ඉන්දියා​ව කැළඹූ ආන්දෝලනාත්මකම බොලිවුඩ් චිත්‍රපටි

බොලිවුඩ් සිනමාව කියන්නේ ලංකාවේ අපේත් ප්‍රියතම සිනමාවක්. බොලිවුඩ් සිනමාපට අතරින් වැඩි හරියක් පවුලේ සැමට නැරඹිය හැකි සරළ විනෝදාත්මක චිත්‍රපටි ගණයටයි වැටෙන්නෙ. හැබැයි එහෙම වුණත් ඉඳහිට හරි ඉන්දීය සමාජය හොල්ලන විදිහේ ආන්දෝලනාත්මක තේමා​වන් සහිත චිත්‍රපටත් බොලිවුඩය තුළ බිහිවෙනවා. මේ කියන්න යන්නේ ඒ විදිහට කාලෙන් කාලෙට බොලිවුඩය කළඹවාපු චිත්‍රපට සෙට් එකක් ගැන.

 

1. Bandit Queen (1994)

90 දශකයේදි ලංකාවේ සිනමා ශාලාවලත් බොහොම සාර්ථක විදිහට තිරගත වෙච්ච චිත්‍රපටයක් වුණු බැන්ඩිට් ක්වීන් ඉන්දියාවේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු චිත්‍රපටයක් වුණා. පූලාන් දේවී කිය​න ඉන්දියානු මංකොල්ලකාරියගේ ජීවිත කතාව ඇසුරින් හැදුණ මේ චිත්‍රපටයේ නිරුවත් ජවනිකා සහ ස්ත්‍රී දූෂණ ජවනිකා ඇතුළත් වීම ඉන්දීය සමාජය ඇතුළේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. සැබෑ පූලාන් දේවී පවා මේ චිත්‍රපටයෙන් තමන්ගේ චරිතය විකෘති කොට ඇති බවටත්, චිත්‍රපටයේ ප්‍රදර්ශන අත් හිටෙවුවේ නැතහොත් තමා සිනමා ශාලාවක් ඉදිරිපිට සියදිවි නසාගන්නා බවටත් තර්ජනය කර තිබුණා. 

 

 

 

2. Fire (1996)

ෆයර් චිත්‍රපටය නමේ හැටියටම ඉන්දියාව ඇතුළේ ගිනි අවුලුවන්න සමත් වුණු චිත්‍රපටයක්. ඒකට හේතුව වුණේ මේ චිත්‍රපටය විවාහක කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන සමලිංගික ප්‍රේමයක් තේමාව කරගෙන නිර්මාණය වීම. ඒ වෙද්දි ඉන්දියානු සමාජයට ආගන්තුක වෙච්ච මේ තේමාව නිසා බොහොම කලබගෑනි ඇතිවුණා. මේ චිත්‍රපටයට විරෝධතාවය ප්‍රකාශ කරන්න මූලිකත්වය ගත්තෙ ශිව් සේනා පක්ශයයි. මේ අය ෆයර් චිත්‍රපටය පෙන්වන සිනමා ශාලා වටලලා ඒවාට අලාභ හානි කරන්න පටන් ගත්තා. ඒ අය කිවුවෙ “ගැහැණියකගේ ආශාවන් තවත් ගැහැණියකට සපුරන්න පුළුවන් උනොත් විවාහ සංස්ථාව බිඳවැටිල, වර්ගයාගේ පැවැත්ම නැවතිලා, ලෝකෙන් මිනිස්සු වඳවෙලා යන්න පුළුවන්” වගේ කතා.

 

 

3. Siddhartha (1972)

හර්මන් හේස ගේ සිද්ධාර්ථ නවකතාව ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. තරුණ සිදුහත් කුමරුගේ ගිහි ජීවිතය සහ සංසාර සත්‍යය අවබෝධ කරගන්නට යෙදුණු ගමන් මග මේ චිත්‍රපටයට පාදක වෙලා තියනවා. ඉන්දීය නළු නිළියන් රඟපාපු මේ චිත්‍රපටය කොන්රඩ් රූක්ස් කිය​න අමෙරිකානු අධ්‍යක්ෂවරයා තමයි නිම කරන්නේ. මේ චිත්‍රපටය ආන්දෝලනයට ලක්වෙන්නෙ සිමී ගෙරෙවාල් නම් බොලිවුඩ් නිළියගේ නිරුවත් දර්ශන මෙයට ඇතුළත් වීම නිසායි. 

