පෙම් සුව විඳින්න රූම් එකකට යනවා නම් මේ කාරණා වැදගත් වෙයි!

දැන් ඔය රූම්ස් ගැන හැමෝම දන්නවනේ. රූම්ස් කියන්නේ කාමර වලට. හැබැයි මේ කියන්නේ ගෙදර තියෙන කාමර වලට නෙවෙයි. කොල්ලන්ගේ, කෙල්ලන්ගේ, අංකල්ලගේ, ඇන්ටිලගේ භාෂාවෙන් රූම්ස් කියලා කියන්නේ හොටෙල්ස් වල, ලොජ් වල තියෙන මුදලට ලබාදෙන කාමර වලට. හැබැයි ඉතින් දැන් දෙන්නත් එක්ක නිවාඩුවක් ගත කරන්න කොහේ හරි නිස්කලංක පළාතක තියෙන හොටෙල් එකකට ගියත් දෙන්නා ඉන්නේ රූම් එකකනේ. හැබැයි ඒකට කියන්නෙ නෑ ‘රූම් එකකට යනවා’ කියලා. දැන් තත්ත්වය පැහැදිලියිනේ. ‘රූම් එකකට යනවා’ කියලා කියන්නේ දෙන්නත් එක්ක නිදහසේ පෙම් සුව විඳින්න කොහේ හරි හොටෙල් එකක රූම් එකක් බුක් කරලා එතනට යනවට!

දැන් මේ රූම්ස් වලට යනවය කියන කතන්දරේ සදාචාරෙට හරිද නැතිද වගේ කරුණු කාරණා ගැන අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි අපි උත්සාහ කරන්නේ රූම් එකකට දෙන්නත් එක්ක යනවා නම්, ඒකට කලින් හිතන්න ඕන කරුණු කාරණා ගැන, සොයාබලන්න වුවමනා කරුණු කාරණා ගැන පොඩි අදහසක් දෙන්න තමයි.

 

1. අපි දෙන්නා ගියාට කමක් නැද්ද?

ඔව්, රූම් එකකට යන්න කලින් හිතන්න ඕන පළමුවෙනි කාරණාව මේකයි. අපි දෙන්නා රූම් එකකට ගියාට කමක් නැද්ද කියන එක. එතනදිත් මුලින්ම හිතන්න ඕන අපි දෙන්නටම රූම් එකකට යන්න වයස තියෙනවද කියලා තමයි. එතනදී දෙන්නම වයස අවුරුදු 16 ට වැඩි වෙන්න ඕන නීතියේ හැටියට නම්. හැබැයි අපි කියන්නේ වයස අවුරුදු 18 ට වැඩි නීතියේ හැටියට දෙන්නම වැඩිහිටියෝ නම් වඩාත් සුදුසුයි කියලා තමයි.

 

2. අපි දෙන්නට රූම් යන්න ඕනමද?

ඊලඟට හිතන්න ඕන අපි දෙන්නටම රූම් එකකට යන්න හැබෑ වුවමනාවක් තියෙනවද කියලා. මේ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි දන්නවනේ සමහරු හොර පූස් සෙල්ලමෙන් තමයි වැඩේ ගොඩදාගන්නේ කියලා. කොල්ලා කියනවා අපි චුට්ටක් කථා කර කර ඉන්න කොහේ හරි නිදහස් තැනකට යමු කියලා. මේ නොකියා කියන්නේ රූම් එකකට යමු කියලා. එතකොට කෙල්ලත් සමහර වෙලාවට බබා වෙලා හා අයියේ නිදහස් තැනකට යමු කියලා යනවා. හැබැයි සමහර කෙල්ලෝ ඇත්තටම රූම් එකකටයි යන්නේ කියලා මෙලෝ අයිඩියා එකක් නැතුවත් යනවා. ආන්න ඒ නිසා අපි කියන්නේ දෙන්නම කරුණාකරලා එක තැනකට එන්න තමන්ට කොහෙද යන්න ඕන කියන එක ගැන. නිදහසේ කථා කර කර ඉන්න පුළුවන් කොෆී ෂොප් එකකට ගියත්. හැබැයි රූම් එකකට යන්නේ කථා කරන්නම නෙවෙයි. අන්න ඒ නිසා දෙන්නම එකඟතාවයකට ඇවිත් රූම් එකකට ගියාට වරදක් නෑ.

 

3. ත්‍රීවිල් අයියගෙන් අහලා යමුද?

 ඉස්සර නම් රූම් එකක් හොයාගන්න නොවරදින ක්‍රමේ තමයි අහල පහල ත්‍රීවිල් අයියා කෙනෙක්ගෙන් අහන එක. එතකොට ත්‍රීවිල් අයියා ‘පට්ට පොට් එකක්  තියෙනවා මල්ලි, සුපිරි තැන’ කියලා එහෙන් මෙහෙන් දාලා පොඩි හොටෙල් එකකට දෙන්නව ගිහින් දානවා. එහෙම කපල් එකක් ගෙනැත් දානවට ත්‍රීවිල් අයියටත් හොටෙල් එකෙන් සූටි ගතමන්ට් එකක් ලැබෙනවා. හැබැයි දැන් කාලේ විදිහට අපි කියන්නේ ත්‍රීවිල් අයියලගෙන් අහලා කොලිටි තැන් හොයාගන්න අමාරුයි කියලා තමයි. ඒ නිසා කාගෙන්වත් අහ අහා රූම් හොයන්න යන්න එපා. අපි තව ඉස්සරහට කියනවා තැනක් හොයාගන්න සුදුසුම ක්‍රම.

 

4. අඩුම ගාණට වැඩිම වෙලාවක්!

මෙන්න මේක හොඳට මතක තියාගන්න! අඩුම ගාණට රූම් හොයන්න යනවා කියන්නේ නැති ප්‍රශ්න ටිකක් අරගෙන එන්න වෙනවා කියන එක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය පැයට පන්සීයයි, පැය දෙකට දාහයි වගේ තැන් වලට නම් මළාට යන්න එපා කියලා තමයි අපි කියන්නේ. හිතනවද ඔය ගාණට පිරිසිදු කාමරයක් සහ පිරිසිදු කළමනා දෙන්න පුළුවන් වෙයි කියලා? අනික පැයට දෙකට දෙන රූම්ස් වල එක කපල් එකක් ඇවිත් ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න වෙලාවක් තියෙයි කියලා? ඔය සෞඛ්‍යාරක්ෂිත බව අවම වීම එක රිස්ක් එකක්. ඊලඟට තැන ෂුවර් නැති එක. අපි දන්නෙ නෑ ඔය ඉතාම අඩු ගණන් වලට දෙන රූම්ස් වලින් තව මුදල් උපයන ක්‍රම තියෙනවද කියලා. උදාහරණයක් විදියට කැමරා සෙට් කරලා පෙම් සුව විඳින හැටි රෙකෝඩ් කරන්න පුළුවන්. සමහර තැන් වල රූම් එකේ පෙම් සුව විඳින කොට, වෙන රූම් එකක ඒ පෙම් සුව විඳින හැටි තව කීප දෙනෙක්ට ලයිව් බලන්න සෙට් කරලා ගාණ කපාගන්න අවස්ථාත් තියෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා. ආන්න ඒ නිසා අතිශයින්ම ලාබ පොට් හොයන්න යන්න එපා.

 

5. පොලිසියෙන් කේස්!

කාලයක් තිබ්බා රූම් එකකට යන්න කලින් එතන මැනේජර්ගෙන් අහන්නේ පොලිසියෙන් අවුලක් නෑ නේද කියලා. මොකද පොලිසියට පුළුවන් හිටි ගමන් පැනලා රේඩ් කරන්න. අඩු වයස් කපල් හිටියොත් නං බඩුම තමයි. එහෙම නැත්නම් කපල් එකක් රූම් එකක හිටියට පොලිසියට බැහැ ඒකට විරුද්ධව මොකුත් කරන්න. හැබැයි පොලිසියට පුළුවන් අපිව වාත කරන්න. ලංකාවෙනේ. ආන්න ඒ නිසා ආයෙත් කියන්නේ ඔය දෙකයි පණහේ ලොජ් වලට යන්න එපා. එතකොට රැයක් ඉන්නවා නම් ගෑණු ළමයව රූම් එකේ තනියම තියන්න එපා. මොකද ඔය ලිංගික ශ්‍රමික ප්‍රශ්න එහෙම පොලිසි වලින් දාන්න ඉඩ තියෙනවා. ගෑණු ළමයා විතරක් බැරිවෙලාවත් රාත්‍රියට රූම් එකේ ඉන්නවා නම් එයාගෙ නමින් රූම් එක ගන්න. අන්න එතකොට ප්‍රශ්නයක් නෑ.

එතනින් එහාට නියම වශයෙන් ලියාපදිංචි තැනකට නම් දෙන්නත් එක්ක යන්නේ, දෙන්නත් එක්ක ඔය මත්ද්‍රව්‍ය වගේ වෙන නීතිවිරෝධී දෙයකුත් කරන්නේ නැතිනම්, දෙන්නා වයසින් වැඩිහිටි පුරවැසියෝ නම් පොලිසියෙන් ප්‍රශ්නයක් වෙන්න කිසිම විදියක් නෑ!

 

6. හොඳ තැනක් කියලා කොහොමද දැනගන්නේ?

පළමුවෙනි දේ තමයි තමන් යන තැන ඔය පුංචි පහේ ලොජ් එකක් නැතුව, බූටික් හොටෙල් එකක් හරි හොටෙල් එකක් හරි හෝම්ස්ටේ එකක් හරි ගෙස්ට් හවුස් එකක් හරි වෙන එක. වඩාත් යෝග්‍යයි ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත කරලා තියෙන තැනක් නම්. සාමාන්‍යයෙන් මේ විදියේ අනුමත හොඳ තැනක රූම් එකක් පැයට දෙකට දෙන්නෙ නෑ කොහොමටවත්. හරි ක්‍රමේට නම් රූම් එකක් දෙන්නේ පැය විසිහතරකට. එතකොට අඩුම රුපියල් දෙදාහක්වත් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් රූම් එකක් රුපියල් තුන්දාහක්, හාරදාහක් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම ෂුවර් තැනක් නම් ටවල්, බාත් රූම් අනං මනං ඔක්කොම පිරිසිදු වෙන්න ඕන. අනිවාර්‍යයෙන්ම රූම් එකට යන්න කලින් අයිඩෙන්ටි කාඩ් එක අරගෙන, අපිව එතන ගෙස්ට්ලා විදියට ලියාපදිංචි කරගන්න ඕන. ඔන්න ඔය දේවල් වෙනවා නම් අපිට එතන හොඳ තැනක් කියලා සලකන්න පුළුවන්!

 

7. හොඳ රූම් එකක් හොයාගන්න තියෙන තැන්!

මෙන්න මේක මහ අමාරු වැඩක් නෙවෙයි. දැන් ඔය booking.com, agoda.com, tripadvisor.com වගේ සේවාවන් වල ලියාපදිංචි කරලා තියෙන හොටෙල්ස්, ගෙස්ට් හවුසස් බොහොම පහසුවෙන්ම තමන්ට ඕන ප්‍රදේශයෙන් හොයාගන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ වෙබ් අඩවියට ගියත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියට ගියත් තමන්ට ඕන ප්‍රදේශයෙන්, තමන්ට ඕන කොලිටි ලෙවල් එකෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිය අරගෙන තියෙන තැනක් හොයාගන්න පුළුවන්. මේ උඩ කියලා තියෙන කොයි ක්‍රමේට හොයාගත්තත් ඒ තැන් කොලිටියෙන් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද, එකක් මේ තැන් වල සේවාව සපයන්නේ ලංකාවේ අයට විතරක් නොවෙන නිසා. විදේශිකයොත් යනවා එනවා. දෙවනුව, හොඳ සේවාවක් ලබාදුන්නේ නැති නම් තමන්ගේ රේටින්ග්ස් පහළ යනවා. ඒකට කවුරුවත් කැමති වෙන්නෙ නැහැනේ.

 

අන්තිමට මතක තියාගන්න, දෙන්නත් එක්ක රූම් එකකට යනවා නම්, අවශ්‍ය හැම දෙයක්ම ගෙනියන්න. තේරුණානේ? එහෙමනම් නිදහසේ රූම් එකකට ගිහින් චුට්ටක් කථා බහ කර කර ඉඳලා එන්න ලැබෙන සුබ දවසක් වෙන්ඩෝනේ හැමෝටම!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *