අපි කොළඹ නම් ඉන්නේ අපේ නෑයෝ කිහිප දෙනෙක් ගමේ ඉන්නවා. අපි ගමේ නම් ඉන්නේ අපේ ගමේ ඉන්න නෑයොන්ගෙන් කිහිප දෙනෙක් කොළඹ ඉන්නවා. කොළඹ කිව්වාට ඉතින් ගම්පහ කළුතර පළාතේ ඉඳන් රස්සාවකට ගියත් මිනිස්සු කියන්නේ කොළඹ කියලා තමයි. එක අතකින් වරදකුත් නැහැ පාඨලී මහත්තයා එක පාරක් ගෙනාපු යෝජනා අනුව කොළඹ නගරය මෙගාපොලිස් වෙද්දි ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කත් කොළඹ නගරයටම එකතු වෙනවා. ගම්වල විවිධ පීඩාවලින් ඉන්න මිනිස්සු හිතන්නෙ කොළඹ අය මාර සැපක් විඳිනවාය කියලා. ඒ වගේම කොළඹ අයටත් ගමේ මිනිස්සු විඳින නිස්කලංක ජීවිතේ ටෙලිනාට්ටියකින් දැක්කත් ඒ ගැන හීල්ලෙනවා.
1. ට්‍රැෆික් ප්‍රශ්න
කොළඹ ආවම කිලෝමීටර පහළොවක් යන්න පැයක් දෙකක් යනවා උදේ හවස වෙලාවට. දවල්ටය කියලාත් මහ වෙනසක් නැහැ. කොළඹ පාරවල් වල සැප වාහන වල යන උදවියට නම් ලොකු ගැටළුවක් නැහැ. ඒත් මහ මගට ලොකු කාලයක් වෙන් කරන්න වෙන එක කොළඹ ඇත්තන් මූණ දෙන ලොකු ප්‍රශ්නයක්. කෝච්චි හෙම තිබුනත් ඒවයෙත් උදේ හවස ඇතුලේ තෙරපිලා හෝ ෆුට්බෝඩ් වල එල්ලිලා තමයි වැඩට යන්න වෙන්නේ. ගමකදි නම් පාරවල් ටිකක් සවුත්තු වුනත් කඩපිලට, ටවුමට මෝටර් සයිකලයක හරි ත්‍රී වීලර් එකක හරි නැගලා ඉක්මනට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
2. කුණු සහ ගඳ
කොළඹ ඇත්තෝ ගමට එද්දි ලස්සනට ජැන්ඩියට ඇඳලා සුද්දෝ වගේ එනවා. ඒ වුනාට මොකද ඒ කොළඹම එක පළාතක කුණු කන්දකට යට වෙලා දුක්ඛිත ලෙස මිනිස්සු ටිකක් මිය පරලොව ගියා. මේ කුණු දාන්න තාමත් හරියට ක්‍රමවේදයක් නැහැ. කොළඹින් පොඩ්ඩක් එහාට මහරගම, රාගම, කැළණිය, පිළියන්දල, මොරටුව, කඩුවෙල, වත්තල වගේ පැතිවලට යන්න යන්න කුණු ප්‍රශ්න තවත් වැඩියි. ගෙවල්වල ඉඩ කඩ අඩු නිසා මිනිස්සුන්ට කුණු දාන්න වෙලා තියෙන්නේ නගර සභාවෙන් එන ලොරියට. ඒ ලොරියත් සමහර පළාත්වල සුමානෙකට දවසක් දෙකක් තමයි එන්නේ. කොළඹ නගරයේ එහෙ මෙහෙ යද්දි කුණු ගෙනියන ඒ වගේ ලොරියක් එහෙම ට්‍රැෆික් එකේදි සෙට් වුනොත් ඒකෙන් එන සුවඳට සුන්දර කොළඹ ගැන තියෙන සම්පූර්ණ අදහසම අතුරුදහන් වෙලා යනවා.
3. ගහ කොළ සහ වෙල
ගම්මානෙක ඉන්නකොට ගහකොළ සිපගෙන එන සුළං රැලි අපේ ඇඟට වැදිලා දාඩිය හිඳිලා යනවා. ඒත් කොළඹ ඉන්න අයට ෆෑන් වල හෝ ඒසී වල පිහිටෙන් තමයි හුලං ඩිංගක් වද්දගන්න වෙන්නේ. කොළඹ අවට ඉන්න අයට ඉස්සර නම් වගුරුබිම්, වෙල්, පොල් වතු එහෙම ළඟපාත දැකගන්න තිබුනා. දැන් නම් කොළඹ ඇතිවෙලා තියෙන නව බිල්ඩින් එක්ක ස්වභාවික පරිසරයට ඈතට ගිහිල්ලා. හැන්දෑවකට ගෝල්ෆේස්, දියත උයන, විහාරමහාදේවී වගේ පාක් එකකට ගියත් ඒවයෙත් සෙනග ඉන්නවා සමූපකාර පෝලිමේ වගේ. ඉතින් ඒ සොබාවික සෞන්දර්යය විඳගන්න ගම්වැසියන්ට තියෙන වාසිය කොළඹ නෑයින්ට නම් නැහැ.
4. මනුස්ස බැඳීම්
ගමේ මිනිස්සු ඔක්කෝම නැතත් වැඩිදෙනෙක් සති පොළට එකතු වෙනවා. ඒ නැතිනම් ගමේ පංසලේ උත්සවයක් ආදිය තිබුනාම කට්ටිය එකතු වෙනවා. මගුල් තුලා, දාන, මළගෙවල් වගේම ලෙඩක් දුකක් කාටහරි හැදුනත් ගමේ මිනිස්සු ඒ අයගේ සුවදුක් බලන්නට යනවා. කොළඹ දිහා බස් එකකට කෝච්චියට නැග්ගා වුනත් ගොඩ දෛනක් ෆෝන් එකේ මූණ ඔබාගෙන ඉන්නවා මිසක වටේ පිටේ අය එක්ක කතාබහක් නැහැ.කොළඹ දිහා මළ ගෙයක් තිබුනත් ඒ තියෙන මාවතේ මිනිස්සුවත් ඒ කවුද මැරිලා තියෙන්නේ කියලා නොදන්න වෙලාවල් තියෙනවා. උස තාප්ප වලින් කොටු වෙච්චි ජීවිත පිටට ලස්සනයි වගේ පෙනුනාට වෙලාවකට ඒවා හිරගෙවල්ය කියලාත් ගමේ ඉඳන් ආපු කෙනෙක්ට දැනෙන්න ඉඩ තියෙනවා.
5. පිරිසිදු වතුර සහ පිරිසිදු වාතය
ගමක ඉද්දි කුඹුකේ ළිඳ නැතත් ටිකක් දුර ගිහින් හරි නාගන්න ඇලක් දොලක් නැතිනම් වැවක් බන්ට් එකක් හරි තියෙනවා. ඒත් කොළඹ පළාතේ ජලාශවල පේන කොළපාට වතුර නෑවොත් එහෙම තවත් සීය වතාවක් නෑවත් ගඳ නම් අරින්න බැහැ. බැහැලා නාගන්න මූද තිබුනත් ගල්කිස්ස දිහා මූදේ තියෙන කුණු එක්ක ඒ නෑමත් ඇත්තටම සෞඛ්‍ය සම්පන්නද කියලා ගැටළුවක් තියෙනවා. කොළඹ නුවර වගේ නගර වල වීදි වල තියෙන දුම සහ දූවිල්ල අපේ මූණවල් වල වදිනකොට ඇස් ඉබේම පියවෙනවා. ඈත ගම් වල මිනිස්සුන්ට තවමත් පිරිසිදු වතුර ටිකක් නාගන්න පහසුව තියෙනවා. ඒ වගේම දූෂණය නොවුන දූවිල්ල නැතිව හුස්ම ටිකක් ගන්නත් තාමත් අපේ රටේ ගැමියන්ට ඉඩ පහසුව තියෙනවා.
6. සල්ලි සපිරි ජීවිතේ
කොළඹ ඉන්න මිනිස්සුන්ට හැම දේම මිලට ගන්න වෙලා. කොටින්ම හොද්දට දාන රම්පෙ කරපිංචා කොළ ටික පවා කොළඹ ඇත්තන්ට කඩෙන් මිලදී ගන්න වෙලා තියෙනවා. ගමක ඉද්දි ගෙදර පොල් ගහක් තියේනම් ඒකෙන් පොල් ගෙඩි ටික හරි ගෙදර කෑමට ගන්න පුළුවන්. ඒත් නාගරික තට්ටු නිවාස වල ඉද්දි පොල් හිටෝගන්න තියා මල් පැලයක් හිටවන්න ගොම පෝර ටික පවා ගන්න වෙන්නේ සල්ලි දීලා. කොස් දෙල් වගේ දේවල් ගම් වල වැඩියෙන් තියෙන අය ළඟපාත හිතවතුන්ට දෙනවා. අඹ ජම්බු එහෙමත් ගෙවල් වල වැඩිවුනාම සමහර වෙලාවට ගමේ ඇත්තෝ ඒවා විකුණනවා ඒත් ඒවා සෑහෙන ලාබෙට ගමේම අයට ගන්නත් පුළුවන්. කොළඹදි පිටින් එන නිසා හැමදේම මිලදී ගන්න වෙලා තියෙනවා. කුලියක් මලියක් කරලා රුපියල් දාහක් ගත්තත් ගමකදි ජීවත් වෙන්න ලොකු අමාරුවක් නැහැ. ඒත් නගරයකදි දෙතුන් දහක් දවසකට ගත්තත් පවුලකට එදිනෙදා ජීවිතේ අමාරුයි.
7. ඉතින් ආපහු හැරෙන්න පුළුවන්ද?
ගම්මාන වල රස්සා නැති වුනාම මිනිස්සු කොළඹ සහ නගර වලට ඇදුනා. ගමේ ඉඳලා හැමදාම යන්න එන්න බැරි නිසා කොළඹ හෝ නගර ආසන්නයේ පදිංචි වුනා. ඒ එක්ක ඒ ගමෙන් කොළඹ ආපු අයට නොදැනීම ඔවුන්ගේ ජීවිත වෙනස් වුනා. අපි හැමෝම කැමති වුනත් අකමැති වුනත් සමහර වෙනස්කම් වලට මූණ දෙන්න වෙනවා. ගමෙන් කොළඹ ආපු ගොඩක් අයට ජීවිතේ එකතු කරගත් දේවල් ගැන සතුටක් තියෙනවා. ඒත් ගමේ ඉද්දි ගෙවුන නිදහස් නිස්කලංක ජීවිතේ අහිමි වීම ගැන චූටි කලකිරීමක් ඒ හැමෝගෙම හිතේ කොනක තියෙනවා.
Leave a Reply