ලංකාවේ වාහන මාර්කට් එක ගැන බැලුවොත් ගොඩක්ම දෙනෙක් අතරේ ජනප්‍රිය සහ හොඳ මාර්කට් එකක් තියෙන්නේ ජපන් වාහන වලට තමයි. ඉතින් ටිකක් පරණ උනත් ඉන්දියන්, චයිනීස් අටමගල් ගන්නවට වඩා ජපනා හදපු වාහනයක් ගන්න කැමති අය ගොඩක් ඉන්නවා. තව සමහරු ඉන්නවා වාහනේ ගත්තු ගාණට වඩා වැඩි ගාණකට අවුරුද්දක් දෙකක් ගිහින් විකුණන්නත්. අන්න ඒ වගේ හිතන අයට පොඩි තල්ලුවක් වෙන්නත් එක්කම තමයි දැනටත් භාවිතයේ තියෙන හොඳට මාර්කට් වෙන වාහන ගැන කතා කරන්න හිතුවේ. හැබැයි අපි කතා කරන්නේ ඇන්ටික් වාහන ගැන නෙමෙයි. කෙනෙක්ට සාමාන්‍ය, එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් සහ මාර්කට් එක හොඳ, කාර් කැටගරි එකේ තියෙන වාහන ගැනයි හොයල බලන්නේ.
1. Toyota Corolla 121
ටොයෝටා කියපු ගමන් ගොඩක් දෙනෙක්ට කොරොල්ලා කියන නම නිරායාසයෙන්ම මතක් වෙනවට කිසිම සැකයක් නෑ. ඒ තරම් කොරොල්ලා කියන නම ටොයෝටා බ්‍රෑන්ඩ් එකත් එක්ක බැඳිලා තියෙන්නේ. ඉතින් පොදුවේ කොරොල්ලා කිව්වට කොරොල්ලා මාදිලියේ කාර් ගණනාවක් එලියට ඇවිත් තියෙනවා මේ වෙද්දී. එදා මෙදාතුර කොරොල්ලා ඉතිහාසයේ නොමැකෙන නමක් දිනාගත්තු මොඩල් එකක් තමයි 121 කියන්නේ. කොරොල්ලා සීරිස් එකේ නම වෙනි පරම්පරාව විදිහට තමයි 121 මොඩල් එක එළිබහින්නේ. ඒකෙත් තව සබ් මොඩල්ස් (Variants) තොගයක්ම තියෙනවා. Luxel, LX, LX Limited, G, X වගේ. තෙල් කිරිල්ල පැත්තෙන් ගත්තොත් G සහ X මොඩල්ස් දෙක ඉදිරියෙන් ඉන්නවා. ඉතින් තාම ලංකාවේ මාර්කට් එකේ යෙහෙන් වැජඹෙන වාහනයක් තමයි.
2. Nissan FB15
ටොයෝටා වල කොරොල්ලා මොඩල් එක වගේම තමයි නිසාන් වල සනී කියන්නේ. සනී කාර් එකෙත් මොඩල්ස් හැට හුටමාරක් තියෙනවා. කාර් එකකට තියෙන්න ඕන පෙනුම ඕනෑවටත් වැඩියෙන් මේ වාහනේ තියෙනවා. කෙටියෙන් කිව්වොත් හරිම ලස්සනයි. ගොඩක් වාහන ගැන දන්න උදවිය ඉහළින්ම තියල කතා කරන වාහනයක් තමයි මේක. එකට එක හේතුවක් තමයි ඕන පාර්ට් එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන් වීම. අනික් හේතුව හොඳට තෙල් කිරීම සහ නඩත්තු වියදම ඉතා අවම වීම කියලා කියන්න පුළුවන්. හැබැයි ඔය වාහනේ ඔටෝ එක තමයි මාර්කට් එකේ අල්ලලම ගිය වාහනේ. 1998 තමයි ඉස්සෙල්ලම මේ මොඩල් එක මාර්කට් එකට ආවේ. මේකේ ලංකාවේ තියෙන ප්‍රධාන මොඩල් දෙක තමයි අලුත් ෂෙල් මොඩල් එක සහ පරණ ෂෙල් මොඩල් එක.
3. Toyota Vios
ටොයෝටා සොලූනා එකේ අලුත් මොඩල් එක තමයි VIOS කියන්නේ. මේක ටොයෝටා නමින් තිබ්බ්බට හදන්නේ තායිලන්තයේ. එකත් ටොයෝටා කොම්පැණියම තමයි. ඒ ගැන අවුලක් හිතන්න ඕනෙ නෑ. උඩ වාහනේ වගේම කාර් එකක පෙනුම සුපිරියට තියෙන වාහනයක් මේකත්. ඔටෝ මැනුවල් දෙකම තියෙනවා. එන්ජින් කැපෑසිටි එක 1.3 සහ 1.5 විදිහට තියෙනවා. කොල්ලෝ ගොඩක් දෙනා මේ වාහනේට විශේෂ කැමැත්තක් තියෙනවා. මාර්කට් එකත් ඉතා හොඳ තත්ත්වෙක තාම තියෙනවා.
4. Mitsubishi Lancer
ලාන්සර් කියන්නේ මහලොකුවට තෙල් වැඩ නොකරන ඒත් තෙල් වැඩ නොකරන්නේත් නැති ශේප් වාහනයක්. නිසාන් වාහන වගේම මොඩල්ස් නම් තොගයක් මේ වෙද්දී තියෙනවා. CK1, CK2, CS1, CS2, CS3, EX වගේ. ලාන්සර් ගොඩක් රටවල ඇසෙම්බල් කරනවා. එත් MADE IN JAPAN එකක් නම් මාර්කට් එක ටිකක් වැඩියි. මේකෙත් 1.3, 1.5, 1.8 2.0, 2.4 කියල කැපෑසිටි ගණනාවක් එනවා. කොහොමත් මේක ටිකක් ස්පෝර්ට් පැත්තට නැඹුරු වාහනයක් කියල බැලූ බැල්මට පේනවා. ලාන්සර් ඉවෝ (EVO) එහෙම කට්ටිය දැකල ඇතිනේ. කොහොමද පෙනුම. පරණයි කියල නෑ CK2 එක උනත් ටිකක් මොඩිෆයි කරලා ගත්තම ඉවෝ පරාදයි.
5. Toyota Corolla AE100
කොරොල්ලා 121 එකට කලින් ආපු මේ වාහනෙත් හොඳටම තෙල් කරනවා. මේකෙම CE100 කියල එකක් එනවා. ඒක ඩීසල්. ඊට වඩා පෙට්‍රල් මොඩල් එක වෙන AE100 මාර්කට්. ඒ වගේම 1500 එන්ජින් එක මාර්කට් වැඩියි. ඔටෝ මැනුවල් දෙකම ගොඩක් ලංකාවේ දකින්න තියෙනවා. උඩ කතා කරපු 121 එක කොරොල්ලා සීරිස් එකේ නවවෙනි වාහනය වගේ, AE100 කියන්නේ කොරොල්ලා සීරිස් එකේ හත්වෙනි පරම්පරාව. මේකේ SE කියල මොඩල් එකක් තියෙනවා. ඒක ලංකාවේ ටිකක් මාර්කට් වැඩියි (SE කිව්වේ SPECIAL EDITION කියන එක.) දැනට මාර්කට් එකේ තියෙන පරණම සුපිරි වාහනයක් කියල බය නැතුව කියන්න පුළුවන්.
6. Mazda Familia
ඉහළින් කතා කරපු වාහනවලට සාපේක්ෂව මාර්කට් එක ටිකක් අඩු උනත් ජපන් වාහනයක් විදිහට ලංකාවේ මාර්කට් එකේ තත්ත්වයක් තියාගෙන ඉන්න මොඩල් එකක් තමයි Familia කියන්නේ. මේකේ BJ3P සහ BJ5P කියල ප්‍රධාන මොඩල් දෙකක් තියෙනවා. BJ3P කියන්නේ 1300cc එන්ජින් එක තියෙන මොඩල් එක සහ BJ5P කියන්නේ 1500cc එන්ජින් එකක් තියෙන මොඩල් එක. මාර්කට් එකේ ටිකක් ගාණ අඩු වෙන්න හේතු විදිහට පාර්ට්ස් හොයාගන්න ටිකක් අමාරු වීම, තෙල් කෙරුවාව ටිකක් අඩු වීම කියල කියන්න පුළුවන්. ඒ කොහොම උනත් ධාවනය කරද්දී තියෙන ස්ථාවර බව ඉතාම සතුටුදායකයි. ඔය මොඩල්ස් දෙකේම ප්‍රාඩෝ ලයිට් මොඩල් කියල එකක් ලංකාවේ තියෙනවා. එක නොර්මල් Familia එකට වඩා චුට්ටක් මාර්කට්.
7. Toyota Vitz
පරණ වාහන පැත්තට දාල කතා කළාට මේ වාහනේ ඉතිහාසය ගොඩක් ඈත නෙමෙයි. විට්ස් එකේ පළවෙනි පරම්පරාව පටන් ගත්තේ 1999 දී. එදා ඉඳල අද වෙනකන් පරම්පරා තුනක මොඩල්ස් මාර්කට් එකට ඇවිත් තියෙනවා. කොහොම උනත් අපි කතා කරන්නේ මේකේ පළවෙනි පරම්පරාවේ මොඩල් එක ගැනයි. මූලිකම දේ තමයි මේක HATCHBACK කාර් එකක්. අපි මේ කතා කරන මොඩල් එක ECHO සහ YARIS කියන නම් වලිනුත් වෙන වෙන රටවල් වලට නිකුත් කළා. එන්ජින් ගත්තොත් 1.0, 1.3, 1.5 විදිහට හොයාගන්න පුළුවන්. කොහොම උනත් ෆුල් ඔප්ශන් වාහනයක් විදිහට අද වෙනතුරුත් හොදින් මාර්කට් වෙන වාහනයක් කියන්න පුළුවන්.
Leave a Reply