අපේ රට ජන ඝනත්වය වැඩි රටක්. ලංකාව කියන පුංචි දූපත ඇතුලේ ස්වීඩන්, නෝර්වේ, ෆින්ලන්ත කියන රටවල් තුනේම ජනතාවගේ එකතුවටත් වඩා වැඩි ජනතාවක් ඉන්නවා. මේ ජනතාව එක්ක ලංකාවේ අලි, කොටි, වලස්සු ඉන්න සුන්දර වනාන්තර පද්ධති එහෙමත් තියෙනවා. මේ ලංකාව කියන දූපතට ලංකාවේ මිනිස්සුන්ගේ කුණු කියන්නෙත් ගැටළුවක්. කොළඹ කුණු කොහෙද දාන්නේ කියන එක එදා ඉඳලා තියෙන ප්‍රශ්නයක්. ඒ අස්සේ පිටරට කුණු ගොඩක් කන්ටේනර විදියට අපේ වරායට ඇවිල්ලා. මේ විදියට එන කුණු වල පසුබිම මොකද්ද? මෙහෙම කුණු ආපු වෙනත් රටවල් මොනවද? ඒ රටවල් ඒ කුණු කොහොමද හරවාල යැව්වේ කියල අපි ටිකක් සොයාබලමු.
1. ප්ලාස්ටික් පොලිතින් රිසයිකල් කරන්නම බැරිද?
සරලම උදාහරණයක් ලෙස ප්ලාස්ටික් වතුර බෝතලයක් ගනිමු. එහි වුනත් බෝතලය හදල තියෙන මූලික මැටීරියල් එකෙන් නෙමෙයි බෝතල පියන හදන්නේ. ඒ පියන හදන ජාතියෙන් නෙමෙයි පියන වටේ සීල් කරන පොලිතීන් එක හදන්නේ. ඔය තුන එක බෝතලයක වෙන්කිරීම නම් හරි ලේසියි. ඒත් මහා පරිමාණයෙන් එය විශාල වැඩක්. සරල වතුර බෝතලය හැරුනාම විවිධ පොලිතින්, ප්ලාස්ටික් අපි පාවිච්චියට යොදා ගන්නවා. විවිධාකාර ඝනකමින්, විවිධ සංයෝග වලින් විවිධ වර්ණයන්ගෙන් තියෙන මේ ප්ලාස්ටික්, පොලිතීන් එකට එකතු වුනාම ඒවා නිසි පරිදි ලේසියෙන් රිසයිකල් කරන්න පුළුවන් විදියට නැවත වෙන්කරගන්න එක හරිම අමාරු වැඩක්. දැනට පොලිතින් වෙන්කරලා බාර ගන්න බොහෝ තැන්වල අවසානේ සිදුවන්නේ ඒවා ලෑන්ඩ් ෆිල්, එහෙම නැතිනම් ඉඩම් පිරවීමට යොදාගැනීම හෝ ගිනිතැබීම. මේ ගිනිතැබීමේදි ඇතැම් රටවල් මේ පොලිතින් සහ ප්ලාස්ටික් දහනය කරලා විදුලිය නිපදවාගන්න කටයුතු කරලා තියෙනවා.
2. චීනෙන් එපා කියූ හැටි
අනූව දශකයටත් පෙර කාලයේ පටන් ඇමරිකාවේ කුණු ඇමරිකාවේ පැසිෆික් අන්තය හරහා චීනයට ගියා. ඇමරිකාවේ දළ වශයෙන් වෙන් කරන ලද ප්ලාස්ටික්, පොලිතීන් බෝතල්, පත්තර ආදිය සුවිසල් චීන අංගන වල ප්‍රතිචක්‍රීකරණය වුනා. එහෙත් කෙමෙන් කෙමෙන් චීන රට දියුණු වුනා. බටහිර මාධ්‍ය විසින් ඒ කුණු සමග අනාරක්ෂිතව ගැටෙන චීන ජනතාවගේ ජීවිත අවදානම ගැන වාර්තා කෙරුණා. චීන රටද දියුණුව සමග පාරිසරික පැත්ත ගැන වැඩියෙන් හිතන්න වුනා. 2017 වර්ෂය අවසානයේ චීන රජය දැඩි තීරණයක් ගත්තා. හොඳින්ම වෙන් කරන ලද පිරිසිදු කසල හැර වෙනත් අපද්‍රව්‍ය චීනය බාර ගැනීම ඉන් පස්සේ නැවතුනා. ඉන් පසු කසල වෙන්කරගෙන ප්‍රතිචක්‍රීකරණය කරනවා යැයි සෝබන පෙන්වා ඒවා හොර පාරෙන් චීනයට යැවූ යුරෝපා, ඇමරිකා රටවලට කරකියාගන්නට දෙයක් නැතිවුනා.
