මීට දශක දෙකකට පෙර ලංකාවෙ මාර්ගවල තිබූ බොහෝ බයික් ජපාන රටෙන් ලංකාවට පැමිණි ඒවා විය. එකල තැපැල් නයින්ටිය වැනි බයික් ලාංකික ගම් දනව් සිසාරා අපේ ජනතාවගේ බහුකාර්ය වාහනය විය. පාන් මාමා පාන් ගේන්නේ නයින්ටියේය, ආරොන් මාමා පොල් ටික ලෙලිගසා පටවන් යන්නේ තැපැල් නයින්ටියකය, ගමරාල මාමා කුඹුරට පෝර උර දෙක තුනක් දාගෙන යන්නේද තැපැල් නයින්ටියේය. එසේම ඊට වඩා ටිකක් අතමිට සරු අය ලග සී බී 125, ජී එන් 125 බෙන්ලි, රෝඩ්මාස්ටර් ආදී බයික් තිබුණි. ඒවායේ නැගී අභිමානවත් පරිදි සැපපහසුවෙන් ඔවුහු ගමන් බිමන් ගියහ. එහෙත් වසර දෙදාහෙන් පසුකාලීනව මේ ජපන් බයික් වෙනුවට ඉන්දියානු බයික් පාරට එකතු විය. දැන් ජපන් බයික් එකක් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි.
1. යෙන් එක උඩ ගියා… රුපියල යට ගියා
1990 ගණන් වලදී ජපාන යෙන් දෙකක් එක රුපියලක් වූ කාලයක් විය. එනම් ජපන් යෙන් එකක වටිනාකම එකල ශත 50කි. අද වනවිට යෙන් එක තුන් ගුණයක් විතර උඩ ගොසිනි. අද යෙන් එකක් රුපියලකුත් ශත 62කි. එනම් ජපානයෙන් ගෙන්වන බඩු වල මිලද ඒ හා සමානුපාතිකව වැඩි විය. විදෙස් වලින් ගෙන්වනු ලැබූ ජපන් කාර් සහ බයික් වලද මිල වැඩි විය. මීට වසර 20කට එහා බලගතු ජපන් කාර් එකක් ගන්නට හැකි මුදලින් අද මිලදී ගත හැකි වන්නේ කුඩා ජපන් බටු ටයිප් කාර් රථයක් පමණි. ඒ අනුව ශත ගාණට යෙන් එක තිබූ එකලට වඩා වැඩි මිලක් අද අපිට යෙන් එක වෙනුවෙන් ගෙවීමට සිදුවීම ජපන් බයික් වල මිල වැඩි වීමට හේතු වී තිබේ.
2. ජපන් බයික් කොහොමත් මිලයි
ජපන් රටේ තිබෙන හොන්ඩා වෙබ් අඩවියට ගියොත් එහි බොහෝ මෝටර් සයිකල් වල යෙන් වලින් සඳහන් ගණනද ලක්ෂ තුන හතරකට වඩා වැඩිය. ලංකාවේද ජනප්‍රිය සුපර්කබ් මොඩලයේ ඔවුන්ගේ නවතම 125 සීසී බයික් එකක මිල හොන්ඩා වෙබ් අඩවියේ දැක්වෙන්නේ යෙන් 399,600 ක් ලෙසිනි. එනම් එය ජපානයේදීම ලංකාවේ මුදලින් ලක්ෂ හයහමාරක් වේ. ඒ මෝටර් සයිකල් නිපදවන ජපානයේ මිලම ලංකාවේ එවැනි ඉන්දියන් මෝටර් සයිකලයකට වඩා තුන් හතර ගුණයකින් වැඩිය. මේ මිලට තවත් නැව් ගාස්තු, වරාය ගාස්තු සහ බදු එකතු වූ විට මේ මෝටර් සයිකලය ලක්ෂ අටක් විය හැකිය. ලක්ෂ 8කට 125 සුපර් කබ් එකක් ගන්නට කැමති පාරිභෝගිකයින් මෙකල නම් සොයාගන්නට අමාරුය.
3. ජපන් මෝටර් සයිකල් වල තාක්ෂණය
ලංකාවේ දිවෙන ඉන්දියාවෙන් ගෙන් වූ 150 සීසී මෝටර් සයිකලයක් සහ ජපානයේ ඇති එවැනිම වූ 150 සීසී මෝටර් සයිකලයක් ඇතැම්විට පෙනුමෙන් ටිකක් සමානය. එහෙත් ඇතුළත ඇති තත්ත්වයෙන් සහ තාක්ෂණයෙන් ජපන් මෝටර් සයිකලය ඇත්තේ ඉදිරියෙනි. ඉලෙක්ට්‍රිකල් ෆුවල් ඉන්ජෙක්ෂන්, ඒ බී එස් ඩිස්ක් බ්රේක්, ලික්විඩ් කූලින්, සුපිරි සස්පෙන්ෂන් ආදී පහසුකම් ඉන්දියානු බයික්වලට එන්නේ දැන්ය. එවැනි පහසුකම් එන ඉන්දියානු බයික්ද සාමාන්‍ය ඒවාට වඩා මදක් මිල වැඩිය. ඒ අනුව බයික් එකේ එන්ජින් සිලින්ඩර ධාරිතාවයට වඩා එහා ගිය තත්ත්වයකින් තාක්ෂණයකින් නවතම ජපන් බයික් සවිමත්ය. අධිතාක්ෂණික සුවපහසු තත්ත්වයන්ට නිපදවෙන ඒ මෝටර් බයිසිකල්වල මිලද ඒ අනුව සුපිරි ලෙසම ඉන්දියානු බයික් වලට වඩා වැඩිය.
4. ඉන්දියානු බයික් ලාබ වීම
ජපාන මෝටර් සයිකල මිල අධික වුවත් ලාංකික අපිට වෙනත් විකල්පයක් නොමැති වුනා නම් අමාරුවෙන් හෝ අපේ ජනයාට අධි මිලට ජපාන හෝ එවැනි රටවල බයික් පාවිච්චි කිරීමට සිදුවනු ඇත. එහෙත් අපේ සාක්කුවට ගැලපෙන ලෙස ඉන්දියානු බයික් කාලයට අනුව මෙහෙට ආවේය. යමහා, සුසුකි, හොන්ඩා වැනි සමාගම් ද ඉන්දියාවේම බයික් නිෂ්පාදනය කරන්නට විය. හුදෙක් වේගය, සුපිරි තත්ත්වයට වඩා ඉන්ධන පිරිමැස්ම සහ ලාබදායී බව මුල්කරගෙන ඉන්දියානු බයික් වෙළඳපොල දියුණු විය. අදද ඉන්දියානු වෙළඳපොලේ වැඩිපුරම විකිණෙන බයික් වනාහී හීරෝ ස්ප්ලෙන්ඩර් ආදී සිලින්ඩර ධාරිතාවය 100 මට්ටමේ කුඩා බයික්ය. එනම් මහජනයා සුවපහසුවට වේගයෙන් දුර යන්නට බයික් ගන්නවාට වඩා එදිනෙදා කාර්යයන්ට බයික් මිලදී ගැනීම ඉන්දියානු වෙළඳපොලේදී වැඩිය. එබැවින් ඉන්දියානු වෙළඳපොලට සරිලන ලෙස ජපාන සමාගම්ද ඉන්දියාවේදී බයික් ලාබෙට නිපදවන්නට විය. එම නිසා අපේ පාරවල්ද ඉන්දියන් බයික් වලින් වසාගන්නට විය.
5. නඩත්තුව අමාරු වීම
බයික් එකක් යනු ලොකු නඩත්තුවක් සෙට් වෙන වාහනයක් නොවේ. එහෙත් බයික් එකකට කළ යුතු සේවා ආදිය හරියට කරගත්තේ නැතොත් බයික් එක සමග මග වාත වීමට සිදුවේ. දැනට ලක්ෂ දහයකටත් වැඩියෙන් ගෙවා ජපාන බයික් එකක් කෙනෙකුට මිලදී ගත හැකි වුවත් කොළඹින් දුර පළාත්වල නවීන ජපන් බයික් ගලවන්නට දන්න උදවිය අඩුය. සිටියත් ඒ සඳහා විශාල මිලක් ගෙවන්නට වේ. අමතර කොටස් ආදිය මෙහෙ අඩු නිසා කෑල්ලක් දාන්නට වුනත් එය සොයාගන්නට අමාරුය. ලක්ෂ ගණනක් වැඩිපුර ගෙවා බයික් එක රැගෙන අමතර කොටස්, අලුත්වැඩියා, නඩත්තු කටයුතු වලට බයික් එක හිටින විට ඊට වඩා ගැස්සි ගැස්සී හෝ ඉන්දියන් බයික් එකක ගියානම් හොඳයැයි කියා ජපන් බයික් අමාරුවෙන් හෝ ගත් අයට සිතෙනු ඇත.
6. තෙල් කිරීම
ගමක සිට තවත් ගමක ඇති දුරබැහැර මළ ගෙදරක එහෙම යන්නට උවමනා වූ විට පාරට ගොස් බස් රියක නැගී තවත් බස් රියවල නැගී එහි යෑම මහත් කරදරයකි. එහෙත් පොඩි සී ටී 100 බයිසිකලයක දෙදෙනකු නැගී යන්නේ නම් එය පර්ස් එකට වාසියකි. ලීටරයකට කිලෝමීටර 70කට කිට්ටුව යන ඉන්දියානු බයික් වෙළඳපොලට පැමිණ තිබේ. ඒ අනුව බහුකාර්ය වැඩ වලට ලාබදායී විසඳුමක් ලෙස බයික් එකක් යොදාගන්නට ඉන්දියානු බයික් නිසා ජනතාවට හැකි විය. දැන් ජපානයේ ඇති මෝටර් සයිකල්නම් ඉන්ධන පිරිමැස්ම වැඩි ඒවාය… එහෙත් ලංකාවට එන පැරණි සෙකන්ඩ් හෑන්ඩ් ජැපනීස් ඒවා ඉන්දියන් ඒවා තරම් තෙල් කිරීම අතින් හොඳ නැත.
7. බයික් කල්චර් එක වෙනස් වීම
ඉස්සර ජපන් බයික් එකක් ගත් විට එය අවුරුදු හත අටක් පාවිච්චි කරන අගේ ඇති කල්පවතින බඩුවක් විය. එහෙත් දැන් දැන් බයික්ද ෆෝන් මෙන් නිතර අලුත් කරගන්නට උවමනාවක් තරුණයින්ට ඇතිවී තිබේ. ඒ අනුව බයික් එකක් අවුරුදු කිහිපයක් පාවිච්චි කළ පසු නැවත එයම හදමින් පාවිච්චි කරනවාට වඩා අලුත් බයික් එකක් ගැනීමේ උනන්දුවක් තරුණයින් අතර වැඩිවෙමින් පවතී. ඉස්සර මෙන් සෙකන්ඩ් හෑන්ඩ් බයික් වලට වඩා අලුත්ම බයික් එකක් ගැනීමටද ජනතාව පෙළඹී තිබේ. ඒ අනුව පරණ ජපන් බයික් වෙනුවට අලුත් ඉන්දියන් බයික් වෙනුවෙන් ජනතාව කෙමෙන් කෙමෙන් හුරු වී තිබේ.
Leave a Reply