අමාරුවෙන් දියුණු වුනත් ලංකාවෙදි අහගන්න වෙන කැත කතා!

දුප්පත් වුනත්, පොහොසත් වුනත්, ඉගෙන ගෙන තිබුණත්, නූගතෙක් වුනත් අපි හැම කෙනෙක්ටම පොදු හීනයක් තියෙනවා. ඒ තමයි තමන් ඉන්න තත්ත්වෙන් තවත් අඟලක් හරි ඉහළට නගින එක, දියුණු වෙන එක. සමහරුන්ට අමාරුවෙන් කට්ට කාලා දියුණු වෙන එක හීනයක් විතරයි. ඒ අය හිටපු විදියටම ඉඳලා මැරිලා යනවා. හැබැයි බොහොම සුළුතරයක්, කීප දෙනෙක් ඉන්නවා ජීවිතේ අමාරුවෙන් පියවරෙන් පියවර ඉහළට නැගලා, බුදු කට්ටක් කාලා දියුණු වෙලා, ලස්සෙට කොඩිය දාලා ඉන්න. හැබැයි මෙහෙම අමාරුවෙන් උඩට ගිහින් දියුණු වුණු හාදයින්ට අනිවා අහගන්න ලැබෙන ගීත කතන්දර ටිකක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අමාරුවෙන් කට්ට කාලා දියුණු වුණු හාදයින්ට මේ කැත කතන්දර කියන්නේ අර දියුණුවක් නැතුව එක තැනම ඉන්න සෙට් එක තමයි!

 

1. ඔය කුඩු සල්ලි!

ලංකාවේ කුඩු කරුමාන්තේ ඉතින් ප්‍රචලිත වෙලා තියෙන විදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පහුගිය දවස් වල ලංකාවේ කුඩු අල්ලපු හැටියට අපි හිතුවේ ගෙවල් වල කොටන කුඩු ලිප් පත්තු කරන්නත් කුඩු රටින් ගෙන්නලා කියලා තමයි. අනික් අතට ඔය කුඩු බිස්නස් එකේ ලාබ ලැබෙන හැටිත් අපි හොඳාකාරවම දන්නවනේ. සමහරු කියන්නේ කුඩු බිස්නස් මහ මොළ කාරයෝ සල්ලි ගණින්නේ බර කිරලා කියලනේ. කොහොම හරි මේ කුඩු බිස්නස් කරන උන්දැලා ලංකාවේ මහ පුටුවල වගේම අපි අතරමත් ඉන්නවා කියලා තමයි විශ්වාසේ තියෙන්නේ. අන්න ඒ නිසාම දන්න කියන කවුරුහරි කට්ට කාලා අවංකව සාධාරණව දියුණු වුනත්, ගොඩක් වෙලාවට අහගන්න ලැබෙන්නේ “ඕවා කුඩු විකුණලා හොයපු සල්ලි” කියන කතන්දරේ තමයි!

 

2. ඔය බැංකු කඩලා හොයපු සල්ලි!

දැන් ඔය එක එක කල්ලි ලංකාවේ ඉන්නවනේ. සමහර කල්ලි තවමත් අල්ලගෙනවත් නෑ. ඔය කාලෙන් කාලෙට මතුවෙන සමහර කල්ලි වල ජීවනෝපාය තමයි බැංකු මංකොල්ල කන එක. බැංකුවක් මංකොල්ල කනවා කියන්නේ ඉතින් සුළු පටු අපරාධයක් නෙවෙයි. ඒ වගේම තමයි බැංකුවක් හරියට ප්ලෑන් කරලා මංකොල්ල කාලා අත්පත් කරගන්න ලැබෙන මුදලත් ඉතාම විශාලයි. ඔය තේ කඩයක්, පෙට්‍රල් ෂෙඩ් එකක් වගේ නෙවෙයි. ආන්න ඒ නිසා ඔය තමන්ගේ පළාතට අලුතින් පදිංචියට ආපු ලස්සෙට කොඩිය දාපු මනුස්සයෙක්ට ගොඩක් වෙලාවට අහගන්න වෙන්නේ “ඔය ෂුවර් එකටම බැංකුවක්වත් මංකොල්ල කාලා හොයපු සල්ලි” කියලා තමයි!

 

3. ඔය ගිනි පොලී සල්ලි!