 

 

 

4. Insaaf ka Taraazu (1980)

1980 වර්ෂයේ තිරගත කරපු ‘ඉන්සාෆ් කා තරාසු’ චිත්‍රපටය ‘ලිප්ස්ටික්’ නැමැති හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක්. කාන්තාවන් දෙදෙනෙක්ට සිදු කරන ලිංගික අපරාධයන් වෙනුවෙන් පළිගැනීමේ කතාවකින් තමයි මේ චිත්‍රපටය සමන්විත වෙන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එවකට බොලිවුඩයේ සරාගී ගිනි සිළුවක් නමින් ජනප්‍රියව සිටි සීනත් අමාන් විසින් රඟපෑවා. මේ චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ කාන්තාවන්ව ලිංගික අපයෝජනයට ලක් කරන ජවනිකා නිසා එවක ඉන්දියානු සමාජය තුළ මේ චිත්‍රපටය කැළඹිලි ඇති කළා. සීනත් අමාන් සම්බන්ධ ජවනිකාවලටත් වැඩියෙන් ලාබාල තරුණියක් වූ පද්මිනී කෝල්හපූර් සම්බන්ධ ලිංගිකත්වය මුසු ජවනිකා ආන්දෝලනයට ලක්වෙන්න සමත් වුණා.

 

 

5. Black Friday (2007)

අනුරාග් කාශ්‍යප් කියන්නේ බොලිවුඩ් පුරවරයේ ඉන්න නිර්භීතම අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ චිත්‍රපට හරහා ඉන්දියානු ජන සමාජය ගැන බොහෝ අධ්‍යක්ෂකවරුන් සඟව​න කටුක, අප්‍රසන්න ඇත්ත ඔහු හෙළිදරවු කරනවා. 2007 දී තිරගත කරපු බ්ලැක් ෆ්‍රයි​ඩේ චිත්‍රපටය​ට ඔහු පාදක කරගන්නේ 1993 වර්ෂයේදී සිදුවූ මුම්බායි බෝම්බ ප්‍රහාර සිදුවීමයි. කෙසේ නමුත් 2005දී බ්ලැක් ෆ්‍රයිඩේ චිත්‍රපටය තිරගතකිරීම අරඹන විටත් ඉහත ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අවසන්ව තිබුණේ නැහැ. එම නිසා නඩුවේ තීන්දුවට චිත්‍රපටය මගින් බලපෑමක් සිදුවේවිය කියලා මේ චිත්‍රපටයේ තිරගත කිරීම වසර දෙකක් යනතෙක් තහනම් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණ​ය තීන්දු කරනවා.

 

 

6. Madras Cafe (2013)

මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයට ශ්‍රී ලංකාවේත් සම්බන්ධයක් තියනවා. ඒ තමයි මේ චිත්‍රපට කතාවට පාදක වෙලා තිබුණේ එල්ටීටීඊය සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවුණු ගනුදෙනුවයි. රජීව් ගාන්ධි ජනාධිපතිවරාගේ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධවත් මේ චිත්‍රපටයේ කරුණු ඇතුළත්ව තිබෙනවා. මෙම චිත්‍රපටයෙන් වඩාත්ම කලබලයට පත් වූයේ ඉන්දියාවේ සිටින එල්ටීටීඊ හිතවාදී පිරිසුයි. මේ අය ​චෝදනා ක​ළේ මේ චිත්‍රපටය මගින් එල්ටීටීඊ සංවිධානය අමානුෂික සංවිධානයක් හැටියට උළුප්පා දක්වනවාය කියලයි. ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදනය පිටුපස ශ්‍රී ලංකා රජය සිටින බවටත් ඒ සමහරු චෝදනා කළා.

 

7. Ram Tere Ganga Maili (1985)

රාජ් කපූර් කියන්නේ ඔහු ජීවත් වුණ කාලයට සාපේක්ෂ​ව ගත්තහම බොලිවුඩ් සිනමාව තුළ දැනෙන වෙනස්කම් කරන්න මූලික වුණු අධ්‍යක්ෂකවරයෙක්. ප්‍රධාන නිලියන්ගේ අඟ පසඟ නිරාවරණය වෙන ආකාරයේ දර්ශන එහෙමත් අනෙකුත් අධ්‍යක්ෂකවරුන්ට වඩා රාජ් කපූර්ගේ චිත්‍රපටවල දකින්න ලැබුණා. මේවා බො​හොමයක් අවස්ථාවල නිරුවත හුවා දැක්වීමට වඩා චිත්‍රපට කථාවට අදාළව පෙන්වන ජවනිකා වුණා. මේ චිත්‍රපට අතරින් ඉන්දියාව තුළ වඩාත්ම ආන්දෝලනයක් ඇති කළේ 1985 දී තිරගත කළ රාම් තෙරී ගංගා මාලී චිත්‍රපටයයි. ඒ එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ මන්දාකිනීගේ උඩුකය නිරුවත කැපී පෙනෙන ආකාරයේ දර්ශන කීපයක් ඇතුළත් වීම නිසායි. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *