කවුරුත් කතා වෙන කේන් විලියම්සන් ගැන වැඩි දෙනෙක් නොදන්න කතා

මේ වෙද්දි ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක්ගෙ උත්තරේ වෙන්නෙ නවසීලන්ත නායක කේන් විලියම්සන් කියන එක තමයි. බොහොම නිවුණු ගතිගුණ තියන මේ නිහතමානී ක්‍රීඩකයා කෙරෙහි තියන ප්‍රේක්ෂක ආදරය සහ කේන්​ට ප්‍රේක්ෂකයන් කෙරෙහි තියන ගෞරව​ය මනාවට ඉස්මතු කරන සිදුවීමක් ඊයෙ අපි දැක්කා. ඒ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් විසින් ගෙනෙන ලද උපන්දින කේක් එකක් කේන් අනුභව කිරීමේ වීඩියෝවක් අන්තර්ජාලයේ පැතිරීමත් එක්​ක. ඉතින් ජනාධිපති හැටියට වුණත් කේන් සුදුසුයි කියලා මිනිස්සු කියන මේ වෙලාවේ අපි හිතුවා ඔහු ගැන වැඩි දෙනෙක් නොදත් කරුණු ටිකක් කියන්න.

 

1. කේන් ට නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා

කේන් විලියම්සන්ට තව සොහොයුරියන් තුන් දෙනෙක් සහ එක් සොහොයුරෙක් ඉන්නවා. ඒ සොහොයුරාගෙ නම වෙන්නෙ ලෝගන්. මේ දෙන්නා නිවුන් සොහොයුරෝ වෙනවා. ඒ වගේම පවුලේ බාලයො වෙන්නෙත් මේ දෙන්නා තමයි. කේන් ලෝගන්ට වඩා මිනිත්තු කීපයකින් වැඩිමල්. කේනුත් ලෝගනුත් ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව රග්බි, හොකී, බාස්කට්බෝල් වගේ ක්‍රීඩා වලටත් දක්ෂයො.

 

2. ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා

“ඉස්කෝලෙ ශිෂ්‍ය නායකත්වය දරපු මට නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරණ එක මහ ලොකු වැඩක් නෙමෙයි”

කේන් විලියම්සන් එහෙම නොකිවුවට ඒක තමයි ඇත්ත. ඉස්කෝල කාලෙත් කේන් විලියම්සන් දක්ෂ සිසුවෙක් කියලයි කියන්නෙ. විශේෂයෙන්ම යම් යම් දේවල් ගණනය කර​ල තීන්දු තීරණ ගැනීමේ කේන්ගේ හැකියාව ඉතා ඉහළයි කියලයි ඔහුගේ ගුරුවරුන් කියන්නෙ. මේ හින්දා කේන් අධ්‍යාපනය ලබපු ‘ටෝරන්ගා පිරිමි පාස​ලේ’ අන්තිම වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට පත්වෙන්න කේන් විලියම්සන්ට හැකියාව ලැබෙනව.

 

3. මුල් එක්දින මැච් දෙකේම බින්දු

අද වෙද්දි ටෙස්ට් වගේම එක්දින පිටියෙත් ඉන්න අති දක්ෂයෙක් වුණාට කේන් විලියම්සන්ගෙ එක්දින ක්‍රිකට් දිවියේ ආරම්භයනම් ඒ තරම් සුන්දර එකක් නෙමෙයි. කේන් මුලින්ම එක්දින තරඟයකට සහභාගි වෙන්​නෙ 2010දී ලංකාවෙ පවත්වපු තුන් කොන් තරඟාවලියකදි. මේකෙදි ඉන්දියාවත් එක්ක තමන්ගෙ මංගල එක්දින ඉනිම ක්‍රීඩා කරන කේන්ට කිසිම ලකුණක් නොලබා දැවී යන්න සිද්ධ වෙනවා. ඊළඟට ලංකාව එක්ක ගහපු තමන්ගෙ දෙවැනි මැච් එකේදිත් කේන්ට එක ලකුණක්වත් රැස් කරන්න ලැබෙන්නෙ නැහැ. තමන් මුහුණ දීපු දෙවැනි පන්දුවේදිම ඔහු දැවී යනවා ඇන්ජලෝ මැතිව්ස්ගෙ පන්දුවකට.

 

4. ක්‍රිකට් වීරයා සචින්

කුඩා කාලෙදි තමන්ගෙ ක්‍රිකට් ලෝකයේ වීරයා වුණේ සචින් ටෙන්ඩුල්කාර් කියලයි කේන් කියන්නෙ. සචින් ටෙන්ඩුල්කාර්ට තමන්ගෙ විශේෂ කැමැත්තක් හිමිවෙන්න හේතුවුණේ සචින් සතුව තිබ්බ සංයමයෙන් යුතුව පිතිකරණයේ යෙදීමේ හැකියාව කියලයි කේන් කියන්නෙ. ගොඩක් පිතිකරුවෝ පීඩනයට ලක් වුණාම වැරදි පහරවල් වලට ගිහින් දැවී ගියත්, සචින් කිසිම විටක පීඩනයේ ගොදුරක් නොවී ඉවසීමෙන් තමන්ගේ ඉනිම ගොඩනගාගැනීමේ හැකියාවෙන් යුක්ත වීම නිසා සචින් අනිත් ක්‍රීඩකයන්ට වඩා ඔහුගේ සිත් ගත් බවයි කේන් කියන්නෙ.

 

5. මානව හිතවාදී ගුණය

කේන් විලියම්සන් කියන්නේ ක්‍රීඩාවේ ගෞරවය වගේම ප්‍රේක්ෂකයන්ට දක්වන ගෞරවයත් ඉහළින්ම රකින පුද්ගලයෙක් බව අමුතුවෙන් කියන්න උදාහරණ අවශ්‍ය නැහැනෙ. ඒ වගේම සමාජ සේවා කටයුතුවලටත් කේන් නිහඬවම දායක වෙන පුද්ගලයෙක්. එක් වරක් පාකිස්ථානය සමග පැවති එක්දි​න තරඟ 5කින් යුත් තරඟාවලියක තමන්​ගේ මුළු තරඟ ආදායම​ම පේෂාවර්හි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව විපතට පත් වූවන් වෙනුවෙන් ඔහු ප්‍රදානය කළා.

 

6. ලංකාවෙන් ජය උදුරාගත් පළමු ද්විත්ව ශතකය

කේන් විලියම්සන් තමන්ගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කරන්නෙ ශ්‍රී ලංකාවට එරෙහිවයි. මේ ද්විත්ව ශතකය විශේෂ එකක් වෙන්නේ එය නවසීලන්ත කණ්ඩායම වැටී සිටි පරාජිත තත්ත්වයෙන් ගලවා ජයග්‍රහණයක් දෙසට ගෙනගිය ද්විත්ව ශතකයක් වීමයි. මේ තරඟයේ තමන්ගේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 135ක් පසුපසින් සිටින්නේ. එක් අවස්ථාවක නවසීලන්ත කණ්ඩායම ලකුණු 159කට කඩුලු 5ක් දැවී අසරණ තත්ත්වයක සිටින්නේ. කෙසේ නමුත් මෙහිදී කඩුලු රකින් බී. ජේ වොට්ලින් සමග දැවැන්ත සම්බන්ධතාවයක් පවත්වමින් ලකුණු 242ක් ලබාගන්නට විලියම්සන් සමත් වෙනවා. අවසාන​යේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 196කට සීමා කරමින් විශිෂ්ට ජයක් ලබන්න නවසීලන්තය සමත් වෙනවා.

 

7. පෞද්ගලික ලකුණු දත්ත ගැන ගාණක්වත් නැහැ

ඕනෑම පිතිකරුවෙක් කැමතියි තමන්ගේ ලකුණු සාමාන්‍ය​ය එහෙම බොහොම ඉහළින් තියාගෙන කැපී පෙනෙන පිතිකර​ණ දත්ත ටිකක් පවත්වාගෙන යන්න. ඒත් කේන් විලියම්සන් කියන විදිහට ඔහු ඒ දේවල් නම් තුට්ටුවකටවත් මායිම් කරන්නෙ නැහැලු. ඔහුට අවශ්‍ය හැකි හැම අවස්ථාවේදීම කණ්ඩායමට උපරිමය ඉටු කිරීම වෙනුවෙන් තමන්ගෙ පිත්ත හසුරුවන්නලු. හැබැයි එහෙම වුණා කියල කේන් විලියම්සන්ගේ පෞද්ගලික දක්ෂතා වල දත්ත සටහන් වලත් අඩුවක් නම් වෙලා නැහැ. මේ වෙද්දි කේන්ගෙ ටෙස්ට් සාමාන්‍ය ලකුණු 53ක් සහ එක්දින සාමාන්‍ය ලකුණු 47.9ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *