අපේ වටපිටාවෙ අපි ඕන තරම් නියපොතු කන උදවියව දකිනව. පොඩි කාලෙ නම් නියපොතු කනව දැකපු ගමන් වැඩිහිටියො කියන්නෙ නියපොතු කෑවොත් ඇපෙන්ඩිසයිටිස් එනව කියලයි. හැබැයි ඊට වඩා තවත් අහිතකර ප්‍රතිඵල නියපොතු කන එකෙන් සිද්ධ වෙනවා. නියපොතු අතර තියන එක එක බැක්ටීරියා ආමාශගත වෙලා නොයෙකුත් බඩේ අමාරු අපිට හැදෙන්න පුළුවන්. නියපොත්තට සහ සමට හානි වෙලා ආසාදන ඇති වෙන්නත් පුළුවන්. දිගින් දිගටම නියපොතු කන කෙනෙක්ගෙ නියපොතු විතරක් නෙමෙයි, දත් පවා ඇද ගැහිල කැත වෙන්න පුළුවන් කියලයි වෛද්‍යවරු කියන්නෙ. ඒ වගේම මේක එක්තරා විදිහකට මානසික රෝගී තත්ත්වයකටත් ආසන්න වෙන්න පුළුවන්ලු. ඒ කිවුවෙ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා ස්ට්‍රෙස් වෙච්ච වෙලාවට නියපොතු හපන්න. මේක දැන දැනත් කරන එක OCD කියන මානසික රෝගී තත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලයි මනෝ වෛද්‍යවරු කියන්නෙ.
හරි නියපොතු කන එක මෙච්චර අවුල් එකේ අපි බලමු කොහොමද මේ පුරුද්දෙන් වැළකෙන්නෙ කියලත්…
1. නියපොතු කෑම නවත්තන බවට තරයේ අධිෂ්ඨාන කරගන්න
මේක තමයි මුල්ම පියවර. තමන්ට නියපොතු කෑමේ අහිතකර පුරුද්දක් තියනවා කියන එක වටහාගන්න එක සහ ඒක නවත්තන්න ඕනෙ කියන අධිෂ්ඨානයට එන එක. කොහොමත් නියපොතු කන එක නවත්තනවා කියල හිතාගත්තට පස්සෙත් නොදැනීම නියපොත්ත කටට යන අවස්ථා එයි. හැබැයි ඒ වෙලාවට ටිකක් පහුවෙලා හරි මතක් වෙයි ‘අඩේ මම මේ වැඩේ නවත්වන්න නේද ඉන්නෙ?’ කියලා. ඒ වගේම තමන් මේ පුරුද්දෙන් අත්මිදෙනවා කියල වටේපිටේ අයවත් ටිකක් දැනුවත් කළාට කමක් නෑ. ඒ කිවුවෙ ගමටම ප්‍රචාරය දෙන්න කියල නෙමෙයි, තමන්ගෙ ගෙදර උදවිය සහ යාලු හිතමිත්‍රාදීන්ට කියන්න කියලයි. ඔයා නිතර ගැවසෙන්නෙ ඒ අය එක්ක නිසා හදිසියේ ඔයාට අමතක වෙලා නියපොතු හපන වෙලාවක වුනත් ඒ අය ඔයාට ඒ ගැන මතක් කරලා දෙයි. ඒ නැතත් තමන් නවත්තනවා කියල ටෝක්ස් දීලා තියන නිසා නෝන්ඩි වෙන්න බැරි කමට හරි ඔයා පෙළඹෙයි උනන්දුවෙන් මේ පුරුද්දට එරෙහිව සටන් කරන්න.
2. පෙළඹවීම් හඳුනාගන්න
මේක තමයි වැඩේ නවත්වන්න ප්‍රධානම වෙන කාරණය. ඒ තමයි තමන්ට වැඩිපුරම නියපොතු කැවෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා තේරුම් ගන්න එක. සමහරු නිකං ඔහේ කම්මැලිකමට හපනවා, තවත් අය ස්ට්‍රෙස් වුණාම කළබල වුණාම හපනවා, සමහරු බර දේවල් කල්පනා කරද්දි හපනවා වගේ එක එක අයට නියපොතු හපන්න පොළඹවන මානසික තත්ත්ව තියනවා. ඒ අතරින් තමන්ට අදාළ තත්ත්වය මොකක්ද කියන එක වටහාගන්න එක වැදගත්. එතකොට ඒ විදිහේ මානසික මට්ටමකින් තමන් ඉන්න මොහොතකදි මේ පුරුද්ද මතු වෙන්න නොදී ඉන්න වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්.
3. නියපොතු කොටට කපන්න
ලස්සන නේල් ආර්ට් දාන්න කැමති නංගිලාට නම් හීක් ගැවෙයි. ඒත් ඉතින් නියපොතු හැපීමේ පුරුද්ද වළක්වගන්න තියෙන එක සාර්ථක ක්‍රමයක් තමයි මේක. මොකද නියපොතු හපන කෙනෙක්ගෙ උපරිම සතුට තමයි හොඳ නියපොතු කෑල්ලක් කටින් කඩාගෙන බර බර ගාල හපන එක. මේ විදිහට නියපොතු කොටට කැපුවම එහෙම රසවත් නියපොතු කෑලි අහු වෙන්නෙ නැහැ. ඒ නිසා ඉබේම ඒ අය බලාපොරොත්තු කඩවීමට ලක්වෙනවා.
හැබැයි මේ වැඩේ සාර්ථක වෙන්න නම් කැපුව නියපොතුත් වැඩිය වැවෙන්න නොදී පවත්වාගෙන යන්නත් හිතාගන්න ඕනෙ ඔන්න.
4. අතට සහ කටට වෙන වැඩ දෙන්න
අත් සහ කට බිසී පිට තියාගන්න එකෙනුත් මේ වැඩේ සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. දැන් අපි හිතමු ස්ට්‍රෙස් එකට නියපොතු කන කෙනෙක් ගැන. එහෙම කෙනෙක්ට පුළුවන් තමන් ළඟින් ස්ට්‍රෙස් බෝල් එකක් තියාගන්න (අර මිරිකුවම සද්ද දාන ජොලි බෝල). එතකොට ආයෙ නියපොතු කන්න ඕනෙ නෑ ස්ට්‍රෙස් එක යවාගන්න. අනික නිතර ඒ බෝලෙ මිරිකන්න හුරුවෙලා ඉන්න නිසා අත කටට යන එකකුත් නෑ. ඒ වගේම ටොපි ලොසිංජර, චුවින්ගම් වගේ දේවල් නිතර කටේ දාගෙන ඉන්න එකත් විසඳුමක්. හැබැයි ඉතින් සීනි බහුල මේ දේවල් නිසාත් සෞඛ්‍ය අවදානම් එන්න පුළුවන් නිසා එක වැරැද්දකින් තවත් වැරැද්දකට යන එක අපි ඒ තරම් අනුමත කරන්නෙ නම් නෑ. ඒ නිසා ඒ වෙනුවට රටකජු, ආමන්ඩ්ස් වගේ ශරීරෙට අගුණයක් නැති ජාති ටිකක් නිතර හපල බලන්න.
5. ලස්සන නිය විලාසිතාවක් දාගන්න
මේක නම් ඉතින් අපේ කාන්තා පාර්ශවේ අයට තමයි වැඩිපුරම ගැලපෙන්නෙ. ඒ අයට පුළුවන් හොඳ නේල් ආර්ට් කරන සැලෝන් එකකට ගිහින් ගාණක් වියදම් කරල ලස්සනම ලස්සන නේල් ආර්ට් එකක් කරගන්න. දැන් ඉතින් ඒ ආර්ට් එකෙන් නියපොතු වලට එකතු වෙන ලස්සන නිසාත්, ඒකට වියදම් කරපු මුදල නිසාත් ඒක හපල විනාස කර නොගන්න හිත බල කරාවි. දිගින් දිගටම මේ විදිහෙ නිය සැරසිල්ලක් කරගත්තම ඉබේම කාලයත් එක්ක පුරුද්ද ඈත් වෙලා යාවි.
6. ලස්සන නිය පෙළක් ගැන හීන මවන්න
මේක කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි කෙනෙක්ට වුණන් කරන්න පුළුවන් දෙයක්. මොකද ලස්සනට නීට්වට මේන්ටේන් කරපු පිරිසිදු නියපොතු පෙළක් කියන්නේ කෙනෙක් ගැන ඉතා ප්‍රසන්න හැඟීමක් තව කෙනෙක්ට දෙන්න සමත් වෙන දෙයක්. ඒ නිසා හිතන්න කවදා හරි තමන් ලස්සන නිය පෙළක හිමිකාරයෙක් වෙනවාය කියලා. ඒ අනුව නියපොතුවලට අවශ්‍ය නිසි සත්කාර කරන්න. නියමිත වේලාවට නියපොතු නඩත්තු කරලා ලස්සන නිය පෙළක හිමිකාරයෙක් වෙන්න. එතකොට ආයෙ වැරදිලා හරි නියපොත්ත හැපුවොත් කටට ගහගන්න හිතෙයි.
7. අමාරුම නම් කොටස් වශයෙන් කරන්න
මේක බොහොමයක් වෛද්‍යවරුත් නිර්දේශ කරනු ලබන ක්‍රමයක්. මොකද අපි කොච්චර මේ පුරුද්ද නවත්තන්න හිතුවත් ඉබේම අපි අතින් ඒ වැඩේ වෙන්න තියෙන ඉඩ වැඩි නිසා. මේ ක්‍රමයෙදි කරන්න ඕනෙ මුලින්ම එක නියපොත්තක් නොකා ඉන්න එක. උදාහරණෙකට හිතන්න වම් අතේ මහපටැඟිල්ල කියලා. අන්න ඒ නියපොත්ත නම් ආයෙ කන්නෙ නෑ කියල තරයේ හිතාගන්න. එහෙම කාලයක් ගිහින් ඒ නියපොත්තට ආයෙ අවදානමක් නෑ කියල හිතුනොත් තව ඇඟිල්ලක නියපොත්ත හැපීම නවත්වන්න පටන් ගන්න. අන්න ඒ විදිහට ක්‍රම ක්‍රමයෙන් මේ පුරුද්ද සහමුලින්ම අතුගාලා දාන්න.
Leave a Reply