දැන් ඔය ගම් වලත් ඉන්නවා පොලී මුදලාලිලා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කතන්දරේ තමයි මේ පොලී මුදලාලිලා සහ පොලී මුදලාලි හාමිනේලා ගිනි පොලී කන ඩයල් කියන එක. ඒ කියන්නේ සල්ලි හදිස්සියක් වුනහම මනුස්සයෙක් මේ පොලී මුදලාලියෙක් ගාවට දුවගෙන එන්නේ වෙන යන්න තැනක් නැතිම හින්දා. බැංකුවකින් වුනත් ඕනම කෙනෙක්ට ලෝන් දෙන්නෙ නැහැනේ. ඒත් පොලී මුදලාලි ඕන ලෝන් එක දෙනවා. හැබැයි ඉතින් පොලිය සැරයි. අන්න ඒකයි ගිනි පොලී කියන්නේ. සමහර වෙලාවට ණය ගත්ත මනුස්සයට ගත්තු ණය වගේ දෙතුන් ගුණයක් වුනත් පොලිය ගෙවන්න වෙනවා. හැබැයි ඉතින් ගම් වල ඔය අමාරුවෙන් දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවා, මනුස්සයෙක් නැති බැරි කමට කීයක් හරි අතමාරුවට ඉල්ලුවහම නෑ බෑ නොකියා දෙන. සමහර වෙලාවට ඒ දුන්නු සල්ලි ආයෙ හම්බුවෙන්නෙත් නෑ. හැබැයි මේ මිනිස්සු එහෙම කෙනෙක්ට අතමාරුවක් දෙනවා කියලා දන්න නිසාම, මේ වගේ මිනිස්සුන්ගේ දියුණුවේ රහස විදියටත් ගමේ එවුන් කියන්නේ “ඔය ගිනි පොලී කාලා හොයපු සල්ලි” කියලා තමා!

 

4. ඔය දේශපාලනේට හේත්තු වෙලා හොයපු සල්ලි!

මෙන්න මේක නම් පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ් කතන්දරයක්. දැන් ඔය දේශපාලකයොන්ට එහෙම හේත්තු වෙලා, මැරීගෙන වැඩ කරලා, දේශපාලකයා බලේට ආවට පස්සේ කොහොම හරි තමනගේ මඩිය තරකරගන්න උන්දැලා ඕන තරම් ඉන්නවනේ. හැබැයි ඒ අතරෙම ඉන්නවා, තමන්ගේ පරම්පරාවෙන් ආපු පක්ෂේ නිසා හරි, තමන් විශ්වාස කරන දේශපාලන දර්ශනේ නිසා හරි අතින් කයිට් කරගෙන දේශපාලනේ කරන, දේශපාලකයින්ට උදවු කරන මිනිස්සු. ගොඩක් වෙලාවට මේ මිනිස්සු ජීවිතේ සෑහෙන කට්ටක් කාලා දියුණු වෙච්ච උදවිය. හැබැයි අවාසනාවකට, පිටින් ඉන්න මිනිස්සු ඒ කට්ට කාලා දියුණු වුණු කෑල්ල දකින්නෙ නෑ. ඒ අය කියන්නේ “ඔය දේශපාලනෙන් හොයපු සල්ලි” කියලා තමයි!

 

5. ඔය අහිංසකයෝ මරව මරවා වැඩ අරන් හොයපු සල්ලි!

ඔය කර්මාන්ත ශාලා හිමිකාරයෝ එහෙම ඉන්නවා, ඒ අය ගොඩක් වෙලාවට පටන් අරගෙන තියෙන්නේ බිංදුවෙන්. අමාරුවෙන් ජීවිතේ මුල් කාලේ නොවිඳිනා දුක් විඳලා තමයි අන්තිමට මේ අය කර්මාන්ත ශාලා හිමිකාරයෝ වෙලා තියෙන්නේ. ඇත්තටම එහෙම දුක් විඳලා දියුණු වෙච්ච මනුස්සයෙක් ගොඩක් වෙලාවට තමන්ගේ සේවකයින්ට සලකනවා වගේම තමයි, මේ අයට සේවකයෝ අයිස් ගහනවා එහෙමත් පෙන්නන්න බැහැ. මොකද මහන්සි වෙලා වැඩ කරන එකේ අගය ඒ මිනිස්සු දන්න නිසා. හැබැයි පිටින් ඔය දිහා බලන ගොඩක් අය කියන්නේ “ඔය අහිංසක සේවකයෝ මරව මරවා වැඩ අරගෙන හොයපු සල්ලි” කියලා තමයි!

 

6. ඔය සුදු කරපු කළු සල්ලි!

කළු සල්ලි සුදු කරනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකක් හරි අයථා ක්‍රම වලින් කවුරුහරි හොයපු සල්ලි, අපි භාරගන්නවා පිරිසිදු කරලා දෙන්න. ඒ කියන්නේ එක්කෝ අපේ මොකක් හරි ව්‍යාපාරෙකට ඒ සල්ලි යොදවලා, ඊට පස්සේ අපි හොයන ලාබෙන් අපිත් පොඩි කට් එකක් තියාගෙන අර කළු සල්ලි අයිතිකාරයට ඒ ලාබේ දෙනවා. හැබැයි ඉතින් මහා පරිමාණෙන් කළු සල්ලි සුදු කරන කොට අර කියපු පොඩි කට් එක කියන්නෙත් ලක්ෂ ගාණක්! ඔය මෑත කාලෙදී කුඩු රජවරු එක්ක සම්බන්ධකම් තිබුණ ව්‍යාපාරිකයෝ ගැන එහෙම අහන්න ලැබුණෙත් මේ වගේ සීන් වලට තමයි. සාමාන්‍යයෙන් මේ වගේ චෝදනාවක් නම් කෙනෙක්ට නිස්කාරණේ එල්ල වෙන්නේ නැති තරම්. හැබැයි ඉතින් කට්ට කාලා, යාලුවන්ගේ ඉඩම් බැංකුවලට පෙන්නලා ලෝන් අරගෙන, ඇඳුම් ෂොප් දාලා දාඩිය මහන්සියෙන් දියුණු වෙච්ච මිනිහෙක් වුනත්, තමන් දන්න කියන කුඩු පොඩ්ඩක් විකුණන මනුස්සයෙක්ගේ තාත්තගේ මල ගෙදර ගිහින් ඉන්නවා දකින රටේ ලෝකේ අනික් මිනිස්සු කියන්නේ “ඔය සුදු කරපු කළු සල්ලි” කියලා තමයි! 😉 

 

7. ඔය ෂුවර් එකටම මුස්ලිම් අන්තවාදියොන්ගෙ සල්ලි!

දැන් කාලේ ත්‍රස්තවාදේ කියන්නෙත් සෑහෙන්න ප්‍රොෆිට් තියෙන බිස්නස් එකක්. මතකයිනේ අර තව්හීඩ් ජමාත් මරාගෙන මැරෙන සෙට් එකේ වත්කම්. ආයෙ සල්ලි මිටි පිටින් එහෙට මෙහෙට විසික් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ සිද්ධියෙන් බයවුණු බයවිල්ලට අපිට හැමදාම දකින මුස්ලිම් මනුස්සයත් ත්‍රස්තවාදියෙක් විදියට පේන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මුස්ලිම් මනුස්සයෝ වැඩි දෙනෙක් ව්‍යාපාරිකයෝ. ඒ නිසා කොහොමත් කට්ට කාලා, අල්ලා දෙය්යෝ කියපු විදියට සාධාරණව වෙළඳාම කරලා දියුණු වුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙක් දිහා වුනත් ගොඩක් අය වපරැහෙන් තමයි බලන්නේ. ගොඩක් වෙලාවට “ඔය මුස්ලිම් අන්තවාදියොන්ගේ සල්ලි” කියලා ඒ වගේ මනුස්සයෙක්ට අහගන්න සිද්ධ වෙනවා!

 

ඇත්තටම අපි ඔය උඩ කියලා තියෙන අයථා ක්‍රම වලින් සල්ලි හොයන මිනිස්සුත් ඕනෑ තරම් අපි අතරේ ඉන්නවා. හැබැයි සල්ලි හොඳට හම්බුකරලා, ලස්සෙට කොඩිය දාලා ඉන්න හැම මනුස්සයම එහෙම හොර පාරෙන් සල්ලි හම්බු කළාය කියලා අපිට කියන්න බෑ. ආන්න ඒ නිසා ඒ වගේ චෝදනාවක් සල්ලි තියෙන මනුස්සයෙක්ට කරන්න කලින් හොඳට හොයාබලන්න කියලා තමයි අපි මේ කියන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *