ලංකාවෙ පොදු මහජනයාගෙ හීන හතක්

ලංකාවෙ පොදු මහජනයා ගැන පොදු මහජනයාටම තියෙන්නෙ දියවන්නා කුටියේ ඉන්න 225 ගැනම තියෙන පන්නයේ අපුලක්. ඇයි ඉතිං ඒ අපුලජනක 225 තෝරලා යවන්නේ සහ තාමත් ඒ 225ට ආවඩා ආයුබෝ කියන්නෙත් මේ කියන පොදු මහජනයොනෙ. අන්න ඒ නිසාම අපි තීරණය කළා ඒ පොදු මහජනයාට තියෙන හීන ගැන ලියන්න. ඒ හීන ලේසි හීන නෙවෙයි වගේම බොහෝ විදෙස් රටවල අය හීන දකින පන්නයේ හීනත් නෙමෙයි. මේ හීන වෙනස්ම හීන. මේවා අහිංසක හීන. රට හැදිලා තියෙන විදිය නිසා, රටේ මිනිස්සු ගනුදෙනු කරන විදිය නිසා මිනිස්සුන්ගෙ ඔලු ඇතුළෙ හැදුණු හීන. මේවා ඇහුවම මේ අපි ගැන අපිටම දුක හිතුනත් මේ තමයි ඇත්ත.

 

1. විදෙස් සිහින

මේ කියන්නෙ විදෙස් රටවල අයට තියෙන හීන ගැන නෙමෙයි. මේ කියන්නෙ අපේ අයට තියෙන විදෙස් හීන ගැනයි. ලංකාවෙ මිනිස්සු ලංකාව ඇතුළෙ මොන මොන දේ මත්තෙ නැහි නැහී හිටියත් ලංකාව දාලා යන්න ලැබෙන පළමු මිනිත්තුවේදි ඒ අය ඒ ගමන යන්න සූදානම්. ඒ වගේම ඒ අය ඒ අවස්ථාව එනකං නොකරනා දේකුත් නැති තරම්. පිටරට ජීවත් වෙන මිනිස්සු, ඒජන්සි, ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන සුදුසුකම්, සල්ලි වගේ නොයෙක් දේවල් විදෙස් සිහිනය දකින්න උදවු වෙන දේවල් විදියට හොය හොයා ඉන්න විත්තිය දකින්න පුළුවන්. හැමෝම හීන දකින්නෙ රට යන්න. මුලින්ම මොකක්හරි කමක් නෑ මෙතනින් එළියට ගියොත් ඇති කියලයි කියන්නෙ. ඊට පස්සෙ කියනව ඉන්දියාව, පකිස්තානෙ සහ බංගලාදේශෙ බෑ කියල. ඊටත් පස්සෙ මැද පෙරදිග රටවල් ටිකටත් බෑ කියනව. අන්තිමට ඉතුරුවෙන්නෙ මේ ලෝකෙ අතිශය සාර්ථක රටවල් ටික. අනේ ඉතිං ඒ හීනෙ ජීවත්වෙනව කාලයක්.

 

2. රජයේ රැකියාවක්

රජයේ රෝහල්වලට, රජයේ ගමනාගමනයට කොයිතරම් බැන වැදුනත් රජයේ රැකියාවක් දෙන්නං කිවුවොත් අපේ අයට ඊට වැඩිය දෙයක් නෑ. සමහරු රජයේ රැකියාවක් ඇරෙන්න වෙනිං දෙයක් කරන්න සූදානමකුත් නෑ. දැන් ඔය රටට රැකියා ජනනය කරන්න කියලා උගන්නපු උන්දැලත් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගමය කියල රටට ඇණ වෙවී ඉන්නවනෙ. එයාල හිතන්නෙ එයාලට රැකියා දෙන එක රජයේ වගකීමක් කියල. රජයත් ඡන්ද ගුණ්ඩුවක් විදියට රජයේ රැකියා දෙනවනෙ. එවුව තරං ලොකු පෞද්ගලික ආයතනයක ඩිරෙක්ටර් තනතුරක්වත් වටින්නෙ නැති ගාණට ඇවිත්.

 

3. රෝද හතරක්

හම්මේ ඉතිං කොල්ලෙක් රස්සාවක් කරන්න පටන්ගත්තු ගමන් මුලින්ම හදන්නෙ බයික් එකක් ගන්න. බයික් එකක් පදින වාරයක් පාසා ඒ කොල්ලට පේන්නෙ කාර්වල යන කෙල්ලො සහ හිත ඇදිලා යන විදියෙ කාර්. ඒක දැකලා බලං ඉන්නම බැරි තැන කොල්ල හොයනව කාර් ගන්න දාන්න පුළුවන් ලෝන් සහ බයික් එක විකුණගන්න පුළුවන් හොඳම ඔෆර් එක. මේ ගැන හිත හිත ඉන්න අතරෙ හිත කැඩෙන දේවලුත් වෙනවා. කලින් යාලු වෙලා හිටපු කෙල්ල කාර් එකක කොල්ලෙක් එක්ක යනව දකිනවා, තව අයගෙන් නෑදෑයො ඇවිල්ල අහනව දැන් බයික් එකක්වත් ගත්තොත් නේද හොඳ කියල. ඔය වගේ දේවල් දරාගෙන ඉන්න හරිම අමාරුයි. ඉතිං ඔය විදියට සැනසුමක් දෙන්නනං පොඩියට හරි රෝද හතරක් ගන්නම වෙනව.

 

4. තට්ටු දෙකක්

තට්ටු දෙකක් කියල අපි කිවුවෙ තට්ටු දෙකේ බස් එකක් ගැන එහෙම නෙමෙයි. තට්ටු දෙකේ ගෙයක් ගැන. ලංකාවෙ පොදු මහජනයාගේ හීනෙ තට්ටු දෙකේ ගෙයක්. ඔවුන්ගෙ හීන තියෙන්නෙ පඩි පෙළක. පඩි පෙළක් නැගීම තුළ රාජකීයත්වයක් මිස අපහසුවක් ඔවුන්ට දනවන්නේ නෑ. සැළකිය යුතු ඉඩක් ඇති උද්‍යානයක් සහිත වත්තක තැනූ තනි මහල් නිවසක පහසුවට වඩා අඩු ඉඩක හෝ එක මත තට්ටු නැංවූ නිවසක වඩා සුඛෝපභෝගීබවක් බොහෝ දෙනෙකුට දැනෙනවා. කසාදයක් කතා කරන්නට ගියත් ඒ පුතාලගෙ ගෙදර තට්ටු දෙකේ ගෙයක් කියල කියන්නෙ බොහොම උජාරුවෙන්.

 

5. දරුවෙක් මල්ලෙක්

තරුණයෙක් හෝ තරුණියක් රැකියාවකට ගිය විගසින්ම බොහෝදෙනෙකු ඔවුන්ගේ ඔලුවට දමන පළමු අදහස වන්නේ දැන් කසාදයක් කරගත්තොත් හොඳයි නේද යන්නයි. මෙයට තරුණයින් කිසිඳු අදහසක් නොදක්වන කළ මෙම පණිවුඩය ඔවුන්ගේ දෙමවුපියන් කරා යන අතර දෙමවුපියන්ටද නැති බේගල් ඇද බා මෙම කසාදයේ අවශ්‍යතාවය පහදා දෙයි. ඉන්පසු විවාහ වූ මොහොතේ සිට මුළු සමාජයම එකම හඬින් විමසන්නේ දරුවන් හදන දිනය හා වේලාවයි. විවාහක බිරින්දෑගේ බඩ අසීමාන්තික ලෙසින් මහත් වන තුරු මෙම ප්‍රශ්න කිරීම් සහ පෙළඹීම් සිදු වන අතර මෙකී කරුණ නිසාම බොහෝදෙනෙකු දරුවෙකු සාදන තුරු පවුලක් අසම්පූර්ණ බැව් සිතා සිටියි.

 

6. දන්න අඳුරන දේශපාලකයෙක්

මහා සමාජයේ බොහෝදෙනාගේ සිහිනයක් වන්නේ දන්නා හඳුනන දේශපාලකයෙකු තමුන්ටත් කිට්ටුවන්ත භාවයක් දක්වන දිනයක් උදාවීමයි. ඒ වෙනුවෙන් නොයෙක් වූ දේශපාලකයන්ගේ වන්දිභට්ටකම් කර ඔවුන් යදින්නේ දේශපාලකයෙකුගේ හිතාදර සිනහාවයි. දන්නා හඳුනන දේශපාලකයෙකු සිටීම දරුවෙකුට පාසලක්, ලොකු පුතාට රැකියාවක්, නිවසට තහඩු, හදිස්සියට අතමාරුවක්, ගමේ ප්‍රශ්නයකදී චණ්ඩි බලපෑමක් වැනි බොහෝ දේ වෙනුවෙන් සරිලන බව පොදු විශ්වාසයයි. මේ නිසාම ලංකාවේ මහජනයාගේ සිහින ලෝකය තුළ දේශපාලකයෙකු හා කිට්ටුවන්ත සබඳකම් පවත්වන හීනය ඇත.

 

7. කවදාහරි සල්ලි ඉතුරුවක්

කවදාක හෝ ණය නැතුව ජීවත්වන්නට පොදු මහජනයාගේ හීනයක් ඇත. නිවසට, දරුවන්ගේ අධ්‍යාපනයට, බිරින්දෑගේ උවමනාවට ගත් රෝද හතරට, හදිස්සියට ආදී වූ සියළු කාරණා වෙනුවෙන් ලබා ගත් ණය මුදල් කෙදිනක හෝ විසඳා දමා තමාටම ඉතුරුම් ගිණුමක් ආරම්භ කර ජීවිතය ඉදිරියට ගෙනයෑම බොහෝ මිනිසුන්ගේ සිහිනයයි. රටක් ලෙසින්ම ණය වී සිටින අප තනිව හෝ ණයකරුවන් නොවී සිටීමේ සිහිනය හිස දරා සිටියි.

 

මෙහෙවු සිහින අපිට අපි ගැනම කළකිරීමක් ඉතිරි කරතත්, ඒ ගැන තැවෙමින් නොසිට අපේ කතාව අපිම වඩා සාර්ථක ලෙසකින් ලියා ගත යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *