හැම දරුවම ආසයි හොඳින් ඉගෙනගෙන ඉහළට යන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්නෙ පොඩි ප්‍රමාණයක් වුනත් හැමෝම කැමතියි තමුන්ට හොඳට ඉගෙනගන්න පුළුවන් වෙනවට. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි. හොඳින් ඉගෙනගත්තා කියමුකො. මේ ඉගෙනිල්ල තමුන්ව ඉහළටම අරගෙන ගියොත්. ආන්න එතනදිනං ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වෙනවා. අපි මේ කියන්නෙ අයිලන්ඩ් රෑන්ක්, ඩිස්ට්‍රික්ට් රෑන්ක් ගත්තු ඈයොන්ට අපේ සමාජෙදි විඳින්න වෙන ප්‍රශ්න ගැනයි. මේවා ප්‍රශ්න විදියට නොතේරෙන්න පුළුවන්. ඒත් මේවා ප්‍රශ්න තමයි. මොකද මේ සමාජෙ හැමදෙයක්ම කැරකි කැරකි එන විත්තිය රටක් ආදරය කරපු අමල්-නදීමාල් සිද්ධියෙන්වත් තේරුං ගන්න.
1. ගොටු
දැන් මෙහෙමනෙ ඉස්කෝලෙම එදාට තමුන්ගෙ පාසලේ තනි ළමයෙක්ගෙන් ගොඩ යන්න තමයි බලන්නෙ. ඒ දවස වෙනකං පරක්කු වෙලා ආවොත් ඔරෝලා බලනව ඇරෙන්න ඇහැක් ඇරලා බලපු නැති ප්‍රින්සිපල් තමුන් උකුල තියාගෙන හදපු ළමයෙක් වගේ ටෝක් දෙන්න ගන්නව. හාන්ස් දාලා මාට්ටු වෙලා කම්මුලට ගහපු අතින්ම විනය භාර සර් ඔලුව අත ගගා මේ තරං හොඳ පුතෙක් ලක් මෑණිට හිටියෙ නෑ කියල කියනව. පළවෙනියා වෙච්ච එකා ඉන්න පන්තියට කෙමිස්ට්‍රි උගන්නපු ටීචර් මේකප් දාගෙන එන්න ගිය ටිකට බලද්දි එහා පන්තියට උගන්නපු කෙමිස්ට්‍රි ටීචර් මීඩියාවලට නයි අරිනව. විලි ලැජ්ජාවෙ බෑ. හැම එකාම බැල්කනිවලින් බෙල්ල එළියට දාගෙන මූණ දිහා බලං ඉන්නව. පාරෙ යන පොඩි ඇච්ච කොල්ලොන්ට අම්මලා ටොකු ඇන ඇන පෙන්නනව. ඉතිං ලැජ්ජාවෙ බෑ තමයි.
2. එයා මගේ
පාස් වෙච්ච එකා තමයි දන්නෙ ඒක කරපු අමාරුව. එකම සබ්ජෙක්ට් එකට ටියුෂන් තුන හතරකට ගිහිල්ලා, මහ රෑ දොගොඩහරිය වෙනකං පාඩං කරලා, කැම්පස් යන අයියලා අක්කලාගෙන් පාඩං අහගෙන, පාස්ට් පේපර්ස් හොය හොය කරලා පුදුම කැඹිරිල්ලක් කඹුරලයි මේ තැනට ආවෙ. මෙන්න සතියක් යන්න කලින් බස් හෝල්ට් එකේ ඉන්නකොට අයිලන්ඩ් ෆස්ට් වෙච්ච එකාට පේනව තමුන් තමුන්ටම අත වනාගෙන යන විත්තිය. බලද්දි බස් එකේ ගහල පත ස්ටිකර් එකක්. ගහල තියෙන්නෙ කෙමිස්ට්‍රි රිවිෂන් ක්ලාස් ගිය සර් කෙනෙක්. මේං යකෝ පයින් ටිකක් දුර යද්දි තාප්පෙ පැත්තෙන් තමුන් තමුන්ටම අත වනනව පේනව. ඒ බලද්දි එක දවසක් සෙමිනා එකකට ගිය කෙමිස්ට්‍රි සර් කෙනෙක්. විලි ලැජ්ජයි පිංවත.
3. මීඩියා
මීඩියාවලින් කතාව හදාගෙන එන්නෙ. අපේ ගෙදර හොඳට තිබ්බත්, උන් ගාණට ෆ්‍රේම් කරන්නෙ ගෙදර පිටිපස්සෙන් අලුතෙන් හදන කපරාරු කරපු නැති ගෙදර. අම්මවයි තාත්තවයි ඒ ගෙදරට ගල් කරලා, මතක ඇති කාලෙක වැඳපු නැති දුවට කියෝලා අම්මටයි තාත්තටයි වන්දනවා. වන්දලා මීඩියා උන්ටික ගේ අස්සෙන් හොයාගන්න පරණ කඩමාළු චීත්ත ගවුමක් අන්දලා කොණඩෙ කරල් දෙකට ගොතනවා. දැන් ඉතිං පොත්පත් මුදු ලැමට තුරුලු කරගෙන වන වන යන්න කියනව පාරෙ. උන්ගෙ ෆිල්ම් එකේ දෙබස් උන් දෙනවා. හප්පටසිරි. තුන් කාලෙ කරපුවා නෙමෙයි ඒකෙ තියෙන්නෙ. පාඩ්ම්ම කරේ නෑ. බයිසිකල් පැද්දා. කැරම් ගැහුවා. ඉපනැල්ලෙ ඇවිද්දා. ඔංචිලි පැද්දා. රෑට කාලා ඉක්මනට නිදාගත්තා. කුක්කු කූක්කූ සද්දෙට ඇහැරුණා. කාලා වරෙන්කො ඉතිං.
