මිනිස්සුන්ට තමුන්ගෙ වැඩ කරගෙන යන්න පරිගණකයක් ගන්න එක මේ වෙද්දි අත්‍යවශ්‍ය තත්ත්වයක්. ඒ වගේම මේ වැඩ වඩා ඉක්මනින් කරගන්න සහ තැනින් තැනට ගොස් කරන්න ලැප්ටොප් එකක් තිබීම මේ වෙද්දි තවත් ඉහළ අත්‍යවශ්‍යතාවයක් බවට පත්වෙලා ඉවරයි. මේ නිසා ලැප්ටොප් එකක් ගන්න යන අයටයි අද අපේ සටහන. ඒ ලැප්ටොප් එකක් ලංකාවේ කඩේකින් මිලදීගන්න පෙරාතුව හිතන්න ඕන දේවල් සම්බන්ධයෙනුයි. ඒවා නොහිතා යාළුවා ගත්තු එකම ගන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.
1. අවශ්‍යතාවයට සරිලන
ලැප්ටොප් එක අවශ්‍යතාවයට සරිලනවද කියන දේ බලන්න. සමහරුන්ට ලැප්ටොප් ඕන ඇඳේ ඇලවෙලා ෆිල්ම් බලන්න. ඒකට ගන්න ටැබ් එකක්. සමහරුන්ට ඕන ගේම් ගහන්න. ඒකට ගන්න ගේමිං පීසී එකක් හෝ ලැප්ටොප් එකක්. තවත් සමහරුන්ට ඕන ග්‍රැෆික් වැඩ කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය ස්පෙක්ස් තියෙනවද කියල ලැප්ටොප් එක ගනිද්දි බලන්න. සමහරුන්ට ඕන ඔෆිස් ඩොකියුමන්ට්ස් ඕපන් කරන්න විතරයි. ඒ නිසා ලොකු ඔප්ෂන්ස්වලට යන්නෙපා. ඕඩියෝ ජැක් තියෙනවද බලන්න. අවශ්‍ය පමණට යූඑස්බී තියෙනවද බලන්න. නැත්තං ග්‍රැෆික් ටැබ්ලට් එකක් ගහපු ගමන් යූඑස්බී ඉඩ ඉවර වෙයි.
2. හොර තැනකින් නැතුව
ලැප්ටොප් එක ගන්න තැන ගැන හොයන්න. සාමාන්‍යයෙන් ෂේප් කඩයක් කවදාවත් තමන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එකක් නොහදා ඉන්නෙ නෑ. ඒ ෆේස්බුක් රිවීවුස් කියවන්න. තමුන්ගෙ අවශ්‍යතාවයට සරිලන සහ තමුන්ගෙ පොකට් එකට සරිලන ලැප්ටොප් එතන තියෙනවද කියලා හොයන්න. අලෙවියෙන් පසු සේවය ගැන හොයන්න. වොරන්ටි ක්ලේම් කරගන්න අමාරු වුනාද කියල හොයන්න. ලැප්ටොප් පාවිච්චි කරන, තාක්ෂණය ගැන දැනුමක් තියෙන අයගෙන් ගන්න හොඳම තැන අහන්න. පිටරටකින් ගෙන්නා ගන්නවානං ඒ ගැනත් හොයන්න. සිද්ධ වෙන්න පුළුවන් අවුල් ගැන හොයන්න.
3. පාට්ස්
මේ කියන්නෙ ලැප්ටොප් එකේ අමතර කොටස් ගැන. වාහනයක් ගනිද්දි වගේම අමතර කොටස් ගැන හිතන්න වෙන තැනක් තමයි ලැප්ටොප් ගන්නකොටත් තියෙන්නෙ. ඒ ඇයි ?කොච්චර බ්‍රෑන්ඩ් නිවු ලැප්ටොප් එකක් ගත්තත් හදිස්සි අනතුරු, පාවිච්චි කරන ඔබේ නොසැලකිල්ල වගේ හේතු නිසා අලුත්වැඩියාවක් එන්න ඉඩ තියෙනවා. එහෙම ආවොත් දරන්න වෙන වියදම වගේම ලේසියෙන් පාට්ස් හොයාගන්න පුළුවන්ද කියන එක ගැන ඔබ සිතිය යුතුමයි. ලැප්ටොප් කැඩුනම “සොරි සර් අපේ වැරැද්ද” කියල හදල දෙන්න මේක නිවුයෝක් නෙමෙයිනෙ. එනිසා ලැප්ටොප් පාට්ස්වල මිල සහ අවේලබිලිටිය ගැන සෙවිය යුතුමයි.
4. ඒ ඒ තාලෙට
ඒ ඒ තාලෙට ඒ ඒ ජෙනරේෂන් එකට ගැලපෙන්න අවශ්‍ය කරන මෘදුකාංග (කුරුල්ලො හැප්පෙන ඒවා නෙමෙයි) දාගන්න වග බලාගන්න. ලැප්ටොප් එක ගන්නකොටම ඔපරේටිං සිස්ටම් එකක් දාලා දෙනවනෙ. දැන් ඔයා ලැප්ටොප් එක ගන්න ගියාම මොකද්ද ඕන ඔපරේටිං සිස්ටම් එක කියල ඇහුවොත් අලුත්ම එක නිසා මුලින්ම වින්ඩෝස් 10 කියල කියන්නෙපා. මුලින්ම බලන්න ඒක ඔයාගෙ ලැප්ටොප් එකේ ජෙනරේෂන් එකට සපෝට් කරනවද කියල. එහෙම නැත්තං ඩ්‍රයිවර්ස් වැඩ කරන්නෙ නැතුව යයි. ඊටපස්සෙ වයිෆයි කනෙක්ට් කරගන්න බැරි වෙයි. ඒ වගේම ෆොටෝෂොප් අලුත්ම වර්ෂන් එක නොදා තමුන්ගෙ මැෂින් එකට සරිලන වර්ෂන් එකක් දාගන්න. මේවා ලැප්ටොප් එක ගන්න යන්න කලින් තීරණය කරලා යන්න.
5. ප්‍රායෝගික ප්‍රශ්න
ලැප්ටොප් එකක් මිලට ගන්නකොට ප්‍රායෝගික ප්‍රශ්න ගැනත් හිතන්න ඕන. නිකමට හිතමුකො මෙහෙම. ලැප්ටොප් එකක් ඕනවෙන්නෙ ඇයි? ඒක අරගෙන ගමනේ යෙදෙන්නනෙ. නැත්තං සාමාන්‍ය පරිගණකයක් මිලට ගන්න පුළුවන්නෙ. දැන් ඔය කියපු ප්‍රායෝගික ප්‍රශ්න බලපාන්නෙ කොතනදිද? ලැප්ටොප් එක උස්සගෙන යන එක පොඩි ජිම් එකක් කරගහගෙන යනව වගේ නං ඔන්න ප්‍රශ්නයක් එනව. ඒකට බර අඩු ලැප්ටොප් එකක් තෝරගන්න ඕන. ඒකට සරිලන ඉඩ තියෙන කොන්දට අමාරු නොවෙන බැක්පැක් එකක් ගන්න ඕන. ඊටත් වඩා ලැප්ටොප් එක අත තියන්න බැරි තරං රත් වෙනවද කියලත් ලැප්ටොප් එකේ රිවීවු කියවලා හොයාගන්න.
6. අමතර කෑලි
ලැප්ටොප් එකක් එක්ක ගන්න තියෙන අමතර කොටස් ගැනත් හිතන්න. ඔයාට ටච් පෑඩ් හුරු නැත්තං මවුස් එකක් මිලට ගන්න. පුළුවන්නං බැරි අමාරුවෙන් හරි ටච් පෑඩ් එකට හුරු වීම තමයි වඩා ප්‍රායෝගික වෙන්නෙ. ඇපල් උපාංගවල ඩීවීඩී රයිටර් නැති නිසා ඒක වෙනම මිලදීගන්න සිද්ධ වෙනවා. දිගු කාලයක් එක දිගට ලැප්ටොප් එකේ වැඩකරනවානම් කූලින් පෑඩ් එකක් අරගන්න. යූඑස්බී ප්‍රමාණය මදිනං ඇඩප්ටර් ගන්න, කාඩ්රීඩර් ගන්න. මේ සියල්ල එකට තියෙන ඇඩප්ටර්ස් හොයාගන්න පුළුවන්නං ලේසියි. ඒ වගේම ලැප්ටොප් එකේ සවුන්ඩ් කොලිටිය අනුව ස්පීකර්ස් දෙකකුත් අරගන්න. මේ දේවල් අමතර දේවල් නිසා කියල හිතලා මේවා කරන්න කල් යවන්න එපා. මොකද කල් ගියොත් ඕවා ගැනෙන්නෙ නෑ. වගේම අපේ හිතින්ම අපි කට්ට කාගෙන ඉස්සරහට යන්න හිත හදාගනීවි.
7. අමතර කතා
ලැප්ටොප් එක ගනිද්දි මේ අමතර කතා ගැනත් හිතන්න ඕන. ලංකාවෙ ඔබ මිලදීගන්න ලැප්ටොප් විශේෂය වෙනුවෙන් වැඩ කරන හොඳම ටෙක්නීෂියන්ලා කවුද? ගෙදරට හෝ ඔෆිස් එකට ළඟම ටෙක්නීෂියන් කවුද? ඔවුන් රහස්‍යභාවය සුරකිනවද? ඒ ඒ ලැප්ටොප් එකේ තියෙන පාවිච්චියෙ දුර්වලතා මොනවද සහ ඒකෙන් වෙන්න පුළුවන් හානි මොනවද? වෛරස් ගාඩ් එකක් ඕනද? ෆයරවෝල් එකක අවශ්‍යතාවය තියෙන්නෙ ඇයි? වොරන්ටි ක්ලේම් කරන්න කලින් බැකප් ගහගන්න පෝටබල් හාඩ් එකකුත් මේ ගමන්ම ගන්නවද? රැම් එක මදිනං රැම් එක වැඩි කරලා අරගන්නවද? මෙන්න මේ අමතර කතා ගැනත් පොඩ්ඩක් විමසිලිමත් වෙලාම ලැප්ටොප් එක මිලදීගන්න.
Leave a Reply