සෙක්ස් නිසා ආන්දෝලනයට ලක් වුණු පොත්

බටහිර රටවල ආභාෂය ලබන්නට කලින් පෙරදිග රටවල ලිංගිකත්වය කියන දේ සාමාන්‍ය මාතෘකාවක් වුණා. උදාහරණයක් විදිහට කාමසූත්රය ලියවුණා කියන්නේ ඊට පෙර පැවති පැවති ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථවල ආභාෂය ලබමින්. අපි වැඩිපුර නොදන්නවා වුණාට අනංගරංග, රතිරහස්‍ය වගේ පොතුත් කාමාස්වාදය ගැන ලියවිලා තියෙනවා. අපරදිග රටවල අතීතයේදී පැවතුණේ මීට වඩා සපුරා වෙනස් සංස්කෘතියක්. ඔවුන්ට ලිංගිකත්වය සඟවා තබා ගෙන කතා කළ මාතෘකාවක් වුණා. දිගු කාලයක් ඔවුන් යටතේ සිටීම  නිසා අද වෙනකොට අපේ සංස්කෘතීන් ඇතුළෙත් ලිංගිකත්වය රහස් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට බටහිර රටවල් නම් තමන් බලාගෙන හිටපු සුචරිතවාදී ආකල්ප වලින් බැහැර වෙලා ඉන්නවා.

කොහොම වුණත් මේ ආකල්ප නිසාමද මන්දා සමහර අවස්ථාවල ලිංගිකත්වය පිළිබඳව එළිපිට කතා කරපු සාහිත්‍ය කෘතිවලට කුඩම්මාගේ සැලකිලි බටහිර රටවලින් ලැබිලා තියෙනවා. මේ නිසා අපි අද හිතුවා එහෙම කුඩම්මාගේ සැලකිලි ලැබුන සාහිත්‍ය කෘති කීපයක් ගැන කතා කරන්න.

 

1. Lady  Chatterley’s Lover

ඩී. එච් ලෝරන්ස් විසින් ලියන ලද මේ නවකතාව මුලින්ම ප්‍රකාශනයට පත් වෙන්නේ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ දී. කුලවත් කාන්තාවක් සහ උයන් පල්ලෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයක් මේ කෘතියට පාදක කර ගෙන තියෙනවා. මහා බ්‍රිතාන්‍යයේ ජපානයේ සහ ඉන්දියාවේ මේ කෘතියට එරෙහිව නඩු පවරනු ලැබුවා. කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ පොත තහනම් කරනු ලැබුවා. ඕස්ට්‍රේලියාව තු​ළ මේ පොත පමණක් නොව මේ පොත තහනම් කිරීමට අදාළ නඩු විභාගය ඇතු​ළත් කෘති පවා තහනම් කරනු ලැබුවා.

 

2. Ulysses

අද වෙනකොට මේ නවකතාව සැලකෙන්නේ ජේම්ස් ජොයිස් විසින් ලියන ලද විශිෂ්ටතම නවකතාවක් විදිහට. කතාවටත් කියනවානේ දහතුන නපුරුයි කියලා. මේ නවකතාවේ දහතුන් වෙනි පරිච්ඡේදය නිසා ලොකු කලබගෑනියක් ඒ දවස්වල ඇති වුණා. Nausicaa විදිහට නම් කරලා තිබ්බ මේ පරිච්ඡේදයේ ස්වයං වින්දනය ගැන කරුණු වැඩිපු​ර ඇතුළත් වී​ම වීම කලබගෑනියට හේතු වුණා. ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ පොත තහනමට ලක් වුණා. මේ නවකතාව මුලින්ම පළ වුණේ සඟරාවක. එරට තැපැල් දෙපාර්තමේන්තුව මඟින් මෙරටට එවා ඇති එම සඟරා පිටපත් ගිනි තැබීම සුලබව සිදු වුණා. මෙම කාලය තුළ බොහෝ දෙනා විවිධාකාර අයථා ක්‍රම මඟින් මෙම සඟරාව ගෙන්වා වැඩි මුදලට අලෙවි කිරීම සිදු කළා.

 

3. The story of O 

මේ පොත ලියවෙන්නේ අපූරු විදියකට. ප්‍රංශ ජනමාධ්‍යවේදිනියක වන Anne Desclos එවකට තමන්ගේ පෙම්වතා සහ රැකියා ස්ථානයේ ප්‍රධානියා වන Jean Paulhan හට ත්‍යාගයක් විදිහට මේ පොත රචනා කරනවා. ප්‍රකාශකයෙකු වුණ ඔහු විසින් මෙය ප්‍රකාශනයට පත් කරන්නේ Pauline Reage යන ආරූඪ නාමය කතුවරියට ලබාදෙමින්. තමන්ගේ පෙම්වතා විසින් ප්‍රභූවරුන් කීපය​කගේ ලිංගික සේවයට යොමු කරන තරුණියකගේ කතාවක් මෙයට ඇතුළත් වෙනවා. සාමාන්‍යයෙන් නිදහස් මතධාරී රටක් විදිහට සැලකෙන ප්‍රංශය තුළ පවා මෙ​ය අසභ්‍ය ප්‍රකාශනයක් ලෙස දිගු කාලයක් තහනමට ලක් වෙනවා.

 

4. Lolita

මැදි වයසේ පුද්ගලයෙකු සහ දොළොස් හැවිරිදි දැරියක අත​ර ඇතිවන සම්බන්ධතාවය වැල්ඩ්මීර් නබකොව්ගේ Lolita සඳහා පාදක වී තිබෙනවා. ඇතැම් සාහිත්‍ය විචාරකයන් තමන් දුටු අසභ්‍ය ම කෘතිය විදිහට Lolita සලකනු ලැබුවා. වෙනත් භාෂා ගණනාවකට පරිවර්තනය වුණු සහ වාර්තා ගත පිටපත් සංඛ්‍යාවක් අලෙවි වුණු කෘතියක් විදිහට Lolita  පාඨකයන්ගේ හදවත දැඩි ව ග්‍රහණය කර ගැනීමට සමත් වුණා.

 

5. The Tropic of Cancer 

1930 දී පැරීසිය බලා පිටත් වන තරුණ ඇමරිකානු ලේඛකයෙක් පැරීසිය පුරා සැරි සරමින් කාමාස්වාදය සොයා යන ආකාරය පිළිබඳව මේ නවකතාවට තේමාව වී තිබෙනවා. ගණිකාවන්, තැරැව්කරුවන් සහ ලේඛකයන්ගේ ලිංගික සම්බන්ධතාව විචිත්‍රවත්ව මෙහි විස්තර කෙරෙනවා.1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙය පළවීමත් සමග රට පුරා නඩු 60කට අධික ප්‍රමාණයක​ට මේ කෘතියට මුහුණ දීමට සිදුවුණා.

 

6. The Satanic Verses

අපි කලින් කතා කතා කරපු පොත්වලට වැටුණේ නඩු විතරයි. හැබැයි මේ පොත ලිවීම හින්දා සල්මාන් රුෂ්ඩිව මරා දැමිය යුතුයි කියලා ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි තීරණය කළා. මේකට හේතුව වුණේ මේ කතාව ඇතුළේ මොහොමඩ් නබිතුමාගේ භාර්යාවන් ආකාරයෙන් සැරසුණු ගණිකාවන් පිරිසක් ගැන සඳහන් වීම. මේ පොතට පින්සිද්ද වෙන්න සල්මාන් රුෂ්ඩිට බටහිර රටවල රැකවරණය ලබා ගන්න සිද්ධ වුණා .

 

7. Fifty shades of Grey

ඊ.එල් ජේම්ස් විසින් රචනා වුණු මේ පොතට වඩා ජනප්‍රිය වුණේ චිත්‍රපටිය .ලිංගිකත්වය පිළිබඳව නව මානයක් ගැන ප්‍රේක්ෂකයන්ට වගේම පාඨකයන්ව යොමුකරපු පොතක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේ පොතටවත් සංවිධානාත්මක  විරෝධයක් එල්ල වුණේ නෑ.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් අදහස් පළ කරන්නත් ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *