කටු කිව්වට අනික් වෘත්තියන්ගේ නිරත වෙන අයගේ ළමයි එක්ක බලද්දී මේවා නිකන් එළු මස් සුප් එකක තියෙන කටු වගේ. ඒත් එක්තරා විදියක කට්ටක් ඉතින්. මේ ලියමනෙන් අනෙක් වෘත්තීන් එක්ක සැසඳීමක් එහෙම කොරනවා නෙවෙයි ඔන්න. ගුරු දරුවෙක් කන කටු කියලා විශේෂයෙන් ලියනවා විතරයි.
1. පේපර් බැලීම
උතුම් ම රැකියාව වුණාම ඉතින් පොඩ්ඩක් ඒ නමට ගැලපෙන්න ම වැඩ රාජකාරි එහෙමත් උතුම් විදියට තියෙනවා. විභාග කාලය කියන්නේ ගුරුවරු ඉන්න ගෙදරක පවුල් පිටින් ඒවට සූදානම් වෙන කාලයයි. ඉස්සර තමයි පන්තිවල ළමයි 30ක් වගෙ හිටියේ. දැන් ඉන්නවා පැට්ටු ගහලා වගේ 60ක් 70ක්. තනියම බලන්න ගියා නම් හෙම වාරවිභාග ප්‍රශ්නපත්‍ර, ඇහේ පොට යනවා. ඉතින් අන්න ඒ වෙලාවට තමයි ගෙදර ඉන්න දරුවො ඒ වැඩේට බස්සන්නේ. ලකුණු එකතු කරන ඒවයි බහුවරණ ප්‍රශ්න පත්‍ර බලන එකයි තමයි ගොඩක් වෙලාවට කරන්න පුළුවන්.
2. මිනිස්සු දේවල් බලාපොරොත්තු වීම
තාත්තා පිහිනුම් ශූරයා නම් පුතත් හෙමයි කියලා අල්ලලා ගඟේ මූදේ දාන වැඩක් මේක. දෙමව්පියන් ගුරුවරුන් වීම නිසා පුතණ්ඩියාට නැත්තම් දුවටත් ඒ ඥානය ඒ විදියට ම පිහිටෝලා තියනවා කියලා මිනිස්සු හිතනවා. ඒත් ප්‍රායෝගික ව ඒ දේ එහෙම නොවුණා නම් අහවල් එක අස්ථානගත වුණා වගේ කලබල වෙනවා. මේ ගෙදර ඉන්න ගුරු දෙමව්පියන්ට ඒකේ වගේ වගක් නෑ. ඇම්ම තියෙන්නේ අනික් අයට. බාහිර ලෝකයට.
3. යහළුවන්ගෙන් කතා ඇසීමට සිදු වීම
කේස් අයිසේ කේස්. අපි ගුරුවරුන්ට ආදරේ කරන ජාතියක් තමයි. ඒ ආදරේ නිසා ම එක එක නම් එහෙම පටබඳිනවනේ. එතකොට බැරි වෙලාවත් තමන්ගේ අම්මා තාත්තට කියන නමක් ගැන කන වැකුණම වැඩේ අමාරු වෙනවනේ. ඊට අමතර ව ළමයි අප්‍රිය කරන චරිතයක් වෙනවා නම් තවත් හිතට වේදනයි. ශිෂ්‍ය නායක නැත්නම් වෙන මොනවා හරි තරඟවලට සහභාගී වෙනකොට බලපෑමකට අනුව ඒක කරන්න ඇති ය කියලා හිතනවා. කල්ලිවල කතා වෙනවා.
4. බොරු මාට්ටු වීම
ගුරු සිත නොරිදවා කිව්වට ඕක රිද්දන තැන් අප්‍රමාණයි. ඔය රිදිල්ලෙන් ඔපමට්ටම් වෙලා ඉන්න ඔබේ ගුරු පියා හෝ මව එහෙම වදන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ කීයටවත්. එක පාරට ඉස්කෝලේ යන්න බැරිකමට හැදෙන බඩේ අමාරුයි ඔළුවෙ අමාරුයි තියෙන්නේ විනාඩි 2යි කියන්න අම්මලා දන්නවා. ගෙදර වැඩ එහෙම ගානට වෙලා තියෙන්න ඕනි. වැඩේ කරා පොත දාලා ආවා වැඩ නම් ඉතින් වානා. ඕවා කරන්න ගිහින් බැරි වෙලාවත් (බොහෝ වෙලාවට) එයාලාට පන්තියේ ටීචර් හම්බුණාම ප්‍රශ්න ගොඩයි.
5. විනය දැඩි ව රැකීමට සිදු වීම
පුංචි පුංචි නසරාණි වැඩ වුණත් කරන්න වෙන්නේ දෙයියො බුදුන් සිහි කරගෙන තමයි. ඉස්කෝලේ මතක හොඳ මතක වෙන්න නම් මෙහෙම ආසික් වැඩත් කරන්න ඕනි. ගුරු දෙමව්පියන්ගේ ළමයි වුණා ම අඹ කඩන්න පොලු අතට ගන්න ඕනි නෑ ගහ දිහා බැලුවත් ගහ කපා දැම්මා වගේ තමයි ආරංචි වටේ යන්නේ. කොණ්ඩා, රැවුල්, නියපොතු, ගවුමේ දිග එහෙම හරියට ම තියෙන්න ඕනි. ඉස්කෝලෙට එන්න කලින් ගෙදරිනුත් ඕවා බලා එවන නිසා එච්චර ලේසි වෙන්නේ නම් නෑ. හැබැයි කරන තරම් කඩප්පුලි වැඩ කරේ එහෙම ළමයි ම තමයි.
6. ගුරු-දෙගුරු රැස්වීම්වල චොර වීම
මේ රැස්වීමකට ගියා ම ගිරේට අහු වුණා වගේ තමයි. එහා පැත්තේ ඉන්නෙත් ගුරුවරයෙක්. මෙහා පැත්තේ ඉන්නෙත් ගුරුවරයෙක්. එක ගුරුවරයෙක් ඉතින් තමන් ව මොකක් හෝ නිසා දරුකමට අරගෙන තියනවා. ඒ ඇරෙන්න එතන යන ගුරු සංවාදයේ දී වෙන්නේ නිර්වස්ත්‍ර වීමක් තමයි. පොඩි දෙයක් ඇති ඉතින් අල්ලගෙන චොර වෙලා ම යන්න. එක ම ඉස්කෝලේ ගුරුවරු නම් හැමදාම ගුරු-දෙගුරු රැස්වීම් තමයි.
7. දේශන අසා සිටීමට සිදු වීම
දෙමව්පියන් තමන්ගේ දරුවන් යහමගට ගන්න කොහොමත් උපදෙස් දෙනවා. ගුරු දරුවෙක් වුණා ම ජීවිතේ ම උපදෙස් ගොඩකින් සහ කතන්දර ගොඩකින් පිරිලා තමයි තියෙන්නේ. පේපර් එකකට චුට්ටක් ලකුණු අඩු වෙලා තිබ්බොත් ඉස්සර පන්තියක හිටපු දීප්තිමත් ශිෂ්‍යයෙක් ගැන දේශනයක් දෙනවා. ජීවිතේ හැම දෙයක් සම්බන්ධයෙන් ම ඒ වගේ අතීතයේ හිටපු ළමයින්ගෙන් ගන්න උදාහරණ තියෙනවා. ඔහොම තමයි ජීවිතේ.
Leave a Reply