ!
6. ඔක්කොම එකතු වෙලා රිපෝට් කරමු!
මේ වගේ දේවල් නම් ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ සීමාවත් ඉක්මවලා කෙල්ලෙක්ව සෙට් කරගන්න දඟලන මැන්ටල් වලට තමයි. මේ වගේ දේකට නම් අපිට පවු කියලා කියන්නවත් බැහැ. දැන් ඔය සමහර කොල්ලො ඉන්නවා, කෙල්ලගෙන් ආදරේ අයදුම් කරලා බැරිම තැන ගේමෙන් කෙල්ලව දාගන්න බලනවා. එක්කෝ කෙල්ලගේ නමෙන් වෙන ප්‍රොෆයිල් හදනවා, එක්කෝ ඉන්බොක්ස් ඇවිත් තර්ජනේ කරනවා. ඔය වගේ නොයෙකුත් සීන්. ආන්න එතකොට කෙල්ලගේ ඉවසීමේ කට්ට පනිනවා. කෙල්ල කෙලින්ම කතන්දරේ ඇද නැතුවම තමන් ඉන්න ප්‍රයිවට් ගෘප් චැට් එකක, ප්‍රයිවට් ගෘප් එකක එහෙම දාලා, කොල්ලගේ ප්‍රොෆයිල් ලින්ක් එකත් ඒකටම දාලා ඉල්ලලා සිටිනවා මුන්දැව රිපෝට් කරන්න කියලා. සමහර වෙලාවට මේ මාස් රිපෝට් ගැහිල්ල පබ්ලික් යන්නත් පුළුවන්. ඒ කොයි විදියට වුනත් ඉතින් එතනින් තමන්ගේ චරිතේ ඉවර වෙනවා විතරක් නෙවෙයි, ගොඩක් දුරට තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එකත් ඉවර වෙනවා.
7. මීම්ස් එකක් ඔබේ නමින්!
මේකත් ඉතින් වෙන්න පුළුවන් ‘හරි පව්’ සීන් එකක් තමයි එක අතකට. අනික් අතට එච්චර හිතන්න දේකුත් නෙවෙයි. මොකද දැන් ඔය අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝස් දාලා දවසකට මීම්ස් විස්ස තිහ හැදෙනවනේ. කෝ ජනාධිපතිතුමා ඔව්වට සැලෙනවද? නැහැනේ. අන්න ඒ නිසා කෙල්ලෙක්ගෙන් ආදරේ ඉල්ලලා චාටර් වුණු චැට් ස්ක්‍රීන් ෂොට්, කෙල්ලගේ ආදරේ අයැදලා ගොන් කමෙන්ට්ස් දාලා ඒකට කෙල්ලගෙන් ලුණු ඇඹුල් ඇතිවම හම්බවුණු රිප්ලයි කමෙන්ට්ස් වගේ දේවල් වලින් ඔය පේජ් කාරයෝ මීම්ස් හදලා තමන්ව ජාත්‍යන්තරයට යැව්වාට සැලෙන්න දේකුත් නෑ. කලිසම විතරනේ ගැලවෙන්නේ!
Leave a Reply