3. පිලිපීනය
කැනඩාව විසින් පිලිපීනය වෙත කුණු කන්ටේනර 69ක් පමණ එවා තිබුනේ එහි ඇතුලත් ද්‍රව්‍ය වැරදි ලෙස වාර්තා කරමින්. එම කුණු කන්ටේනර සම්බන්ධයෙන් පිලිපීන රජය දැඩි පිලිවෙතක් අනුගමනය කළා. කැනඩාව විසින් එම කුණු තමුන්ගේ වුවත් ඒවා පැමිණියේ සමාගම් හරහා බව කීවා. මෙලෙස ඇදි ඇදී ප්රශ්නය තිබෙන විට කුකුල් කේන්තිකාරයෙකු වන පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටේට් දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් පිලිපීනයට එවූ කුණු ටික නැවත ගන්නේ නැතිනම් ඒවා ගෙන ගොස් පැසිෆික් සාගරයේ කැනඩා සීමාවට ගොස් හලන බවටද කිව්වා. අවසානයේ වසරක් පමණ ඇදී ගිය මෙම කුණු ගැටළුව කැනඩාව විසින් කුණු කන්ටේනර් ටික බාරගැනීමෙන් අවසාන වුනා. ඒ අවසානයේ පැවති මාධ්‍ය හමුවකදී සිනාමුසු මුහුණින් සහ කැඩිච්ච ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇමතූ පිලිපීන ජනාධිපති, “එයාලට පුළුවන් ඒ කුණු හොඳ උත්සවයක් තියල බාරගන්න. ඉන් පස්සේ ඕනිනම් එයාලට ඒවා කන්නත් පුළුවන්” යැයි අපහාසාත්මකව කිව්වා.
4. මැලේසියාව
කලින් සඳහන් කළ විදියට විශාලතම කුණු දායකයා වුනු චීනය අහක බැලීමත් එක්ක ඒ යාබද රටවලට වැඩි වැඩියෙන් කුණු එන්නට පටන් ගත්තා. මේ අතර අදටත් මැලේසියාවේ තැන් තැන්වල එහෙම ගෙනාපු කුණු ගොඩගැහිලා තියෙනවා. මැලේසියාවේ අවසර නොලත් කුණු ආනයනකරුවන් 150ක් පමණ කුණු ටොන් 3,000කට වඩා මැලේසියානු බිමට බාර අරගෙන තිබුනා. ඒ කුණු ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාවෙන් පැමිණි ඒවා වුනා. මැලේසියාවේදි මෙම කුණු ගොඩගහනකොට ඒ පළාතේ ජනයා කුපිත වෙලා විරුද්ධ වෙනවා. ඉන් පස්සෙ ජාවාරම්කාරයෝ වෙනත් නිතියේ සිදුරක් හොයාගෙන වෙනත් පළාතකට ගිහින් කුණු බානවා. කොහොම වුනත් මැලේසියානු රජය මේ කුණු කන්ටේනර් ගැටළුවට දැඩි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.
5. ඉන්දුනීසියාව
ඉන්දුනීසියාව කියන්නෙත් මේ අග්නිදිග ආසියාවේ තියෙන සුවිශාල රටක්. ඉන්දුනීසියාවට ඔස්ට්‍රේලියාවෙන් ආපු කුණු කන්ටේනර් අටක සඳහන් වෙලා තිබුණේ ඒවායේ තියෙන්නේ පේපර් කියලා. ඒත් ඇරලා බැලින්නම් ඒවයෙ මනුෂ්‍ය සිරුරට අහිතකර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කොළ අස්සේ හංගලා තිබුණා. ඉන් පස්සේ ඒ කන්ටේනර 8ම නැවත හරවා ඕස්ට්‍රේලියාවටම යැවුනා. සිංගප්පූරුවට ආසන්න බටම් දිවයිනේ තියෙන ඉන්දුනීසියානු වරායෙත් කන්ටේනර් 49ක කුණු තියෙනවා. ඇමරිකාව, ප්‍රංශය සහ ජර්මනියට අයිති එම කුණු කන්ටේනරුත් නැවත ආයෙ ඒ රටවලටම යවන්න ඉන්නවාය කියලා තමයි ඉන්දුනීසියාව කියන්නේ. පහුගිය ජුනි මාසෙ ඉන්දුනිසියාව ඇමරිකා එක්සත් ජනපදයට අයිති කන්ටේනර් 5කුත් නැවත එහෙටම හරවල යවලා තිබුනා. පේපර් වේස්ට් එහෙම නැතිනම් කඩදාසි අපද්‍රව්‍ය විදියට ලේබල් කරලා තිබුන ඒ එක්සත් ජනපදයේ කන්ටේනර ඇතුලෙත් ප්ලාස්ටික් රබර් සහ ඩයපර් වගේ නොදිරන කුණු කසල ඇතුලත් වෙලා තිබුණා.
6. කාම්බෝජය
කාම්බෝජය කියන්නේ අග්නිදිග ආසියාවේ තියෙන දුප්පත්ම රටක්. පහත් තැනින් යයි ගලා ජලේ වගේ මේ වගේ දුප්පත් රටවලට රාජ්‍යතාන්ත්‍රික හයිය පෙන්නලා කුණු තල්ලු කරන්න බටහිර රටවල් උත්සාහ ගත්තා. කන්ටේනර් 83ක පටවලා කැනඩාවෙන් සහ ඇමරිකාවෙන් නොදිරන ප්ලාස්ටික් කසල කාම්බෝජයේ සිහනෞක්විලෙ වරායට එවලා තිබුනා. “කාම්බෝජය කියන්නේ කාගෙවත් කුණු බාස්කට් එකෙක් නෙමයි“ කියලා දැඩි ප්‍රකාශයක් කරපු කාම්බෝජ රජය ඒ කන්ටේනර් 83ම නැවත ඒ එවාපු රටවලටම යවන්න කටයුතු කළා. මේ මෑතකදී සිදුවුණු මේ සිදුවම් වලින් තමුන්ගේ කුණු ටික තල්ලු කරගන්න එක බටහිර රටවලට තවත් ලොකු ගැටළුවක් වෙලා තියෙනවා.
7. කුණු වල මිල ඉහළ යෑම
කුණු බාරගන්නා පාර්ශවවලට දැන් ආසියානු රටවලට කුණු තල්ලු කරලා අත පිහිදාගැනීම ටිකක් අමාරු වෙලා. ඒකත් එක්ක දැන් මේ කුණු වල මිලත් වැඩි වෙලා. ඒ කියන්නේ බටහිර නගර සභාවලට තමුන්ගේ කුණු ටික කාටහරි දෙන්න දැන් වැඩිපුර මිලක් ගෙවන්න වෙලා තියෙනවා. එක් ඇමරිකානු නගර සභාවක ප්‍රකාශකයෙක් කියපු විදියට කලින් වගේ තුන් ගුණයක මිලක් ප්ලාස්ටික් සහ පොලිතින් කුණු වෙනුවෙන් ඔවුන්ට ගෙවන්න වෙලා තියෙනවා. ඒ එක්ක ඇමරිකාවේ කැලිෆෝනියා ඇතුළු පළාත් කිපයකම ප්ලාස්ටික් වලට වැට බඳින්න උත්සාහ අරන් තියෙනවා. නොදිරන පොලිතින් සහ බීම බට වැනි දේ නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න අමාරුයි. ඒ එක්ක හවායි ඇතුළු අමරිකානු ජනපද කීපයක්ම ප්ලාස්ටික්, පොලිතින් වලට දැඩි නීති පනවල තියෙනවා.
මේ කුණු ගැටුම කියන්නේ ලේසි දෙයෙක් නෙමෙයි. මැලේසියාව තායිලන්තය වගේ ලංකාවට වඩා බොහොම දියුණු මට්ටමේ තියෙන රටවලටත් මේ බටහිර දියුණු රටවල කුණු වලින් ගැලවෙන්න අමාරු වෙලා තියෙනවා. ඉතින් එන කුණු වරායෙන්ම හරවල යවාගන්න අපට බැරිවුනොත් බටහිර කුණු කසළ කඳු කඩාවැටිලා අපේ අහිංසක මිනිස්සු විපතට පත් වෙන දවසකුත් ළඟදීම උදා වේවි. අපේ නගරවල කුණු ටිකවත් හරියට කළමනාකරණය කරගන්න අපේ රටට බැරිවෙලා තියෙනවා. ඒ එක්ක විදෙස් වල මොනම හෝ කසළ ගොඩක් අපිට ඒම කියන්නේ අනාගතයේ ලොකු ලොකු පාරිසරික ගැටළු ඇතිකරන හේතුවක් වේවි.
Leave a Reply