4. විසිට්

Image Source – understood.org
හිරේ ඉන්නව වගේ තමයි ඉතිං. බත්මුල් බැඳගෙන, කැවුම්, වැලිතලප හදාගෙන ඩේලි එනව එක එක උන්දැලා. කවදාවත් දැකපු නැති උන් පවා. ඉතිං අම්ම පටන් ගන්නව ඒ කවුද කියල කියන්න. මේ පුතේ ලොකු සීයගෙ තුන්වෙනි කසාදෙ බාලම පුතා, ඒ කියන්නෙ පුතාගෙ මාමව බැඳපු නැන්දයි, ඒ නැන්දගෙ ගෙවල් පාරෙ පහළ තුන්වෙනි ගෙදර නැන්දයි, ඒ නැන්දගෙ දුවයි. හුටප්පරේ. යකෝ උන්ගෙ දුර. ඒ අස්සෙ අර කෙල්ලට කියනව මට වඳින්නලු. ඒකිත් අම්මට වඳින ගාණට වැඳපි මට. දැන් ඒකිට කියනව මගෙන් අහගන්නලු ගොඩ යන විදිය. කාලා පරාදයි. ඒකිත් ගොනා වගේ ඇවිත් මගෙන් අහපි මොනවද අයියෙ වැඩිපුරම අමාරු වුනේ කියල. රෑට මදුරුවො කන එක තමයි නංගි.
5. අත්දැකීම්
ඉස්කෝලෙත් එහෙම ලේසියෙන් අතාරින්නෙ නෑ. ඉස්කෝලෙ ඉස්සරහම ගහනව පත බෝඩ් එකක්. එදා ඉඳන් ඉස්කෝලෙට කියන්නෙ ඉස්කෝලෙ නම නෙමෙයි. අයිලන්ඩ් ෆස්ට් වෙච්ච එකාගෙ ඉස්කෝලෙ කියල. හැබැයි ඉතිං ඔවුව මාස තුනයි. ඔන්න ඒ කාලෙ තමයි මරු කෙලි තියෙන්නෙ. ඉස්කෝලෙට ගෙන්නලා නග්ගනව ස්ටේජ් එකට. මේ ජයග්‍රහණයේ කතාව පොඩි උන්ට කියන්නලු. විලි ලැජ්ජාවෙ බෑ. ඒ මදිවට ඒ ලෙවල් පන්තියේ අත්දැකීම් කියන්නලු. පොඩි උන්ට ගන්න දෙයක් කියන්නලු. “මල්ලිලා, පිටිපස්සෙ තාප්පෙ ගඩොල ගලෝපු තැන යට සිගරට් කොලේක ඔතල ඇති කේජී කෑල්ලක්. එදා විනය භාර එද්දි හදිස්සියට තියල දිවුවෙ. එතන තෙත අල්ලන්නෙ නෑ. උඹලවත් හොයාගෙන ගහපං” කියල තමයි කියන්න වෙන්නෙ.
6. රැග්!
කැම්පස්වල රැග් දෙන එක සාමාන්‍යයි. ඒකෙන් ගන්න ආතල් පස්සෙ කාලෙක ගන්නත් බැරි වෙයි. අමනුස්ස රැග් නැතුව ආතල් රැග් තියෙන කැම්පස් ඕනතරං තියෙනවනෙ. හැබැයි පුතෝ අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් ආවා කිවුවම හැම එකාම එනව හොම්බ දාන්න. හොම්බ දානව මදිවට රැග් එක. මුළු බැච් එකටම රැග් කරන්න ඉන්නෙ කොල්ලො දහයයි. අයිලන්ඩ් ෆස්ට් වෙච්ච එකා වටේ සීයක් විතර ඉන්නව. ඒ මදිවට කෙල්ලොත්. උන් අහන ප්‍රශ්නවලට කටඋත්තර නෑ. වෙන්න හොඳ නෑ මතු අත්භවේකනං අයිලන්ඩ් ෆස්ට්!
7. ඒ මදිවට ගෙදරත්
හම්මට! නිවිහැනහිල්ලෙ ඉන්න තිබ්බෙ ගෙදර විතරයි. ඒකටත් කෙලවෙන ලකුණු තියෙන්නෙ. දැන් ඉතිං ආයෙ ලකුණු අඩුවෙනව බොරු. තෝ දැන් අයිලන්ඩ් ෆස්ට් වෙලා තියෙන්නෙ. කැම්පස් එකේ ලකුණු අඩු කරගෙන අපේ මූණෙ දැලි ගාන්නෙපා කියල තාත්තා කියපි. උඹ කොල්ලෙක් එක්ක කතා කර කර හිටිය නේද ඊයෙ? මං උන්ගෙ ගෙදර ගියා අද. ඒ කොල්ලට මුල් විස්සෙන් උඩ අයිලන්ඩ් රෑන්ක් එකක් නෑ. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් විතරයි තියෙන්නෙ. ලැජ්ජ නැද්ද තොට අඩු කුලේ එවුන් එක්ක පාරවල් ගාණෙ කතා කර කර ඉන්න. හුටප්පරයයි!
Cover Image Source – rd.com
Leave a Reply