නිතර කන කෙසෙල් වලින් හදාගමුද මේ අපූරු කෑම වර්ග?

කෙසෙල් නම් ඉතින් නිතර දෙවේලේ ඕනම ගේක තියෙන පළතුරක්. කෑම වේලකට පස්සෙ අතුරුපසකටත්, හවසක තේ ටිකක් බොන්න කලින් බිස්කට් එකක් එක්කත් කෙසෙල් ගෙඩියක් කන එක පුරුද්දකට ගිහින්. මෙහෙම නිකම්ම කන කෙසෙල් වලින් රසවත් කෑම හදන්න පුළුවන් කියල එච්චර හිතුවෙ නෑ නේද? ඔන්න කෙසෙල් වලින් රසට හදාගන්න පුළුවන් කෑම රෙසිපි ටිකක් අපි ගෙනාව. හදලම බලන්නකො. 

 

1. බනානා බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳින් ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි 3ක්
  2. පාන්පිටි ග්‍රෑම් 250
  3. සීනි ග්‍රෑම් 250
  4. බටර් ග්‍රෑම් 125
  5. වැනිලා තේ හැඳි 1
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1
  7. චොක්ලට් පව්ඩර් මේස හැඳි 1
  8. බිත්තර 3
  9. දෙහි ඇඹුල් ටිකක්

 

  • පිටි ග්‍රෑම් 250න් මේස හැඳි 4ක් ඉවත් කර එයට බේකින් පව්ඩර් හා චොක්ලට් පව්ඩර් එක්ක​ර 2 වරක් හලාගන්න.
  • කෙසෙල් ටික පොඩි කර දෙහි ඇඹුල් ටික දාගන්න. 
  • බටර් හා සීනි වෙනම බඳුනකට එකතු කර බීට් කරගන්න. සීනි හොඳින් දියවුනාම බිත්තර එකින් එක එකතු කරන්න. 
  • දැන් පොඩි කරගත් කෙසෙල් ටික දාගන්න. හලාගත් පිටි ටික ටික එක් කර පත්තකින් කළවම් කරන්න. අවසානයට වැනිලා එකතු කරන්න.
  • සෙල්සියස් 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 40ක් පමණ බේක් කරගන්න.

 

2. බනානා පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

පෑන්කේක් සඳහා

  1. කෙසෙල් ​ගෙඩි 2
  2. පාන්පිටි කෝප්ප  1 1/2
  3. බිත්තර 2
  4. සීනි කෝප්ප 1/2
  5. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  6. වැනිලා බිංදු 5
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1
  8. බටර්
  9. ලුණු

 

ටොපින් එක සඳහා

  1. සීනි ටිකක්
  2. වතුර ටිකක්
  3. පෙති කපාගත් කෙසෙල් ගෙඩියක්

 

පෑන් කේක් එක සාදන ආකාර​ය

  • කෙසෙල් ගෙඩි ටික, සීනි, වැනිලා, කිරි හා බිත්තර එකට බ්ලෙන්ඩ් කරගන්න. දැන් පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හොඳට කලවම් කරන්න. මේකට කලින් හදාගත්තු කෙසෙල් මිශ්‍රණය දාගන්න. ලුණු රස අනුව දාගන්න.
  • නන්ස්ටික් පෑන් එකකට බටර් ටිකක් දාලා මිශ්‍රණයෙන් ටිකක් දාගෙන දෙපැත්තම රන්වන් පාට වෙනතෙක් පිසගන්න.

 

ටොපින් එක සාදන ආකාර​ය

  • වියලි භාජනයකට සීනි ටිකක් දාලා අඩු ගින්දරේ ලිප තියන්න. ඒක ටිකක් දියවෙලා දුඹුරු පාටකට එනකොට වතුර ටිකක් දාගන්න. සීනි සහ වතුර හොඳින් මිශ්‍ර වෙලා පැණි පදම එනකොට කපාගත් කෙසෙල් කෑලි ටික දාගන්න. දැන් ලිප ඕෆ් කරගන්න.
  • දැන් සාදාගත් පෑන්කේක් උඩට මේ පැණි මිශ්‍රණය දාලා කෑමට ගන්න.

 

3. බනානා මෆින්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. කෙසෙල් ගෙඩි 3
  2. සීනි කෝප්ප 1/3 ( ග්‍රෑම් 68)
  3. වැනිලා තේ හැඳි 1
  4. බිත්තර 2
  5. ලුණු ටිකක්
  6. දියකරගත් බටර් ග්‍රෑම් 70ක්
  7. පාන්පිටි කෝප්ප 1 1/2
  8. බේකින් පව්ඩර් තේ හැඳි 1
  9. බේකින් සෝඩා තේ හැඳි  1/2

 

  • කෙසෙල් ටික පොඩි කරගන්න. ඒකට සීනි හා වැනිලා ටික දාගන්න. හොඳට කලවම් කරලා බිත්තර දෙක දාගන්න. ලුණු ඇති පදම දාගන්න. දිය කරගත් බටර් ටිකත් දාගෙන හොඳට කලවම් කරගන්න.
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් හා බේකින් සෝඩා එකතු කර කළවම් කරගන්න. දැන් පිටි ටික හලාගන්න. හලාගත් පිටි බනානා මිශ්‍රණයට එකතු කරල හොඳට කළවම් කරගන්න. වැඩිය වික්ස් කරන්නත් එපා.
  • මෆින් ට්‍රේ වලට ලයිනර්ස් දාලා බැටර් එකෙන් ටික ටික දාලා සෙල්සියස් 180ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් විතර බේක් කරගන්න.

 

4. බනානා මිල්ක්ශේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. කිරි කෝප්ප 2 
  2. ආනමාළු ගෙඩි 2
  3. අයිස්ක්‍රීම් හැඳි 3
  4. අයිස් කැට ටිකක්
  5. වැනිලා තේ හැඳි  1
  6. සීනි තේ හැඳි 4
  7. ලුණු ටිකක්

 

  • මේ සියල්ලම එකට දාලා බ්ලෙන්ඩ් කරන්න. අයිස් කැට ටිකත් දාගන්න. ලුණු රස අනුව දාලා ෆ්‍රිජ් එකේ තියල හොඳට කූල් කරල පිළිගන්වන්න.

 

5. බනානා ෆ්‍රිටර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 4-5
  2. පාන් පිටි ටිකක්
  3. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  4. බිත්තර 2
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1/4
  6. සීනි ටිකක්
  7. ලුණු

 

ෂුගර් සිරප් එකට

  1. සීනි
  2. වතුර

 

  • කෙසෙල් හැර අනික් සියලුම ​දේ බ්ලෙන්ඩ් කරගෙන උකු බැටර් එකක් හදාගන්න.
  • වතුර හා සීනි මදගින්නෙ ලිප තබා උණු කරගන්න. කැමති නම් පැණි ටිකකුත් එකතු කරන්න. පෙ​ණ දාගෙන එනකොට ලිප ඕෆ් කරන්න. ගොඩක් දියාරු නොවන විදියට හදාගන්න.
  • දැන් කෙසෙල් ​ගෙඩි ලෙල්ල ඉවත් කරලා දිග අතට දෙකට කපාගන්න. කලින් හදාගත්තු බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් බේරෙන්න තියන්න. දැන් හදාගත් ෂුගර් සිරප් එකේ මේ කෙසෙල් තීරු දාලා ටික වෙලාවක් තියලා කෑමට ගන්න.

 

6. බනානා පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. කෙසෙල්ගෙඩි 3
  2. සීනි මේස හැඳි 3ක්
  3. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  4. බිත්තර 2
  5. ලුණු කුඩු
  6. කැරමල් එක සඳහා වෙනම සීනි මේස හැඳි 4ක්

 

  • කෙසෙල් හා අනික් සියලුම ද්‍රව්‍ය බ්ලෙන්ඩ් කරගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. 
  • කැරමල් එක සඳහා වියලි භාජනයක් ලිප තබාගෙ​න සීනි ටිකක් දාලා දියකරගන්න. ලා දුඹුරු පැහැයක් එනවිට ලිපෙන් බාගන්න. 
  • දැන් ස්ටීම් කරන්න පුළුවන් භාජනයකට කැරමල් ටික දාගන්න. බ්ලෙන්ඩ් කරගත් පුඩිං මිශ්‍රණය ඊට උඩින් දාගෙන විනාඩි 40ක් පමණ ස්ටීම් කරගන්න.

 

7. බනානා බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. කෙසෙල්ගෙඩි 3
  2. පාන්පිටි කෝප්​ප 1
  3. සීනි කෝප්ප 1/2
  4. ඩෙසිකේටඩ් කොකනට් තේ හැඳි 3
  5. එනසාල් ඇට කිහිපයක්
  6. බේකින් සෝඩා 1/4
  7. පොල්තෙල් 
  8. ගී ඔයිල් තේ හැඳි1

 

  • කෙසෙල්  පොතු හැර පෙති කපා ගන්න. ඉන්පසු සීනි මුලින්ම ග්‍රයින්ඩ් කරගෙන ඊලඟට  කෙසෙල් දමා හොඳින් ගසා ගන්න. 
  • එම මිශ්‍රණය භාජනයකට දමා එයට පිටි, කුඩු කර ගත් එනසාල්, ඩෙසිකේටඩ් කොකනට් දමා හොඳින් කලවම් කරන්න. එයට බේකින් සෝඩා එක් කරන්න. 
  • දැන් භාජනයක් අරගෙන එයට තෙල් දාලා මිශ්‍රණයෙන් දෙහි ගෙඩියක ප්‍රමාණයේ බෝල සාදා ගැඹුරු තෙලේ බැදගන්න.
  • ලස්සනට බෝලවෙලා එන හැටි පෙනෙයි. දැන් තෙල් බේරෙන්න තියන්න.
  • මේක මෆින් ට්‍රේ එකක ඔයිල් දාලා සෙල්සියස් 180ට විනාඩි 15-20ක් බේක් කරගන්නත් පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *