දන්න කියන දේශපාල​නඥයින්​ගේ විවාහ ජීවිත ගැන නොදන්​න කතා – 2 කොට​ස

අපි පහුගිය දවසක මේ හා සමාන මාතෘකාවකින් අපේ රටේ පැරණි දේශපාලනඥයන් කීප දෙනෙක්ගේ විවාහ ජීවිත ගැන කතා කළා. ඉතින් අපි හිතුවා, අද පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්න අයගේ විවාහ ජීවිත ගැනත් ඇයි අපි කතා නොකරන්නේ කියලා. ඉතින් මේ සටහන අපි හොඳට දන්න කියන කීප දෙනෙක්ගේ විවාහ ජීවිත ගැන නොදන්න කතා කීපයක්.

මෙහි පළවැනි කොටස මේ ලින්ක් එක ක්ලික් කරලා කියවන්​න

 

1. මහින්දානන්ද අලුත්ගමගේ 

මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා චතුර කථිකත්වයකින් හෙබි දේශපාලඥයෙක්. බොහෝ අවස්ථාවල මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගන්නා ලැයිස්තුවේ ඉහළින්ම එතුමා ඉන්නවා. මෙතුමා මේ වනවිට විවාහ වී සිටින්නේ සේනානි ජයරත්න මහත්මිය සමඟ. එතුමාගේ මෙන්ම ඇයගේ ද මේ  දෙවැනි විවාහයයි. හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ  දියණිය වූ ඇය මීට පෙර විවාහ වී සිටියේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සමගයි. ඒ විවාහයෙන් ඇයට එක දියණියක් සිටිනවා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආශා විජයන්ති පෙරේරා මහත්මිය සමඟ විවාහ වී සිටියා. ඔවුන් දෙදෙනාට පුතෙකු සහ දියණියක් සිටිනවා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සේනානි ජයරත්න මහත්මියගේ විවාහය දේශපාලන ලෝකය තුළ කතාබහ ඇති කිරීමට සමත් වුණා. ඊට හේතුව වූයේ මහින්දානන්ද මහතා දැඩි මහින්දවාදියෙකු වීමත් සේනානි මහත්මියගේ හිටපු සැමියා මෙන්ම ඇගේ පවුලේ සියලුදෙනාම පාහේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතවතුන් වීමත් ​ය.

 

2. මනූෂ නානායක්කාර 

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මනුෂ නානායක්කාර මහතා දේශපාලනයට පිවිසීමට පෙර ජනප්‍රිය රූපවාහිනී නිවේදකයකු වී සිටියා. එසේ ම ඔහු විවිධ අවස්ථාවල පක්ෂ මාරු කරන පුද්ගලයෙකු ලෙසත් ප්‍රකටයි. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වුණා. ඉන් පසුව පසුගිය මහා මැතිවරණ​යේදී මහින්ද පිළ නියෝජනය කළත් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයට එක් වී අමාත්‍ය ධූරයක් ද ලබා ගත්තා. දේශපාලනයට එළඹෙන විට ඔහු විවාහ වී සිටියේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රොෂානා ඔන්ඩච්චි සමඟයි.ඔවුන් දෙදෙනාට එක් දියණියක් සිටිනවා. කලා ලෝකයත් දේශපාලන ලෝකයත් අන්දමන්ද කරමින් රොෂානාව දික්කසාද කළ මනූ​ෂ නානායක්කාර මහතා ඉන් අනතුරුව ශානිකා සූරියාරච්චි මහත්මිය සමඟ විවාහ වුණා. 

 

3. තිස්ස අත්තනායක 

තිස්ස අත්තනායක මහතාටත් වඩා ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්. සිය පියාව සිරගත කළ අවස්ථාවේ දී නුහුරු ස්වරූපයකින් සිංහල කතා කළ ඇය පියාට ඇප ලබා ගත යුතු බව පැවසූයේ ‘ඇපල් බාගන්නවා’ යනුවෙනි. මෙය සමාජ මාධ්‍ය තුළ රසවත් කටගැස්මක් බවට පත් වූ අතර අවසානයේ දී තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය වැනි ෆේස්බුක් සමූහ පවා ගොඩ නැගුණා. දියණියට තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටීමට සිදු වූයේ ඒ වන විට ඇගේ මව වූ මාලා අත්තනායක මහත්මිය, තිස්ස අත්තනායක මහතාගෙන් නීත්‍යානුකූලව දික්කසාද වී තිබූ හෙයින්. ඇගේ දික්කසාදයෙන් පසුව දියණියගේත් පුතාගේත් සියළු වගකීම් ඉෂ්ට කොට ඇත්තේ තිස්ස අත්තනායක මහතා විසින්.

 

4. පාඨලී චම්පික රණවක  

මේ වෙන කොට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහ පාඨලී චම්පික රණවක මහතා අතර සීතල යුද්ධයක් පවතින බව නොරහසක්. සති කීපයකට පෙර ජලනි ප්‍රේමදාස මහත්මිය තමන් ආර්යාවක් ලෙස හඳුන්වාදෙමින් කළ කතාවක් හේතුවෙන් සමාජ මාධ්‍ය මගින් ඇයට එළව එළවා පහර දෙන්නට පටන් ගත්තා. ඒ අවස්ථාවේදී පහර දෙන්නට එක්වුණු රණවක හිතෛෂීන්ගේන් බොහෝදෙනා ඇසුවේ “සජිත් ගේ ආර්යාව ජලනි නම් පාඨලීගේ ආර්යාව කවුද?” කියලා. මීට හේතුව වුණේ පාඨලී චම්පික රණවක මහතා සිය විවාහ ජීවිතයට සමු දී සිටින නිසයි. මීට පෙර ඔහු විවාහ වී සිටියේ නිර්මලා රණවක මහත්මිය සමඟයි. එම විවාහයෙන් ඔහුට දියණියන් දෙදෙනෙකු සිටිනවා. එම දික්කසාදය ගැන මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු පෞද්ගලික සහායකයෙක් ක​ළ එළිදරව්වක් පිළිබඳව යම් යම් කතා දේශපාලන ලෝකය  තුළ පැතිර ගියා. 

 

5. අසාත් සාලි 

මෙවර  නිදහස් උත්සවය අවස්ථාවේ දී එක්තරා අපූරු සිදුවීමක් සිද්ධ වුණා. ඒ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම රාජ්‍ය උත්සව අවස්ථාවට සිය බිරින්දෑවරු දෙදෙනා සමඟ සහභාගී වීම. අසාත් සාලි මහතා මේ කාන්තාවන් දෙදෙනාම විවාහ කරගෙන තිබෙන්නේ නිත්‍යානුකූලවයි. ඒ අපි හැමෝම දන්න මුස්ලිම් නීතියේ ඇති විශේෂ වරප්‍රසාද භාවිතා කරමින්. මේ නිසාම ද මන්දා අසාත් සාලි මහතා මුස්ලිම් නීතිය වෙනස් කරනවාට සිය දැඩි විරෝධය දිගින් දිගටම ප්‍රකාශ කරනවා.

 

6. මිල්රෝයි ප්‍රනාන්දු 

2005 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය “මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු” මහත්මියට මරණ දඬුවම නියම කරනවා. ඒ 1991 වර්ෂයේදී  තමන්ගේ සැමියා සමග අනියම් ඇසුරක් පැවැත්වූ චාලට් තෙරීසා ප්‍රනාන්දු නම් කාන්තාව සහ ඇගේ නිවසේ සේවයට සිටි ටෙක්ලා යන දෙදෙනාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීම වෙනුවෙන්. නමුත් මේ අවස්ථාවේදී මොනිකා ප්‍රනාන්දු මහත්මියට ජනාධිපති සමාව හිමි වෙනවා. ඒ ඇගේ සැමියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ මිල්රෝයි ප්‍රනාන්දු මහතා වීම නිසයි.

 

7. ලක්ෂ්මන් කදිරගාමර් 

අපේ රටෙන් බිහි වූ සුවිශේෂී රාජතාන්ත්‍රිකයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ බිරිඳ විදිහට බොහෝදෙනා හඳුනාගන්නේ සුගන්ධි කදිරගාමර් මහත්මියවයි. නමුත් ඇය කදිරගාමර් මහතාගේ දෙවන බිරිඳයි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන අවදියේ දී කදිරගාමර් මහතා ප්‍රංශ සහ පාකිස්තාන සම්භවයක් සහිත ඇන්ජලා මාලික් නම් තරුණිය සමඟ විවාහ වුණා. ප්‍රකට ඉංග්‍රීසි නිවේදිකාවක වන අජිතා පෙරේරා මහත්මි​ය සහ ගෘහනිර්මාණ ශිල්පියෙකු වන ක්‍රිස්ටීන් කදිරගාමර් මහතා ඒ විවාහයෙන් කදිරගාමර් මහතාට ලැබුණු දරු දෙදෙනායි.

 

මේ ආර්ටිකල් එක  ඉතින් වෙනදා වගේම අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *