ක්‍රිකට් විනිසුරුවන් විසින් දුන් අදහාගත නොහැකි තීන්දු

ලෝක කුසලාන අවසාන මහා තරඟය හරිම තරඟකාරී වගේම මහා ජරමර සහිත එකක් වුණා. ක්‍රිකට් ලෝකේ පිරිනම​න ලොකුම කුසලානේ වැදගත්ම මැච් එකේදි අපේ ධර්මසේන විනිසුරුතුමාගෙන් සිදු වෙච්ච වැරැද්දක් ගැන ලෝකෙම කතා කළා. ඊට පස්සේ පවත්වපු අළු බඳුන ටෙස්ට් තරඟයෙදිත් විනිසුරු වැරදි ගැන ​ගොඩක් කතාබහ ඇතිවුණා.

ක්‍රිකට් විනිසුරුවන් අතින් යම් යම් වැරදි සිදුවෙන එක සාමාන්‍ය කරුණක්. ඒත් සමහර වැරදි විනිශ්චයන් නිසා රටකට, කණ්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට අහිමි වෙන්න තියන දේවලුත් බොහොමයි. 

මේ කියන්න යන්නෙ මෑත ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවන් අතින් සිද්ධ වෙච්ච හිතාගන්නත් බැරි වැරදි විනිශ්චයන් කීපයක් ගැන.

 

1. බී. සී. කුරේ පිස්සු නැටූ එංගලන්ත සංචාරය

මේ කියන්න යන්නේ එක වැරදි තීරණයක් ගැනනම් නෙමෙයි, වැරදි තීරණ දහයක් පහලොවක් දුන්න තරඟයක් ගැන. 2001 දී එංගලන්තයත් එක්ක තිබ්බ මේ ටෙස්ට් තර​ඟෙ හැම වැරදි තීරණයක්ම වගේ ශ්‍රී ලංකාවට අවාසිදායකවයි ලැබුණෙ. මේ මැච් එකෙන් පස්සෙ ‘බෑඩ් කෝල් කුරේ’ කියන අන්වර්​ථ නාමය පටබැඳුණු ලංකාවේ බී. සී කුරේ විනිසුරුව තරඟයේ වීරයා කරන්න කියලත් මැච් එක බලන්න ආපු සෙනග කෑ මොර දුන්නා. වැරදි කඩුල්ල මුවා කිරීමේ තීන්දු, ලංකාව ලබා ගත්ත පැහැදිලි කැච් වලට අවුට් නොදීම විතරක් නෙමෙයි, අන්තිමේදි ඇස් ඉස්සරහ බම්ප් වෙලා අල්ලපු බෝලයක් කැච් එකක් හැටියට නම් කරලා සනත් ජයසූරියගේ විකට්ටුවත් අහිමි කෙරුවා. තරඟය නිමා වුණේ ශ්‍රී ලංකාවට පරාජයක් අත් කරලයි. අන්තිමේදී බී. සී කුරේට තරඟය නිම වෙලා ක්‍රීඩාගාරෙට යන්න වුණේ පොලිස් ආරක්ෂාවත් ඇතුවයි. ලංකාවෙ නම ගිය විනිසුරුවෙක් වෙච්ච බී. සී කුරේට මේ මැච් එකෙන් පස්සෙ තමන්ගෙ කීර්තිමත් විනිසුරු දිවියට එකතු වෙච්ච කලු පැල්ලමක් එක්ක සමු ගන්න සිද්ධ වුණා. සමහර ප්‍රේක්ෂක​යො චෝදනාත් කළා කුරේ විනිසුරුතුමා එංගලන්තෙන් අල්ලස් අරන් මේ මැච් ​එක වික්කය කියලා.

 

2. මොයීන් අලී තුනයි… ධර්මසේන බින්දුවයි

මේ අපූරු සිදුවීම සිදුවෙන්නෙ 2016 වසරේ බංග්ලාදේශය සහ එංගලන්තය අතර පැවැත්වූ ටෙස්ට් තරඟයකදියි. මේකෙදි වැරැද්ද සිද්ධ වෙන්නෙ අපේ ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනගේ අතින්. එක වැරැද්දක් නෙමෙයි වැරදි තුනක්ම එකම පිතිකරුවට. පිතිකරුවා වෙන්නෙ එංගලන්ත පිතිකරු මොයීන් අලී. ධර්මසේන විනිසුරුතුමන් මොයීන් අලී​ කඩුල්ල මුවා කළාය කියල තුන් පාරක්ම අවුට් දෙනවා. ඒ තුන් වතාවේම මොයීන් අලී තීරණය රිවිව් කරනවා. DRS මගින් ඒ තුන් වතාවේදීම මොයීන් අලී නොදැවුණු ක්‍රීඩකයෙක් හැටියට නම් කරනවා. 

ඒ වීඩියෝව පහතින් නරඹන්න පුළුවන්.

 

 

3. අවුට් එකක්ද? නෑ ඔලුව කැසිල්ලක්

මේ හාස්‍යජනක සිදුවීම වෙන්නෙ ඕස්ට්‍රේලියාවයි ඉන්දියාව අතර තිබ්බ ටෙස්ට් තරඟයකදියි. මේ තරඟෙදි ඉන්දියානු පිතිකරු පුජාරා පහරක් එල්ල කරද්දී පන්දුව පිත්ත ආසන්නයෙන් ඇදී යනවා. ඒ වෙලාවෙදි අපිට දකින්න ලැබෙනවා ඒ මැච් එ​කේ විනිසුරු ක්‍රිස් ගැෆ්නි ඒ​ක දැවීයාමක් හැටියට සලකුණු කරන්න ඇඟිල්ලක් උස්සන බවක්. ඒත් පන්දු රකින පිළේ කිසිම ක්‍රීඩකයෙක් දැවීයාමකට ඉල්ලීමක් කරන්නේ නැතිකොට ගැෆ්නි හිමීට දැවී යාමේ සංඥාව වෙනස් කරලා තමන්​ගේ ඔලු​ව කසන්න පටන් ගන්නවා. මේ​කෙ සජීවී දර්ශනය තිය​න වීඩියෝව මේ ලින්ක් එක ක්ලික් කරලා බලන්​න පුළුවන්.

 

 

4. සංගාගේ ද්විත්ව ශතකය උදුරාගත්​ත රූඩි කෝට්සන්

මේ අවාසනාවන්ත වැඩේ වෙන්​නෙ 2007 අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවෙදි පැවැත්වුණු ටෙස්ට් තරඟයකදී. මේ තරඟයේ අන්ති​ම ඉනිමෙදි අපිට සිද්ධ වෙනවා ලකුණු 507ක ඉලක්කයක් හඹා යන්න. ලකුණු තුන්සීය පහු කරන්නටත් කලින්ම අපේ කණ්ඩායමේ විකට් 8ක්ම වැටුනත් මාලිංග සංගක්කාර එක්ක සෙට් වෙලා හො​ඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ටිකෙන් ටි​ක තමන්​ගෙ ද්විත්ව ශතකයටත් සංගක්කාර ළඟා වෙද්දි ඕස්ට්‍රේලියානුවොත් ටික ටික අන්දුන් කුන්දුන් වෙන්න පටන් ගන්නවා. 

ඒත් ඉතින් වැඩි වෙලාවක් යන්න හම්බුවෙන්නෙ නැහැ හත්තිලව්වට ගහපු කලාබරේ වගේ රූඩ් කෝට්සන් සංගාට වැරදි තීරණයක් දෙනවා. උරහිසෙයි හෙල්මට් එකෙයි වැදුණ පන්දුවක් උඩ පන්දුවක් හැටියට සංඥා කරනව.. ලකුණු 192ක් ගහලා ඉතාම හොඳින් පිත්ත හසුරුවමින් හිටපු සංගාගේ දැවී යාමෙන් පස්​සෙ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 410කට සීමා වෙනවා.

 

5. ටෙන්ඩුල්කාර්ගේ පරම හතුරා ස්ටීව් බක්නෝර්

ස්ටීව් බක්නෝර් කියන්නේ ක්‍රිකට් ලෝකේ හිටපු හොඳම විනිසුරුවරයෙක් හැටියට නම් කරන්න පුළුවන් කියල අපිට වෙලාවකට හිතෙනව. ඒත් එයා​ගෙ සමහර විනිශ්චයන් නිසා ඒ තානාන්තරය ලබා දෙන්න අපි තරමක් පැකිලෙනවා. විශේෂයෙන්ම ආසියාතික කණ්ඩායම් වලට බක්නෝර් අතින් වැඩිපුර අවාසිදායක තීන්දු ලැබුනාදෝ කියලත් හිතෙන අවස්ථා තියනවා. එහෙමත් නැත්නම් වයස්ගත වීමත් එක්ක විනිශ්චය කිරීමේ ඇතිවුණ වැරදි වෙන්නත් පුළුවන් ඒ දේවල්. ඉන්දීය ක්‍රිකට් ෆෑන්ස්ලට නම් බක්නෝර් කියන්නෙ නයාට අඳුකොළ වගේ චරිතයක්. ඒ ඉන්දියානුවන්ගේ හිත් කඩල දාන විදි​හෙ අතිශය දුර්වල තීරණ කීපයක්ම බක්නෝර් කාලෙන් කාලෙට දීපු නිසයි. ඒ අතරින් බක්නෝර් ටෙන්ඩුල්කාර්ට දීපු කඩුල්ල මුවාකිරීමේ තීන්දු කීපයක්​ම ඉන්දියානු ප්‍රේක්ෂකයන්ව කුලප්පු කරන්න සමත් වුණා. සමහර ඉන්දීය ප්‍රේක්ෂක​යො කියන්​නෙ ටෙන්ටුල්කාර්ගේ ශතක හය හතක්ම බක්නෝර් නිසා අහිමි වුණා කියලයි. බක්නෝර් ටෙන්ඩුල්කාර්ට දුන් එක් වැරදි තීන්දුවක වීඩියෝවක් තමයි මේ. පියවි ඇහෙන් බලල කියන්න පුළුවන් කෙලින්ම නොටවුට් කියල.

 

 

6. ෆ්ලින්ටොෆ්ට විනිසුරු ඩග් කවී දීපු ලොවෙත් නැති අවුට් එ​ක

2002 අවුරුද්දෙදි නවසීලන්තයත් එංගලන්තයත් අතර පවත්වපු තරඟෙකදි තමයි මේ වැරැද්ද සිද්ධ වෙන්නෙ. සමහරු මේක නම් කරන්නෙ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසේ නරකම විනිසුරු තීරණය කියලයි. එංගලන්තෙ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ බැට් එක අහලකින්වත් නොයන බෝලෙකට තමයි නවසීලන්ත විනිසුරු ඩග් කවී දැවීයාමක් දෙන්නෙ. සමහරු කියනවා එවෙලේ බැට් එකයි බෝලෙයි අතර තිබ්බ පරතරෙන් කාර් එකක් වුණත් එළෝගෙන යන්න පුළුවන්ය කියල. අඩුම තරමේ සෙන්ටිමීටර් 10කින් විතර බෝලෙ එහායින් යන්නෙ. බලන්නකො…

 

 

7. අලීම් දාර්ගේ විකාර තීන්දු

මේ ලැයිස්තුවට විනිසුරු අලීම් දාර්ව ඇතුළත් නොකළොත් ඒක ලොකු අඩුවක්. අම්මෝ සිරි ලංකාවට අවාසි විදිහටත් උපරිමේට තීරණ ගත්ත අම්පයර් කෙනෙක් නොවැ. මතකනේ දකුණු අප්‍රිකානු තරඟාවලියේ අපේ DRS එකකටත් ගේම දුන්නා තත්පර 15 පැන්නය කියල. අලීම් දාර්ගෙ පෙර වැරදි එකක් කියල නෑ. සෙට් එකක්ම තියනවා. මේ වීඩියෝවෙන් ඒව බලන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *