මාරාන්තික තරඟ ගැන කියවෙන ත්‍රාසජනක චිත්‍රපටි

අපි මේ ලිපියෙන් කියන්නෙ වෙනස්ම ආරක චිත්‍රපටි පෙළක් ගැන. මේ ෆිල්ම් හැම එකකම එක විශේෂත්වයක් තියනවා. ඒ තමයි මේවායේ ඉන්න පුද්ගලයන්ට ජීවතුන් අතර ඉන්නට මාරාන්තික සටනක් කරන්නට සිද්ධ වෙන එක. සමහරවිට ඒක ජීවිතයත් මරණයත් තීරණය කරන්නට වෙන තරඟයක් වෙන්න පුළුවන්.  දරුණු ප්‍රහේලිකාවක් විසඳන්නට, එහෙම නැත්නම් ඉතාම දුෂ්කර පරිසරයක නොමැරී ජීවත් වෙන්නට සටන් කරන්නට සිද්ධ වෙන්න පුළුවන්. මේ වර්ගීකර​ණයට අයිති චිත්‍රපට බොහොමයක​ට සුපිරි රේටිංග් නම් නැහැ. හැබැයි මේවා හැම එකක්ම වගේ (හිතේ හයිය තියනවානම්) කිසි කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් ඒවායි. 

 

1. Saw Series

ලිස්ට් එක පටන් ගන්නේ මේ විදිහේ මාරාන්තික තරඟ ගැන හැදෙන චිත්‍රපට වෙනම​ම ලෙවල් එකකට අරන් ගියපු චිත්‍රපට සෙට් එකකින්. ඒ තමයි කවුරුත් වගේ දන්න SAW චිත්‍රපට මාලාව. ​මේ වෙද්දි ‘සෝ’ චිත්‍රප​ට 8ක් විතර ඇවිත් තියනවා. හැබැයි ඉතින් මේවායින් මුල් චිත්‍රපටය තමයි සුපිරිම එක. මේකේ ඉන්නේ අමුතුම විදිහේ මිනීමරුවෙක්. එයා දඬුවම් දෙන්න තෝරගන්නේ සමාජයට නොයෙකුත් වැරදි කරපු පුද්ගලයන්ව. හැබැයි එයා ​ඒ මිනිස්සුන්ව කෙලින්ම මරන්නේ නැහැ. ඒ අයට දෙනවා මාරාන්තික සෙල්ලම් ටිකක් සෙල්ලම් කරන්න. මේ හරහා ජීවිතයේ අගය ඒ අයට කියාදෙන්න තමයි ජිග්සෝ කියන මේ මිනීමරුවගේ අරමුණ වෙන්නෙ. මුල් ‘සෝ’ චිත්‍රපටය බලල වහ වැටුනනම් ඉතිරි චිත්‍රපට ටිකත් බලලම තමයි ඉතින් නවතින්නෙ.

 

2. Cube Series

මේකත් ‘සෝ’ ආපු කාලෙම ඇවිත් ජනප්‍රිය වෙච්ච චිත්‍රපට පෙළක්. මේ චිත්‍රපටයෙත් බලෙන් පැහැරගෙන ආපු කණ්ඩායමකට ක්‍රීඩා කරන්න වෙන මාරාන්තික සෙල්ලමක් ගැන තමයි තියෙන්නේ. හැබැයි ‘සෝ’ එකට වඩා ටිකක් විතර විද්‍යා ප්‍රබන්ධ පැත්තටයි මේ චිත්‍රපටය බර. අපි මුලින් කියපු පැහැරගත්ත අය කණ්ඩායම හිර කරනවා අමුතුම විදිහේ කාමර වලට. ඒ එක් එක් කාමර වල අමුතුම විදිහේ මර උගුල් තියනවා. මේ උගුල් වලින් බේරිලා, කාමර වලින් පිටවෙන්න විසඳන්න වෙන අමුතුම ප්‍රහේලිකා විසඳගෙන ජයගන්න කරන උත්සාහය තමයි මේ චිත්‍රපට වල මූලික කතාව. මේ චිත්‍රපට එකකට එකක් සම්බන්ධ වෙන බවත් කියන්නට ඕනෙ.

 

Cube චිත්‍රපටි මාලාවේ පළමු චිත්‍රපටය පහතින් නරඹන්න පුළුවන්.

 

 

3. Battle Royale (2000)

මේක නම් සුපිරිම විදිහේ ත්‍රාසජනක ජපන් චිත්‍රපටයක්. කතාව මෙහෙමයි, ජපාන රජයෙන් එන නියමයකට අනුව ජපානේ පාසැල් ළමයි අතර මාරාන්තික තරඟයක් පවත්වනවා. මේකෙදි කරන්නේ මේ ළමයින්ව පන්ති කාමරයෙන් අරන් ගිහින් බලහත්කාරයෙන් පාලු දූපතකට ගිහින් දාන එක. එහෙම ගිහින් දාන ළමයින්ට එකිනෙකාව මරාගන්න සිද්ධ වෙනවා අන්තිමට ජයග්‍රාහකයෙක් ඉතුරු වෙනකම්. අතිශයින්ම කුරිරු විදිහට දිගහැරෙන මේ චිත්‍රපටය අවසානය වෙනකම් අධිවේගීව, ත්‍රාසජනකව සිදුකෙරෙන මිනීමරාගැනීම් වලින් සමන්විතයි.

 

ඉංග්‍රීසි උපසිරැසි සහිතව සම්පූර්ණ චිත්‍රපටය පහතින් –

 

 

 

4. Hunger Games Series

හංගර් ගේම්ස් චිත්‍රපට වගේම නවකතාත් ලංකාව ඇතුළේ ජනප්‍රිය ඒවායි. මේකෙත් තියෙන්නේ අපි කලින් කියපු ‘බැට්ල් රෝයාල්’ චිත්‍රපටයේ සංකල්පයම තමයි. ඒ කිවුවෙ දූපතක් ඇතුළේ මරාගන්න තමයි තියෙන්නේ. මේ චිත්‍රපටයේ කතාවට පාදක වෙන්නේ පානෙම් කියලා රටක්. හැම අවුරුද්දෙම මේ රටේ තියෙන දිස්ත්‍රික්ක12කින් තරඟකාරයො සහ තරඟකාරි​යො 24ක් තෝරගෙ​න ඒ අය​ට මරාගන්න සලස්ව​න රූපවාහිනී තරඟයක් තියනවා. ඒ තරඟෙට යන්නට සිද්ධ වෙන කැට්නිස් කියන තරුණිය තමයි මේ කථා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ. ඔක්කොම ෆිල්ම්ස් 3ක් තියනවා මේ සීරීස් එකේ. 

 

5. Fermat’s Room (2007)

මේක ඇවිල්ලා ගණංකාරයො ගැන කතාවක්. ගණංකාරයො කිවුවේ මේ අය චණ්ඩි කියන අදහසින් නම් නෙමෙයි ඔන්න. මේ කට්ටිය ඇවිල්ලා ෆේමස් ගණිතඥයො පිරිසක්. හරියටම කිවුවොත් හතර දෙනෙක්. මේ හතර දෙනා​ට ෆර්මැට් කියන පුද්ගලයෙක්ගෙන් ආරාධනාවක් ලැබෙනවා හමුවකට. මේ ෆර්මට්ව හමුවෙන්න යන මේ සෙට් එක​ට අන්තිමේදි සිද්ධ වෙන්නෙ කාමරයක් ඇතුළේ කොටු වෙන්න. මේ කාමරය ඇතුළෙදි මේ අයට අමාරු ගණිත ප්‍රශ්න යොමු වෙනවා. හැබැයි උත්තර වරදින්න වරදින්න කාමරයේ බිත්ති එන්න එන්නම ළං වෙනවා මේ අයව පොඩි පට්ටම් කරන්න ව​ගේ. මේ කට්ටියට තමන්ගේ මොළේ කල්පනා කරලා, ගණිත ගැටළු විසඳලා කාමරයෙන් පැනලා යන්න හම්බු වෙයිද? ඒක දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්න වෙනවා.

සම්පූර්ණ චිත්‍රපටය –

 

 

6. Nine Dead (2010)

මේකත් පැහැරගෙන ඇවිත් කාමරයක් ඇතුළේ හිරකරන කතාවක්. මේකෙදි පුද්ගලයො 9 දෙනෙක් අභිරහස් කාමරයක් ඇතුළේදි එකපාරට ඇහැරෙනවා. ​මේ අය එකිනෙකා කවුද? තමන්ට මෙහෙම වුණේ කො​හොමද කියල මොකුත් දන්නෙ නෑ. ඔන්න ඊට පස්සේ මේ අයට අණ ලැබෙනවා තමන් මේ තැනට එන්නට හේතුව මොකක්ද සහ තමන් වටේ ඉන්න අනික් පිරිස කවුද කියලා හඳුනගන්නය කියලා. එහෙම හඳුනගන්නකම් විටින් විට මේ අයගෙන් එක්කෙනා ගාණෙ මරා දැමෙනවා. 

කවුරු බේරෙයිද අන්තිමට? අභිරහස විසඳෙයිද කියලා බලාගන්න මේ චිත්‍රපටය නරඹන්න කියලා අපි ආරාධනා කරනවා.

 

සම්පූර්ණ චිත්‍රපටය –

 

 

7. Human Race (2013)

යකාගෙ රේස් එකක් ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. ඒ වගේම සුපිරි දිවිල්ලකුත් දුවන්න ඕනෙ මේ ෆිල්ම් එකේදි පණපිටින් ඉන්න ආස නම්. ෆිල්ම් එකේ කතාව මෙහෙමයි, පැහැරගන්නා ලද පිරිසක්ව දානවා එක මාරාන්තික ධාවන තරඟයකට. තරඟ නීති රීති හරිම සරළයි. එකක් තමයි තමන් දුවන ට්‍රැක් එකෙන් පිට පැනලා තණ​කොළ ගොල්ල පාගන්න එපාය කියන එක. අනිත් එක තමයි කාටවත් තමන්ට වටයක ලීඩ් එකක් තියන්න ඉඩ දෙන්න එපාය කියන එක. මේ දෙකෙන් මොක සිද්ධ වුණත් ඒ පුද්ගලයා ඒ සැණින් මරණයට පත්වෙනවා. මේ රේස් එකේ වට කීපයක් යද්දී ක්‍රීඩකයෝ දුවන ගමනුත් එකිනෙකාව මරාගන්න උප්පරවැට්ටි යොදනවා. දුවන ගමන් මරාගන්න, මරාගන්න ගමන් දුවන මේ චිත්‍රපටයත් බැලුවට පාඩුවක් නම් නෑ.

 

සම්පූර්ණ චිත්‍රපටය

 

 

8. Escape Room (2019)

 

බොහොම මෑතකදි තමයි මේ ෆිල්ම් එක රිලීස් වුණේ. මේකෙදි ආගන්තුක පුද්ගලයො 6 දෙනෙක්ට එක් සුවිශේෂී තරඟයකට සහභාගි වෙන්න සිද්ධ වෙනවා. දැන් ඔය අපි ෆෝන් වලින් එහෙම ගහන ගේම් එකක් තියෙන්නේ Escape Room කියලා. අන්න ඒ විදිහේ ප්‍රහේලිකා විසඳලා කාමර වලින් පැනලා යන විදිහේ ගේම් එකක් තමයි මේ අයට සෙල්ලම් කරන්න තියෙන්නේ. මුලදී බොහොම සැහැල්ලුවෙන් මේ ක්‍රීඩාව කරන්න ගත්තත් ටිකක් වෙලා යද්දී මේ අයට තේරෙනවා මේ ක්‍රීඩාවේ බො​හොම භයානක යටි අරමුණකුත් තියන බව. ඒ වගේම එයාලට තේරෙනවා තමන්ට පිවිසෙන්න තියන කාමර තමන්ගේ ජීවිතයටත් සමීප බවක් තියන බව….

 

 

9. Circle (2015)

 

මේකත් තවත් නවතම සංකල්පයක් එකක් එක්ක ආපු මරාගන්න තරඟයක් ගැන හැදුණ චිත්‍රපටයක්. ඔන්න එක අඳුරු කාමරයක් ඇතුළේ මිනිස්සු 50 දෙනෙක්ව පැහැරගෙන ගෙනත් දාල තියනවා. හැම මිනිත්තු 2කටම සැරයක් මේ අයගෙන් එක් අයෙක්ව මරා දානවා. මේ මරා දැමීම සිද්ධ කරන්නේ අපූරු ක්‍රමයකට. ඒ තමයි කාමරයේ හිරගත කරලා ඉන්න අයට තමයි තෝරගන්න වෙන්නේ කාවද මරණයට කැප කරන්නේ කියලා. එකා දෙන්නාව මරණයට බිලි කරගෙන යද්දී මේ මාරාන්තික තෝරාගැනීම එන්න එන්නම අසීරු වෙනවා. ඒ වගේම මිනිස් හිතේ තියෙන අඳුරු අහුමුලු නිරාවරණය වෙන්න පටන් ගන්නවා.

 

10. Would You Rather (2012)

 

‘Would you rather’ කියන්නේ ඇමරිකාවේ සාදවලදී, මිතුරු හමුවලදී සිදු කරන ජනප්‍රිය, වි​නෝදබර සෙල්ලමක්. මේ සෙල්ලමේ භයානක වර්ෂන් එකක් ක්‍රීඩා කරන්න වෙන පිරිසක් ගැන තමයි මේ නමින් හැදුණු ෆිල්ම් එකේ තියෙන්නෙ. රාත්‍රී භෝජනයකට සහභාගී වෙන ගමන් මුදලකුත් උපයාගන්න පුළුවන් විදිහේ තරඟයකට පිරිසකට ආරාධනා ලැබෙනවා. මේ තරඟය හැබැයි මේ අය හිතපු තරම් අහිංසක නැහැ. ‘වුඩ් යූ රාදර්’ නමින් හැඳින්වෙන අපි කලින් කියපු මේ තරඟයේදි තරඟකරුවො පිරිසට දෙන්නේ ඉතාම අසීරු තෝරාගැනීම් දෙකක් අතරින් එකක් තෝරගන්න. මේ එක තෝරාගැනීමකට උදාහරණයක් කිවුවොත් මේ අයට සිද්ධ වෙනවා පිහියකින් තමන්ගේ කකුලට ඇන ගන්නවද? එහෙමත් නැත්නම් කෑම මේසයේ ඉන්න වෙන කෙනෙක්ට ඒ පිහියෙන් අනිනවද කියල තීරණය කරන්න. මේ විදිහේ ලැබෙන තෝරාගැනීම් එන්න එන්නම දරුණු වෙන්නේ ජීවිතයත් මරණයත් අතර කරන තරඟයක් බවට මේක පත් කරලායි.

 

සම්පූර්ණ චිත්‍රපටය (ඉංග්‍රීසි උපසිරැසි සහිත)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *